ඇත්ත කතා­වක් | දිනමිණ

ඇත්ත කතා­වක්

නොකඩවා වට වැස්සෙන් තෙත බරිත වූ පොළොව නිබඳ ප්‍රාර්ථනා කළ හිරු කිරණ පතිත වෙයි. අව්වේ අසිරිය නොමඳව විඳිමින් මම රෙදි පෙරෙදි හා කොට්ට මෙට්ට වියළා ගන්නට වෙහෙසුණෙමි. හඳුනන හා නොහඳුනන කුරුල්ලෝ ද හිරු එළියේ කෙළිදෙලෙන් පසුවූයේ දඟකාර දරු දැරියන් රොත්තක් පරිද්දෙනි. ඒ දසුන සැබැවින්ම සොඳුරුය. ජීවිතයේ බරත්, දුකත්, වෙහෙසත් මඳකට අකා මකා දමන සුළු ය. පියාපතක බර පමණක් දරන්නෝ මනුස්ස අප වෙත සොම්නස ද සැහැල්ලුවද ගෙන එති.

වැසි සහිත තෙතබර දවසකට වඩා ඉක්මනින් මේ උණුසුම් දවස ගෙවී ගියේය. හිරු පායා දිලුණද අහස දින ගනණාවකින් නොසේදූ රෙදිකඩක් තරමට දුර්වර්ණය. ඒ ඉල් මහේ හැටිය. අඬන්නටම පේවුන කණවැන්දුම් ඉස්තිරියාවක් වගේ වහින්නටම මාන බලයි.

වැඩිමහල් කොල්ලන් තිදෙනාම මළගෙයක ගිය බැවින් රාත්‍රිය වෙනදාට වඩා නිහඬ ය. සන්සුන් ය.

මද්දු සමඟ ඇ‍ඳේ පෙරළී අඬදබර කරගන්නට පසුබට නොවන නිවුන්නු පුන පුනා ප්‍රශ්න කළේ අයියලා ආපසු පැමිණෙන වේලාව පිළිබඳවය.

“අපිට තමා යන්න දෙන්නෙ නැත්තෙ රෑට එළියට“ යි බඩපිස්සා චෝදනා කළේය.

“ඕගොල්ලො තාම පොඩියිනෙ“ ඒ වැකිය ඔවුන් ඕනෑවටත් වඩා අසා ඇතුවා ‍නිසැකය.

“උදේට කියනවා අපි ලොකුයි කියලා. රෑ වෙනකොට පොඩියිලු“ පුංචි පුතාගේ නොමනාපය මා මුවඟ සිනා නංවයි.

“හරි හරි... දැං අපි නිදා ගම්මුකො... පාන්දර නැඟිටින්නත් ඕනනේ පාඩම් කරන්න...“ යි මා ‍යෝජනා කළේ කොල්ලන් දෙදෙනා තුරුළු කරගනිමිනි.

“මද්දුවා නැතුව නින්ද යන්නෙ නෑ අම්මා...“ තුන්වැන්නා, හතරවැන්නා සහ පස්වැන්නා එකිනෙකාට තුරුළු වී එක පොදියක් ලෙස දකින හැම රැයකම සහෝදරත්වයේ මහිමයෙන් මගේ සිත පහන් වෙයි. මේ සහෝදර ප්‍රේමය වැඩුණු මිනිසුන් බවට පත්වූ පසු ද ඔවුන් වෙත රැ‍ඳේවා යි මම ප්‍රාර්ථනා කරමි.

“එහෙනං මං කතාවක් කියන්නද?“

“හා...“

කොල්ලන්ට කතන්දර කීම නවතා බොහෝ කලකි. ළමා කාලයේ ඔවුන් හැම රැයකම නින්දට ගියේ කතාන්දරයකට සවන් දෙමිනි.

“හැබැයි මේක ඇත්ත කතාවක්“ සුරංගනා හෝ ගැමි කතා වෙනුවට මම මගේ කතාව කියන්නට පටන් ගතිමි.

“ඉස්සර නිතරම අපේ අම්මා ඒ කියන්නෙ ඔයාලගෙ කිරිඅම්මා මාව අපේ කිරි අම්මලගෙ ඔයාලගේ මුත්තම්මලගෙ ගෙදර යවනවා...“

“ඒ ඇයි අම්මා?“ බඩපිස්සාගේ කඳුළුබර හඬ මගේ අතීත පියාසැරියට රුකුල් දෙයි.

“මල්ලියි මායි දෙන්නම පොඩියි. ඉතිං අම්මට අමාරුයිනෙ පොඩි ළමයි දෙන්නෙක්ව බලාගන්න...“

“ඉතිං අම්මට දුක හිතුණෙ නැද්ද?“

“මේකනේ... හැම කළු වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියනවනේ. ඒ මහගෙදර කිරිඅම්මලා, මාමලා, පුංචි අම්මලා එක්ක හේනේ කුඹුරේ ගතකරපු ජීවිතය ඇත්තටම වටිනවා. ගහක් ගලක් ගානෙ ඇවිද ඇවිද අහස පොළව කුරාකූඹියා එක්ක යාළුවෙන්න ලැබුණ එකම ලොකු වාසනාවක්නෙ...“

“ඉතිං ඊට පස්සෙ?“ සිව්වැන්නා නොඉවසිල්ලෙන් අසයි.

