උග්ග­ල්බැ­වුලේ සක්දෙව් අඟනෝ | දිනමිණ

උග්ග­ල්බැ­වුලේ සක්දෙව් අඟනෝ

පැරැණි රජ දවස කොළොන්තොට සිට කන්ද උඩරට බලා ගමන්කළ මාර්ගය හෝ කෝට්ටේ සිට දෙවිනුවර බලා ගමන් කළ මාර්ගය හෝ අද දවසේ පිරික්සන්නට යන ගවේෂකයකුට විවිධ ගැටලු මතුවෙයි. පැරණි ලේඛනවල, සන්දේශ කාව්‍යවල, සුදු ජාතිකයන්ගේ සටහන්වල සඳහන් ඇතැම් ස්ථානවල නම් ගම් අමාරුවෙන් සොයා සපයාගත යුතු වීම එවන් එක් ගැටලුවෙකි. ඇතැම්විට එදවස ප්‍රකටව පැවති ඇතැම් තැන් අද වන විට අප්‍රකට ව පැවතිය හැක. නැතහොත් පැරැණි නම වෙනුවට අලුත් ස්ථාන නාමයක් භාවිතයට පැමිණ තිබිය හැක.

තිසර සන්දේශය (70 වන කවිය), ගිරා සන්දේශය (108 වන කවිය), මයුර සන්දේශය (78 වන කවිය) කෝකිල සන්දේශය (88 වන කවිය) යන සන්දෙශ කාව්‍යවල සඳහන් ‘පරතරකය’ යන ස්ථාන නාමය ඉන් පෙර මා අසා පුරුදු තැනක් නොවී ය. පර‍තරකය ගැන මට පැහැදිලි කර දුන්නේ කොස්ගොඩ පදිංචි නීතිඥයෙකු වන මා මිත්‍ර ‘කමල් ජයන්ත ද සොයිසා’ මහතා ය. කමල් මට විස්තර කළ ආකාරයට අතීතයේ පටන් පරතරකය නමින් හඳුන්වා ඇත්තේ කොස්ගොඩ මුහුදු වෙරළ ප්‍රදේශයයි. විජාතික යුද සෙබළුන් නවත්වා තැබුණු ස්ථානය පරතරකය නමින් හඳුන්වා ඇත. අදට වඩා කෝට්ටේ හා ගම්පොළ රාජධානි පැවැති අවධියේ දී පරතරකය ප්‍රකටව තිබෙන්නට ඇතැයි මෙම සන්දේශ කාව්‍ය පරිශීලනය කරන විට හැඟෙයි. පරතරකය නොදක්වා කොස්ගොඩ ග්‍රාම නාමය පමණක් සඳහන් කරන්නේ තොටගමුවේ රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශය පමණි. ගිරා සන්දේශය, තිසර සන්දේශය සහ මයුර සන්දේශය කොස්ගොඩ අමතක කොට පරතරකය ගැන පමණක් සඳහන් කරති. කෝකිල සන්දේශයේ දී කොස්ගොඩ සහ පරතරකය යන ග්‍රාම නාම දෙක ම සඳහන් ය.

උග්ගල්බැවුල ද දෙවිනුවර උපුල්වන් දෙවොල වෙත පැමිණි සහ උපුල්වන් දෙවොලේ සිට පිටත් වූ සන්දේශවල සඳහන් ස්ථාන නාමයකි. තිසර සන්දේශය (32 වන කවිය), මයුර සන්දේශය (95 වන කවිය), පරෙවි සන්දේශය (116 වන කවිය) සහ කෝකිල සන්දේශය (45 වන කවිය) උග්ගල් බැවුල ගැන සඳහන් කරයි. කෝකිලයේ සඳහන් කරන ආකාරයට උග්ගල් බැවුල උස් කඳුබිම් සහිත පෙදෙසක් බැවින් එහි ගමන් කරන්නියන්ගේ ඇඳි සළු ද පැලඳි මිණිමෙවුල ද, මල් ගවසා ගත් කෙස් කලඹ ද අවුල් ව යයි. ගත නගන්නේ ඩා බිඳු ය. සල්ලාලයකු දුටු විට මෙවන් තත්ත්වයක් හට ගන්නා බැවින් කවියා ගම සලෙළකුට සමාන කරයි.

