සෙනඟ ගොඩයි වැඩ අධිකයි අඩුපාඩු වැඩියි | දිනමිණ


 

සෙනඟ ගොඩයි වැඩ අධිකයි අඩුපාඩු වැඩියි

උදිත ගුණවර්ධන

මුලින්ම මුදල් ගෙවා වව්චර්පත් ලබාගැනීමේ පෝලිමයි. ඉන්පසු මුදල් ගෙවීමට බැංකුවේ පෝලිමයි. ඉනුත් පසුව ලයිසන් ලබාගැනීමේ ටෝකනය ලබාගැනීමට තවත් පෝලිමකි. ඉනුත් පසුව ලයිසන් ලබාගැනීමේ නෛතික හා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තවත් පෝලිමකි. මෙකී පෝලිම අනෙක් සියලු පෝලිම්වලට වඩා දිගු හා දුෂ්කර බව පැවසීම මුසා‍වක් නොවේ. එම පෝලිමෙන් මිදුණ අයකුට තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා තවත් පෝලිමකි. උදේ රැයින් පැමිණි පුද්ගලයකු මේ සියල්ල ඉටුකර ගන්නා විට සවස තුන හෝ හතර වේ

රියැදුරු බලපත්‍රය හෙවත් ඩ්‍රයිවින් ලයිසන් එක මීට දශක තුන හතරකට පෙර කෙනෙකුගේ ආඩම්බරයට හේතුවක් වූ දෙයකි. එදා ගමකට රියැදුරු බලපත් ඇති අය සිටියේ තුන්හතර දෙනෙක් පමණක් බැවින් එදා පැවැති ක්‍රමය අනුව රියැදුරු බලපත්‍රයක් ලබාගන්නේ මුළු ජීවිත කාලයටමය. කුඩා සටහන් පොතක ප්‍රමාණය ගත් පැරැණි රියැදුරු බලපත්‍රය තුළ රියැදුරුගේ ඡායාරූපයක් සමඟ ඔහුගේ විස්තර සටහන්ව තිබුණි. එකී පැරැණි රියැදුරු බලපත අද පවා ඇතැම් ජ්‍යෙෂ්ඨ රියැදුරන් සතුව තිබේ.

කාලයත් සමඟ රියැදුරු බලපත්‍රයේ ප්‍රමාණය, හැඩය පමණක් නොව එම බලපත්‍රය ලබාගන්නා ක්‍රමවේදය ද විශාල වෙනසකට ලක්ව තිබේ. එදා පැවැති ආකාරය අනුව යම් කෙනෙකුට සුක්කානම කරකවා ගත හැකි නම් ඔහුට රියැදුරු බලපත්‍රය ලබාගැනීමට හැකියාව තිබුණි. එදා මහමග තිබූ වාහන ප්‍රමාණය හා සමාජ වාතාවරණ රියැදුරු රැකියාව පමණට සරල වුවත් කාලයත් සමඟ බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ ප්‍රමාණය, රියැදුරන් ප්‍රමාණය හා අනතුරු ඉහළ යාම නිසා රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ගැන ද බලධාරින්ට විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුවූවා විය හැකිය. මුලින් ස්වයංක්‍රීය නොවන ක්‍රමයක් යටතේ නිකුත් කළ රියැදුරු බලපත් ස්වයංක්‍රීය ඔන් ලයින් ක්‍රමයක් යටතේ නිකුත් කිරීම දක්වා අද වන විට තාක්ෂණය වැඩිදියුණු වී තිබේ. මෙය අගය කළ යුතු දෙයකි.

මුලින් වේරහැර ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබුණු රියැදුරු බලපත් නිකුත් කිරීම අද වන විට ගම්පහ, අනුරාධපුර, මහනුවර හා යාපනය ප්‍රාදේශීය කාර්යාලවලින් ද ඔන් ලයින් ක්‍රමය යටතේ ලබාගැනීමට හැකියාව තිබේ. මේ ආකාරයට ප්‍රාදේශීය කාර්යාල ප්‍රවර්ධන කිරීම අගය කළ යුතුය. ප්‍රාදේශීය කාර්යාලවලින් අනිසි කාලය සහ මුදල් වැයකිරීමකින් තොරව පහසුවෙන් රියැදුරු බලපත්‍ර ලබාගන්නට ජනතාවට ඉඩ සැලසී තිබීම නිසාය. බැලූ බැල්මට එය සත්‍යයක් වුවද ඇතැම් ප්‍රාදේශීය කාර්යාලවල අඩුපාඩු, දුබලකම් නිසා අපේක්ෂා කළ පහසුව ජනතාවට නොලැබී යන තත්ත්වයක් උදා වී ඇති බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුව ඇත.

වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් පසු වැඩිම පිරිසක් සේවය ලබාගන්නා ප්‍රාදේශීය කාර්යාලය බවට තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පත්ව ඇතැයි කියන්නට පුළුවන. කොළඹ දිස්ත්‍රික්කය අභිබවන ජනගහනයක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත තාවකාලික පදිංචිකරුවන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවිගෙවන බැවිනි. අලුතින් රියැදුරු බලපත්‍ර ලබාගැනීමටත්, කල්පිරුණු බලපත්‍ර අලුත් කිරීමටත් විශාල පිරිසක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමේ හේතුව එයයි. දිනකට පන්සියය ඉක්මවන පිරිසක් මෙම කාර්යාලයෙන් තම අවශ්‍යතා සපුරා ගනිති. පසුගිය අවුරුද්දේ ලක්ෂයකට ආසන්න පිරිසක් මෙතැනින් සේවා සපයාගෙන තිබේ. ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ කාර්යබහුල බවට එය කදිම නිදර්ශනයකි.

එහෙත් එම කාර්ය බහුලත්වයට හා අධික සේවා සැපයුමට ගැළපෙන ලෙස මෙම ස්ථානය කෙතෙක් යාවත්කාලීන වී ඇද්දැයි විමසා බැලිය යුතුය. අප මෙම ස්ථානයේ සිට සිදුකළ විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ තාක්ෂණය දියුණු යුගයක වුවත් මෙහි යම් සම්ප්‍රදායික තත්ත්වයක් ඇති බවය. ඇතැම් නිලධාරීන්ගේ අඩුපාඩු හා ක්‍රියාත්මක ක්‍රමවේදයේ දුර්වලතාවයන් ඊට හේතු වී තිබේ. මේ ස්ථානයේ අඩුපාඩු තවදුරටත් කැපී පෙනෙන්නේ එයට යාබදව ඇති රියැදුරු බලපත්‍ර වෛද්‍ය සහතික ලබාගන්නා ස්ථානයේ කාර්යක්ෂමතාවය සමඟ සසඳා බැලීමේදීය.

වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පැය එකහමාරක් ඇතුළත සේවය සපුරාගන්නා කෙනෙකුට රියැදුරු බලපත්‍රය ලබාගැනීමට පැය හතරකට වැඩි කාලයක් බලා හිඳීමට සිදුවේ. ඒ බලපත්‍රයක් ලබාදීමේ කාර්ය සඳහා සැබෑ ලෙසම ගතවන්නේ විනාඩි විස්සක කාලයක්ව තිබියදීය. මෙකී පරක්කුවට හේතුව කුමක්ද? ඔබට පැනයක් මතුවනු ඇත. එම ප්‍රමාදයට මූලික හේතුව එහි නිලධාරීන් නොවේ. එම කාර්යාලයේ ප්‍රධානීන් ද නොවේ. මෙකී කාර්යාලයේ ප්‍රමුඛ ගැටලුව වී තිබෙන්නේ සේවාවන් ලබාගැනීමට පැමිණෙන ප්‍රමාණයට සාපේක්ෂව නිලධාරි මණ්ඩලයක් නොමැතිවීමය.