“ඔන්න ඉතිං ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගියානෙ. හොස්ටල් එකේ නැවතුණාම නිතරම ගෙදර මතක් වෙනවා. සමහර සති අන්තෙක ගෙදර ආවම ඉරිදට අඬනවා යන්න බෑ කියලා. එක දවසක් මම හැංඟුණා. ඒ තරම් දුකයි ගෙදර දාලා යන්න“ කොල්ලෝ සුසුම් හෙළති.

“ඉතිං අම්මෙ ඔයා එතකොට හයේ පංතියෙනෙ. පුංචියිනෙ... කොහොමද හොස්ටල් එකේ හිටියෙ? අම්මෝ අපට නං හිතාගන්නටත් බෑ.“

“හැබැයි හොස්ටල් ඉන්න එකේ ලොකු වාසියකුත් තියෙනවා. තමන්ගෙ වැඩ තමන් කරගන්න... කාලසටහනකට වෙලාවට වැඩකරන්න පුරුදු වෙනවා. විනයක් ඇතුව හැදෙන එක හරි වැදගත්නෙ. මැඩම් වේවැලත් පිටිපස්සට කරගෙන හොස්ටල් එකේ ඇවිදිනකොට අපි බයේ වෙව්ලනවා.“

නේවාසිකාගාර ජීවිතය පිළිබඳව වැඩිමනත් තොරතුරු අසා දැනගන්නට මැළි වූ කොල්ලෝ “එතකොට තාත්තත් ඒ ඉස්කෝලෙමද ඉගෙන ගත්තෙ?“ යි ඇසුවෝය.

“ඔව්. මම හයේ පන්තියේ ඉද්දි එයා දොළහෙ පංතියේ...“ ඔවුන් විස්මයෙන් හඬ ගෑවෝය.

“අම්මා හයේ පංතියෙ ඉද්දි ද තාත්තත් එක්ක යාළු වුණේ...?“

“නෑ අනේ... එතකොට මම කෝටුවක් වගේ කෙට්ටු කැත පුංචි ළමයෙක්. දොළහෙ පංතියෙ පිරිමි ළමයි බලන්නෙවත් නෑ අපි දිහා...“ ඔවුහු මහ හඬින් හිනැහෙති.

“එතකොට කොහොමද තාත්තත් එක්ක අම්මා යාළු වුණේ...?“

නව යොවුන්වියේ පසුවන කොල්ලෝ මගේ ආදර කතාව අසන්නට නොඉවසිලිමත් වීම සාමාන්‍ය හා ස්වභාවික බව වටහාගත්තා විනා මම කෝපයට පත් නොවීමි.

“උසස් පෙළ කරද්දි ටියුෂන් පංති යන්න බෑනෙ හොස්ටල් ඉද්දි. ඉතිං මම නැවතුණේ තාත්තගෙ ආච්චි අම්මගෙ ගෙදර. එයා එනවා ආච්චි අම්මව බලන්න...“

“මරු වැඩේ...“ බඩපිස්සා විසිල් රාවයක් පිට කළේය.

“ඇති ඇති අදට ඇති...“

“අනේ අම්මා ඉතුරු ටිකත් කියන්නකෝ...“ ඔවුහු ඇවිටිලි කළෝය.

“ඉතිං ඊට පස්සෙ?“

“ඊට පස්සෙ ඉතිං බැන්දා. ළමයි ලැබුණා. දුවෙක් ඕන වුණාට මේ කමකට නැති කොල්ලො දෙන්නෙක්ම හම්බවුණා එක සැරේ...“

“අම්මට දුකයිද දුවෙක් නැති එකට?“

“ඔව් දුකයි. ඒත් ඉතිං ජීවිතේ හැමදේම ලැබෙන්නෙ නෑනෙ අපට... ලැබුණ දේ ගැන සතුටු වෙනවා මිසක නොලැබුණ දේ ගැන දුක් වෙන එකේ තේරුමක් නෑනේ...“ ඔවුන් මට තවත් තුරුළු වූවෝය.

“අර හේනේ කුඹුරේ ඇවිද ඇවිද හිටපු පුංචි ළමයා ගැන මට දුකයි...“ පුංචි පුතා හැඟීම්බර හඬින් කීවේය.

“සතුටු වෙන්න එපැයි. හැම ළමයටම ඒ වගේ වාසනාවක් ලැබෙන්නෙ නෑ. අම්මගෙ උකුලෙන් සොබාදම් අම්මගෙ උකුලට වැටෙන එක තරම් වාසනාවක් තවත් තියෙනවද...?“

කොල්ලන් වෙතින් හඬක් නොනැඟිණ. අඳුරේ වුව ඔවුන් නින්දේ ගැඹුරු පත්ලට ඇදවැටෙන බව මට දැනිණ. මගේ කොල්ලන් නොදන්නවා නමුදු ඔවුන් අනුකම්පා කරන ඒ හින්නිකිතර ගැහැනු දරුවා ද අප සමඟ සිටින බව සිතමින් මම සුසුමක් හෙළුවෙමි.

ශාන්ති දිසා­නා­යක


නව අදහස දක්වන්න