ලෝරිස් තුළින් වන දිවි සැම­රුම් | දිනමිණ

ලෝරිස් තුළින් වන දිවි සැම­රුම්

ජීවිතයේ ඇතැම් විට අපට අනපේක්ෂිත විවේක කාලයන් ලබා දෙයි. එය හොඳට හෝ නරකට විය හැකිය. එම විවේකය තුළ ඔබට වැඩ අත්හැරීමේ නොනගතයක් ද අත්විඳීමට සිදු විය හැකිය. ලියනු කියනු නොහැකිව, ගමන් බිමන් යා නොහැකිව නිවාස අඩස්සියේ හෝ රෝහලේ ඇඳක ගතකිරීමට නියම වනු ඇත. එවන් කාලයන්හිදී ද අපට සිදු වනුයේ තම තමන්ගේ කල්පනා ලෝකවලට වැද අතීතයේ කළ, කී දෑ සහ ගිය ගමන් බිමන් යළි ආවර්ජනය කිරීමය. සයිමන් නවගත්තේගමයන්ගේ වදනින් පවසනවා නම් අතීතයේ රස මතක වමාරා කෑමය!

පසුගිය කාලයේ මට ද එවන් ගිලන් විවේකයක් විඳීමට අහඹු ලෙස ඉඩකඩ සැලසුණි. ඒ අතරවාරයේ දිනක සරල යමක් කියවනු අටියෙන් මම අත පොවන දුරක තිබූ පරණ සඟරා ගොන්නකින් එකක් ඇද ගතිමි. එය 2001 ජූනි මාසයේ පළවු ‘ලෝරිස්' (Loris) කලාපයකි. ලෝරිස් යනු ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (Wildlife and Nature Protection Society Of Sri Lanka) ප්‍රකාශනයකි. එම සංගමයේ සාරම්භය 894 තරම් ඈතකට දිව යයි. 1995 දී තම ශත සංවත්සරය සැපිරූ ඔවුහු ශ්‍රී ලංකාවේ වන සත්ත්ව ආරක්ෂාව පිළිබඳ අපූර්ව මතක සටහන් ‍රැසක් මෙන්ම ඒ සඳහා දැක්වූ අගනා දායකත්වය ද සිය සාමාජිකත්වය හා ලෝරිස් පාඨක ජනයා හමුවේ තැබූහ.

101 වැනි මහා සභා ‍රැස්වීමේදී එකල එම සංගමයේ සභාපතිව සිටි වෛද්‍ය රංජන් ප්‍රනාන්දු අගනා දෙසුමක් කළ අතර පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ වාර්තාවකින් උපුටා ගත් කොටසකි.

“1937 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ වන සම්පතින් 60%ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවතිනි. එසේම එය වන ද්‍රව්‍ය අලෙවිය සඳහා නිකුත් කිරීමෙන් ද, දැව විකිණීමෙන් ද ආදායම් උපදවන දෙපාර්තමේන්තුවක් ලෙස අප සංගමය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරමාර්ථය පෙන්වා දෙමින් මෙරට සත්ත්ව සහ ශාඛ ආරක්ෂාව පිළිබඳ වෙනම දෙපාර්තමේන්තුවක් ඇ‍රැඹීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබුණි. ඒ අනුව 1937 දී වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂිත පනත ඉදිරිපත් කෙරුණු අතර 1944 දී වෙනම සත්ත්ව දෙපාර්තමේන්තුවක්ද පිහි‍ටුවන ලදී. ජාතික වනෝද්‍යාන ආරක්ෂිත කලාප සහ අභය භූමි පිහි‍ටුවීම ආරම්භ වූයේ ඉහත පනත සම්මත වීමෙන් පසුව ය.“

සිංහරාජයේ ආරක්ෂාව පිළිබඳ නොයෙකුත් මතවාද හා උද්ඝෝෂණ මේ අවධියේ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂික සංගමයේ ඉදිරිපත් වීමෙන් එදවස ඉ‍ටු කළ අගනා මෙහෙවරක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සිංහරාජ වනය කොස්ගම දැව සංකීර්ණය සඳහා කපා දැමීමට එරෙහිව සංගමය ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක විය. එහෙයින් සිංහරාජය ඔවුන් කළ සේවාව පිළිබඳ නොමියෙන සිහිවටනයක් බඳු ය.