වේරහැර කාර්යාලයට පමණක් දෙවන වන කාර්යබහුලත්වයක් ඇති මෙහි සේවක මණ්ඩලය වේරහැර සේවක ප්‍රමාණයෙන් දහයෙන් එකකි. අඩු සේවක ප්‍රමාණයකින් සේවය සැපයීමේ හේතුව නිසා අද වන විට මෙම කාර්යාලයේ අධික තදබදයක් ඇතිවී තිබේ. ගම්පහ කාර්යාලයට අමතරව වෙබ් ගතකර ඇති කාර්යාල වන්නේ අනුරාධපුරය හා මහනුවරය. මේ තත්ත්වය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පහළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ද කොළඹ නොයා තම අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇත්තේ ගම්පහ කාර්යාලයයි. එහෙත් මෙම කාර්යාලයේ ඉඩ ප්‍රමාණය ද ඒ තරම් පිරිසක් දරාගන්නට ප්‍රමාණවත් නැත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවතින තත්ත්වයට වඩා කාර්යක්ෂම කළ හැකිය. එසේම කාර්යාලයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් පැමිණෙන්නන් දැඩි අපහසුතාවට පත්වෙති. දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඇතැමුන් වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෝලිමට එක්වන්නේ උදේ පහමාරටය. වෛද්‍ය පරීක්ෂණ සියල්ල පෙරවරු දහයට නිමකර ගන්නා ඔවුනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ උප කාර්යාලයේ ඇති පෝලිම්වල රස්තියාදුවීමට සිදුවේ. එම රස්තියාදුව ඇතැම් විට පැය තුන හතරක් දක්වා දික්විය හැකිය. ඒ මෙසේය. මුලින්ම මුදල් ගෙවා වව්චර්පත් ලබාගැනීමේ පෝලිමයි. ඉන්පසු මුදල් ගෙවීමට බැංකුවේ පෝලිමයි. ඉනුත් පසුව ලයිසන් ලබාගැනීමේ ටෝකනය ලබාගැනීමට තවත් පෝලිමකි. ඉනුත් පසුව ලයිසන් ලබාගැනීමේ නෛතික හා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තවත් පෝලිමකි. මෙකී පෝලිම අනෙක් සියලු පෝලිම්වලට වඩා දිගු හා දුෂ්කර බව පැවසීම මුසා‍වක් නොවේ. එම පෝලිමෙන් මිදුණ අයකුට තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා තවත් පෝලිමකි. උදේ රැයින් පැමිණි පුද්ගලයකු මේ සියල්ල ඉටුකර ගන්නා විට සවස තුන හෝ හතර වේ. අනෙක මෙතරම් විශාල පිරිසක් පැමිණෙන ස්ථානයේ නිසි අහරක් ලබාගැනීමට තබා පිපාසයට ජල පොදක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොතිබීමයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගම්පහ උප කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයා තම කාර්යාලයේ කටයුතු පිළිවෙළට කරගෙන යාමට උත්සාහ කළද ඒ උත්සාහය ප්‍රතිඵලදායක නැත. වසරකදී ගම්පහ කාර්යාලයෙන් බලපත් ලක්ෂයක් නිකුත් කළද එම පරිමාණයට සරිලන පහසුකම් නැත. සීරුවෙන් කළ යුතු මෙවැනි කාර්යයක් කාර්යක්ෂමව හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ බලධාරීන් පසුබිම සකස් කළ යුතුය.

වෙන්නප්පුවේ සිට පැමිණි බොනිෆස් ප්‍රනාන්දු මහතා අප සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘‘මෙතැනින් විශාල සේවයක් වෙනවා. ඒත් රස්තියාදුව වැඩියි. අපි උදේ පාන්දර ගෙදරින් ආවේ ඒත් තාම පෝලිමේ. මෙතැන ඉඩකඩ මදි. සේවක මණ්ඩලය අඩුයි. මේ සියල්ල ප්‍රමාදයට බලපානවා. මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය සොයා බලන්න කියලා.’’‍‍

අවිස්සාවේල්ලේ කුමාරි ජයසූරිය මෙනවිය -

‘‘මෙතැන වැඩ ප්‍රමාදයි කියලා මටත් හිතෙනවා. ඒ ප්‍රමාදයට විශාල වශයෙන් බලපා තිබෙන්නේ සේවක හිඟය. නිලධාරීන් හිඟය අඩු නොවුණොත් මේ ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටුකර ගන්න බැරි වෙනවා. ඇත්තෙන්ම මේ ආයතනය සමස්තයක් විදිහට ගත්තාම හොඳයි. අඩුපාඩු ටික නිවැරැදි කරගන්නවා නම් තවත් හොඳයි.’’


පහසුකම් අඩු වුණත් මැද වැඩ ගොඩක් කරනවා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම්. පී. කසුන් ප්‍රමෝදිත් මහතා -

‘‘අපි විශාල කැපකිරීමකින් තමයි මේ සේවය කරන්නෙ. මේ සඳහා අපිට තිබෙන්නේ සීමිත පහසුකම් හා මානව සම්පත ප්‍රමාණයකුයි. අඩුපාඩු ගොඩක් මැද තමයි අපේ ඉලක්කය වෙත ගමන් කරන්නෙ. විශාල පිරිසකට සේවය සලසන්න අපට වෙලා තියෙනවා. මේ හැමදේම කරද්දී ඉක්මන විතරක් බලා බැහැ. ඉක්මන් සේවය වගේම හරියට නිසි විදිහට සොයා බලා තමයි බලපත්‍රයක් ලබා දෙන්නෙ. එතැනදි යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්. අපි නිතරම උත්සාහ කරන්නෙ අපේ වැඩේ හරියටම කරන්න. ඇත්තෙන්ම මේ වගේ සේවයක් ඉටුකරන යම්කිසි පටිපාටියක් තිබෙනවා. ඒ පටිපාටියට සේවය ලබාදෙන්න යෑමෙන් තමයි යම් ප්‍රමාදයක් වෙනවා නම් වෙන්නේ. අපි සේවාදායක හා මූලික කාර්යභාරයක් තමයි ඉටුකරන්නෙ.’’

 

නව අදහස දක්වන්න