මයුරය රත් පැහැ ව හිරු අවරට යන විට වන මුදුනත රතු අව්ව හටගන්නා බව කියයි. සිය කුල දෙවි වන හිරු අස්තංගත වන විට මයුරයාට තැවුල් සිත් හටගන්නා බැවින් සිත අවුල් කර උග්ගල්බැවුලින් යන්නැයි දන්වයි. කෝකිලයට අනුව උග්ගල්බැවුල සක්දෙව් කතුන් සදිසි කතුන් සිටින තැනකි. උහු රත් ලවන් දක්වා මියුරු වචන තෙපලමින් ලවනඟ සිනා ගන්වා නුවන් හී සර විද අනංග යුද්ධයට සැදී පැහැදී සිටිත්. පරෙවිය කියන ආකාරයට ද උග්ගල්බැවුලේ සක්දෙව් අඟනන් වන් අඟනෝ සිටිත්. එහි අග මුල නොහැර මල් පිපි හෝපලු ගස් ය. දික් ගල්තලාවල මොනරු පිල් විදහා සිටිත්. එහෙත් අද ජීවත් වන අයෙකුට මෙකියන උග්ගල්බැවුල යනු කුමන තැනක්දැයි තෝරා බේරා ගැනීම අපහසු ය. එය තෝරා බේරා දෙන්නට මුනිදාස කුමාරතුංගයෝ ඉදිරිපත් වෙති. ඒ මයුර සන්දේශ විවරණයේ දී ය. “මාතොටට නැගෙනහිරින් දෙව්නුවර දක්වා සිටි උස්බිම් පෙදෙස එකලැ ‘උග්ගල්බැවුල’ නම් වියැ. ‘බැවුල’ නම් වනයෙන් යුතු උස්බිම් කොටසකි. (මයුර සන්දේශ විවරණය)

දෙවිනුවර බලා යන සහ එහි සිට එන සන්දේශ කියවන විට මා සිත වඩාත් ඇද ගත් ස්ථානය නම් මහනැවියා පොකුණයි. තිසර, මයුර, පරෙවි, කෝකිල යන සන්දේශ කාව්‍ය සතරම මහ නැවියා පොකුණ අමතක කොට නැත.

මයුර සන්දේශය මහ නැවියා පොකුණෙහි (මා නැවියා පොකුණ) දිය කෙළි නරඹන්නට සිය දූතයාට අවස්ථාව සලසා දෙයි. මයුර සන්දේශයේ සඳහන් ආකාරයට එකියන පොකුණ සෙවණ ඇති තැනක පිහිටියේ ය. එබැවින් එම පොකුණට හිරු එළිය නොවැටෙයි. කවියා පොකුණ සමාන කරන්නේ අනෝතප්ත විලට ය. එහි සිසිල් ජලයේ දිය කෙළින කතුන් යට ගිලෙමින් මතුවෙති. යළි පීනති. පීනන විට කුඩා හා විශාල රල නැගෙයි. නිල් පෑ ජලය මත රන්වන් රූ ඇති තරුණියන් පිහිනන විට ඝන වලාවෙක විදුලි රේඛා යන්නා සේ පෙනෙයි. එමතු නොවේ. පොකුණ අසල සලෙළුවෝ ද සිටිත්.

සයුර බොමිනි කුඹුයොන් දුටුවෙ මිණි පබා

පොකුණ බොනුව අපටත් සැලසි නම් බඹා

මෙ දිය කෙළිනවුන් ඉණ මිණි මෙවුල් සුබා

දැකුමැ එතැන සලෙළුවො කියති සිතු ලොබා

අගස්ති නම් ඍෂිවරයා සමුදුරේ ජලය බී, සාගර පත්ලෙහි තිබුණු මැණික්වල කාන්තිය දුටුවේ ය. බ්‍රහ්මයා අපටත් මෙම පොකුණේ දිය බොන්නට බලය දුන්නොත්, දිය කෙළින කාන්තාවන්ගේ ඉණෙහි ඇති මෙවුලේ ස්වභාවය දැකිය හැක. මෙවුල දැකීමට සල්ලාල ජනයාට ඇති කැමැත්ත නම් අනෙකක් නොව දිය කෙළින කතුන්ගේ ශරීර ශෝභාව දැකීම ය. මයුර කවියා මා නැවියා පොකුණේ ජල කෙළියට පද්‍ය සතරක් ම වෙන් කරයි.