රාජ්‍ය නොවන සිවිල් සංවිධානයක් වුවද තම විෂයට අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් ද, උපදේශකත්වයෙන් ද වැඩ කළ මෙම සංගමය ඉ‍ටු කළ නිහඬ සේවාව මෙරට පරිසර ලෝලීන්ගේ අවධානයටත්, ප්‍රශංසාවටත් ලක් විය යුතු ය.

ලෝරිස් සඟරාව ශ්‍රී ලංකාවේ වන දිවිය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් අතර මහත් සේ ජනප්‍රියව තිබුණි. විවිධ වෘත්තිකයන් විසින් අලංකාර හා වර්ණනාත්මක ඉංග්‍රීසියෙන් ලියන ලද අගනා ලිපි ලෝරිස් තුළින් කියවීමට ලැබුණි. එහි සංස්කාරක මණ්ඩලයේ වෛද්‍ය දේවක වීරකෝන් මූලිකත්වය දැරූ අතර වෛද්‍ය මලික් ප්‍රනාන්දු, රොහාන් විජේසිංහ, රවී දැ‍රැණියගල සහ ලාල් අන්තනිස් ආදීහු ද කටයුතු කළහ. පසුව මෙම සඟරාව වාරණ නමින් සිංහලයෙන්ද පළවූ අතර එහි සංස්කාරක වූයේ ඩග්ලස් බී. රණසිංහ ය. මෙම ඉංග්‍රීසි සහ සිංහල සඟරාවන් හි එන රසවත් ලිපි අතර කාව්‍ය නිර්මාණ ද දක්නට ලැබුණි. මා අත වූ කලාපයෙහි (2001 ජූනි) පළව තිබූ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි හෑන්ස් ස්වොන් (Hans Swan) විසින් රචිත හෝර්ටන් තැන්නට තුති ගීයක් (Ode to Horton Plains) කුමන බසකින් හෝ ලියැවුණු සුන්දර පරිසර වර්ණනයක් ලෙස ඇගැයිය හැකිය. (මා වැනි චූල කවියකු විසින් ඒ සිංහලට නැඟීමට යාම ලෝකාන්තයෙන් පහළට පැනීමක් බඳු ය)

වාරණ සඟරාවට දේශීය උඩවැඩියා මල් පිළිබඳ සමන්ත ගුණසේකර විසින් ලියන ලද ලිපියක ඇති වැදගත් අනාවරණයකට ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

“ස්වාභාවික පරිසර පද්ධතිවලින් උඩවැඩියා පැළෑටි එකතු කර විකිණීම මෑතක සිට ඇති වූ අයහපත් ප්‍රවණතාවකි. සමහර ප්‍රදර්ශන කුටි තුළ ද, පදික වේදිකාවෙහි ද මෙසේ උඩවැඩියා පැළෑටි දැකිය හැකිය. බොහෝ විට මෙබදු තැන්වල දී දේශීය උඩවැඩියා ලෙස විකිණීමට ඇත්තේ ඩෙන්ඩ්‍රොබියම් වර්ගයේ දෙමුහුන් මල් කිණිති එම පැළෑටිවල කඳ තුළට විද සවි කිරීමෙන් විශාල මල් සහිත අලංකාර පැළෑටියක් ලෙස පාරිභෝගිකයා මුලා කරමිනි. හිවල් වල්ග, උඩවැඩියා සහ වෙසක් මල් ද පෞද්ගලික එකතු කිරීම් නිසා හෝ වෙළෙඳාම නිසා අද දැඩි තර්ජනයකට ලක්ව ඇත.