තිසර සන්දේශකරුවා මහ නැවියා පොකුණට එක් කවක් වෙන්කරයි. ඔහු තිසරාට පොකුණෙහි ස්නානයට අවස්ථාව ලබා දෙයි. පරෙවිය කළ තොටගමුවේ සිරිරහල් හිමි මහනැවියා පොකුණේ දිය කෙළිය කොතරම් සුන්දරව වර්ණනා කරන්නට වෙහෙසී ද යත් ඒ සඳහා කව් දොළොසක් ම වැය කළේ ය.

පහරත කෙළි රිසින් පියතම ලියක වත

සිලිලත ගිලුණු නෙතිනෙන දිය බිඳු දිමුත

දැකැපත වසර කිසි කල කපට ලෙස ඇත

ලොවසත රැකෙනු සැබැවියැ සමහරු විපත

කෙළි කවටකම් රිසි පිරිමියෙක් සිය ප්‍රියාවගේ වතට දිය පහරක් ඉසියි. ඇසට වන් දියපහර නිසා ඇගේ ඇස් මොහොතකට නොපෙනී යයි. ඒ අවසරය දුටු කපටි කතක් සැණෙකින් පිරිමියා වෙතට ඇදෙයි. කෙනකුගේ විපතේ දී තව කෙනෙක් රුකෙත්. යන කියමන ඉන් සැබෑවන්නේ ය. පරවියේ දී දියකෙළින කාන්තාවෝ හිරු අවරට යන තුරු ම දිය කෙළිති. මහනැවියා පොකුණට එක් කවක් වෙන්කරන කෝකිල සන්දේශ කවියා ද කොවුල් දූතයාට එහි මහත් වූ සිරිසර නරඹන්නැයි කියයි.

එහෙත් එදවස පැවැති මහනැවියා පොකුණ අද දක්නට ඇද්ද? සැබවින් ම එවැන්නක් දකින්නට නැත. මම ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් වෙතින් මහනැවියා පොකුණ පිළිබඳ විමසීමි. ඔහු සන්දේශයන්හි සඳහන් වන පෙදෙසේ අද එවැන්නක් දක්නට නැති බව ය. කුඹල්ගම සිට වැලිගමට යන විට දක්නට ලැබෙන වගුරුබිම අතීතයේ මහ නැවියා පොකුණ පිහිටි පෙදෙස බව වාසල මුදලි ගුණවර්ධන සිය මයුර සන්දේශ විවරණයේ දක්වා ඇත. කළුකන්ද පාමුල පිහිටි මානගේ වැල්ල එකල මහනැවියා පොකුණ පිහිටි ප්‍රදේශය යයි දෙනවක ධම්මික රණවීර දිවයින පුවත්පතට 2010 – 06 -13 ලියන ලිපියක සඳහන් වෙයි.

තිසර සන්දේශ නව ශාස්ත්‍රීය සංස්කරණයේ දී මහාචාර්ය ඒ. වී. සුරවීර මෙසේ සඳහන් කරයි. “ මෙය වත්මන් මහනෙයියා පාරට ඔබ මූදු කෑමට අසුව ඇති ගල්පර සහිත මූදු කොටස ය.” ඉතින් අද දක්නට නැති මහනැවියා පොකුණ මූදු කෑමට අසුවන්නට ඇතැයි අපට ද උපකල්පනය කළ හැක. මහ නැවියා නම ලැබුණේ මුහුද අසල පිහිටි හෙයින් යයි කතාවක් ද අසන්නට ලැබෙයි. දෙනගම ධම්මික රණවීර මෙහි උපත පිළිබඳ ජනකතා සඳහන් කරයි. එකක් සතුරු ආක්‍රමණ හේතුවෙන් පලාගිය වළගම්බා රජුට හා බිසෝවරුන්ට දිය නෑමට කළ පොකුණක් බව ය. තවෙකක් වැලිගමට පැමිණි නාවිකයන්ට දිය නෑමට නාවිකයෙකු විසින් ඉඳි කරන ලද පොකුණක් බව ය. පණ්ඩිත වෙ. වි. අභයගුණවර්ධනයන්ගේ මහගෙදර පිහිටා ඇත්තේ මානගේ වැල්ල ආසන්නයේ ය. එහෙත් එතුමා කිසි දිනක මහනැවියා පොකුණ තබා එහි සලකුණක් හෝ දැක නැත්තේ ලු. මහ නැවියා පොකුණ යනු කෝට්ටේ යුගයෙන් පසු හරි හැටි නොදන්නා කලක මුහුදු කෑමට ලක්වූ අතීත සුන්දර පොකුණක් විය යුත්තේ ය.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න