.......පිළිල යැයි වරදවා වටහාගෙන Vanda tessllata පැළෑටි ගිනි තබා විනාශ කර තිබෙන අවස්ථා ‍රැසක් මවිසින් නීරීක්ෂණ කොට ඇත.“

ලෝරිස් සඟරාවේ පි‍ටු පෙරලන්නෙකුට විෂය දැනුම ලබන අතරම රසවත් සංචාරක අත්දැකීම් ද කියවීමට ලැබේ. අප ජීවත් වන අධිවේගී පරිසරයෙන් හා ජීවන රටාවෙන් මිදී තුරුලිය හා වන සතුන්ගෙන් පිරි වන රජ දහනකට පිවිසීමෙන් ලද හැකි මානසික සුවය අපමණ ය. එහෙත් අප රටේ විනෝද චාරිකා යන බොහෝ දෙනාට සමනලයකු දෙස විවේකයෙන් බලා සිටීමේ පුරුද්දක් හෝ අවශ්‍යතාවක් ද නැත. එහෙත් ලෝරිස් සඟරාවට ලිපි ලියන්නෝ වන දිවි අසිරිය විඳිනුයේ කෙලෙසදැයි මනාව පෙන්වා දෙති. බොහෝ විට එය හුදු සංචාරයක් පමණක් නොව ගවේෂණයක් ද වෙයි. එබඳු වන ලෝලියා වන ගැබින් පිටතට එනුයේ අනෙකුන්ට ප්‍රදානය කළ හැකි අපූර්ව අත්දැකීම් ‍රැසක් ද සමඟ ය.

ලෝරිස් සඟරාවේ පළමු ලිපි කීපයක් සිංහලට නැඟූ දක්ෂ පරිවර්තකයකු හා ලේඛකයකු වන දයාරත්න දළවැල්ල 'අතීත වන දිවි සැමරුම්' නමින් කෘතියක් පළ කළේ ය. එහි එන එම්. එම්. ක්ලාක්ගේ 'මාදුරු ඔයේ තනිවම ගිය ඔරු ගමනක්' ලිපිය ඉහත කී ආකාරයේ ගවේෂණාත්මක සංචාරකයකු පිළිබඳ නිදසුනක් බඳු ය. එහිදී එම ලේඛකයා මහවැලි ගඟට සමාන්තරව සැතපුම් 20ක් පමණ ඈතින් බිම්තැන්නේ වනාන්තර හරහා ගලා යන මාදුරු ඔය දිගේ කළ නදී චාරිකාවට පාඨකයා කැඳවාගෙන යයි. එකල (1967) සැතපුම් 55ක් පමණ දිගින් යුතු වූ මාදුරු ඔයේ මැද කොටස ඝන වනාන්තරයෙන් යුතු විය. කුඩා ඔරුවක්, අවශ්‍ය උපකරණ සහ ආහාර ද්‍රව්‍යත් සූදානම් කර ගන්නා ක්ලාක් සිය ගමනට සහකරුවකු සොයා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. එහෙයින් ඔහු තනිවම නදී චාරිකාවේ යෙදීමට තීරණය කරයි. එක් දිනක හිමිදිරියේ තම ලෑන්ඩ් රෝවර් රථයේ වහලය මත තනි ඔරුව ගැට ගසා ගන්නා ක්ලාක් රියදුරා ද සමඟ ගමනට පිටත් වෙයි.

නදී චාරිකාව ආරම්භ කෙරෙන්නේ මාදුරු ඔය, බිබිලේ මඩකළපු මාර්ගය, මහියංගණයට යා කරන නව මාර්ගය හරහා යන ස්ථානයෙනි. එදින ගඟට ඉහළින් ඝන මීදුමක් මතු වී එම අරුණෝදයේ ගං තෙර දර්ශනයට කිසියම් බියකරුබවක් ද එක්කර තිබිණි. ක්ලාක් තම ගමනට අවශ්‍ය දෑ ඔරුවට පටවා ගෙන යටි ගං බලා යාත්‍රා කිරීමට සැරසෙයි. රියදුරා ගංතෙර සිට බලා සිටියේ දැඩි කනස්සලු ගතියකිනි. ක්ලාක් ම පවසන අන්දමට “මහත්තයාට තරමක් පිස්සු“ යැයි ඔහුට සිතුණා විය යුතුය.

ක්ලාක්ට රියදුරා හමුවීමට නියමිතව තිබුණේ ඊට දින තුනකට පසුව ය. එහෙත් යළි කිසි දිනෙක ඔවුන් දෙදෙනා හමු වන්නේ නැත. දින තුනකට පසුව ක්ලාක් කැදවගෙන ඒමට නදී චාරිකාවේ අවසන් ස්ථානය වෙත යමින් සිටි ඔහු හෘදයාබාධයක් සෑදීම නිසා අතරමඟ දී රථය තුළම මියගොස් සිටි බව ක්ලාක්ට දැනගන්නට ලැබුණි.

තම ලිපිය ආරම්භයේදී ම මෙම ඛේදවාචකය සඳහන් කරන නමුදු ක්ලාක් සිය මාදුරු ඔය නදී චාරිකාවේ අපූරු අත්දැකීම යළිත් පවසන්න වන්නේ ජීවිතය සහ සොබාදහම අතර පාලමක් ඉදිකරලමිනි.

අපේ වන දිවි සාහිත්‍ය වෙනුවෙන් කාලය, ධනය සහ ශ්‍රමය කැප කළ විදේශීය ලේඛකයන් අතර වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් වඩාත් ප්‍රකට ය. 1951 දෙසැම්බර් මාසයේ ලෝරිස් සඟරාවට ආර්.එල්.ස්පිට්ල් ලියූ ‘Dangerous Beasts‘ ලිපිය ද, ‘වල් අලි හමුවේ එඩි පෑ මිනිස්සු‘ නමින් දළවැල්ල විසින් සිංහලට නඟයි. එහිදී සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂා කළ මඟ පෙන්වන්නන්ගේ කතා කීපයක්ම ස්පිට්ල් අපිට කියයි. වන සතුන් පිළිබඳ ඔවුනට වැරදුන අවස්ථා ද නැත්තේ නොවේ. ඇතැම් අය අලි මන්ත්‍ර ජප කරමින් සිටියදී ම උන්ගෙන් පහර කා තැලී, පොඩි වී ගිය අවස්ථා කොතෙකුත් ඇත.

ස්පිට්ල් පවසන අලි කතා අතර සිනා උපදවන සිදුවීමක් ද වෙයි. වනගත වූ එක්තරා ඡායාරූප ශිල්පියෙක් වල් අලියකු දැක ඡායාරූපයක් ගැනීමට ඉදිරියට ගියේ ය. අලියා ද තමා දෙසට එන මිනිසා දෙසම බලා සිටියේ ය. කැමරාවට ඇස තබාගෙන සිටින මිනිසාට අලියාත්-තමාත් අතර ඇති දුර ගැන අවබෝධයක් නොවුණි. ඔහු කැමරාව ඇසෙහි තබාගෙනම බලා සිටියේය. ඉන් භීතියට පත් (කැමරා බිය) අලියා ආපසු හැරී දිව යන්නට විය. එදා ඔහුගේ ජීවිතය ගැලවුණේ කැමරාව නිසා යැයි ස්පිට්ල් පවසන්නේ අප මුවඟ සිනහවක් නංවමිනි. ලොව පුරා තවමත් ලියැවෙන වන දිවි සාහිත්‍ය කියවන්නකුට එක් දෙයක් පසක් වෙයි. මිනිසාගේ නාගරික සංස්කෘතිය තරමටම වනාන්තර 'සංස්කෘතිය' ද වටිනාකම්වලින් අනූන බව ය. ලෝරිස්! ඔබට ස්තූතියි.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න