චාන්දනී-බිම්සරා තරු පිරි­වරා පිපුණු සඳ­වත නදී | දිනමිණ

චාන්දනී-බිම්සරා තරු පිරි­වරා පිපුණු සඳ­වත නදී

නදී

දැනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විවිධ සිනමා කලා හා සාහිත්‍ය වැනි සම්මාන උළෙල අතර වාර්ෂිකව අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන රූපවාහිනී කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට සම්මාන පිදෙන ටෙලි සම්මාන උළෙල කිහිපයක්ම වේ. සුමති, රයිගම්, සිග්නීස් යන උළෙල මේ අතර ප්‍රමුඛ වන කල්හි රාජ්‍ය මට්ටමින් මෙම කලා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයෙන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල මෙම සම්මාන උළෙල ඉතිහාසයට එක්ව සිටින වයසින් ළා බාලම කලා මංගල්‍යය වේ. රූපවාහිනී කලා ක්ෂේත්‍රය තුළ 2017 වර්ෂයේ දස්කම් පෑ නිර්මාණකරුවන්ට පළමුවෙන්ම සම්මාන පිරිනැමීමේ ගෞරවය හිමිවන්නේ රයිගම් ටෙලීස් ජාතික ටෙලි සම්මාන උලෙළටයි.

ඉන් පසුව 2018 වර්ෂය පුරා නිමා වූ සම්මාන උලෙළ සියල්ලෙහි අවසාන සම්මාන පිරිනැමීම ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය රූපවාහිනී කලා උපදේශක සභාව එක්ව පසුගිය සතියේ පවත්වන ලද රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල හැඳින්විය හැකිය. සම්මාන ප්‍රදානයේ උත්කර්ෂවත්ම අවස්ථාව ලෙස සැලකෙන ප්‍රාසංගික ටෙලි නාට්‍ය නිර්මාණ විශිෂ්ටයන්ට පිදුණු සම්මාන අතර මෙම වසරේ පිදුණු විශිෂ්ටතම හා දුර්ලභ වාර්තාවකට හිමිකම් පෑ සම්මානය වූයේ වසරේ හොඳම නිළි භූමිකාවට පිරිනැමුණු සම්මානයයි. එය දිනා ගත් නදී කම්මැල්ලවීර ආනන්ද අබේනායකගේ බැද්දේ කුලවමිය ටෙලි නිර්මාණයේ චංචලා ගේ රංගනය උදෙසා සියලු ටෙලි නාට්‍ය උළෙල හොඳම නිළි සම්මානය හිමි කරගැනීම මෙරට කුමන හෝ සම්මාන උළෙලක දී පිහිටු වූ බිඳීමට අපහසු කඩඉම් වාර්තාවක් ලෙස අපි දකිමු. මෑත කාලීන එවන් සම්මාන වාර්තාවකට හිමිකම් පෑවේ ලක්ෂාන්ත අතුකෝරල කවියා බව සිහිවේ.

ඔහු 2017 වර්ෂයේ පවත්වන ලද රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ත්‍රිත්වයෙහි දී ම හොඳම කවියා ලෙස සම්මාන ලබමින් පිහිටු වූ වාර්තාවට පසු නදී කම්මැල්ලවීර මෙරට ප්‍රමුඛ ටෙලි සම්මාන උළෙල හතරෙහි දීම විශිෂ්ට නිළිය ලෙස අබිසෙස් ලැබීම අතුල්‍ය අවස්ථාවක් වී හමාරය. ඈ බැද්දේ කුලවමිය ලෙස සම්මාන ලබන්නී , එම ටෙලි නළුවෙහිම රඟ පෑ චාන්දනී සෙනෙවිරත්න හා බිම්සරා ප්‍රේමරත්න ආදී පරිවාර නිළි සොයුරියන් ද මහේන්ද්‍ර පෙරේරා වැනි විශිෂ්ටයකු ප්‍රධාන භූමිකාව සඳහා සම්මාන ලබන මොහොතක වීම නදීට හිමි වූ සම්මානයෙහි අමිල අගය වේ. සාර්ථක නළුවරණයක, අධ්‍යක්ෂණයක මිහිරි ඵල නොවේද එකම නිර්මාණයක ප්‍රධාන භූමිකා සියල්ල එක් වර සම්මානයෙන් පුදනු ලැබීම? ගුවන් ගැබ පිපුණු සඳවත නදී වී නම් ඇගේ තනියට දෙපසින් පායා විත් සඳවත ආලෝකවත් කළ දිදුළ තාරකා වූයේ චාන්දනී හා බිම්සරායි. චාන්දනී සෙනෙවිරත්න වැනි ප්‍රවීණ නිර්මාණකාරියකගේ හා මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර වැනි ප්‍රවීණයන් සමඟ ගැටෙන චරිත කිහිපයක් මැද තම භූමිකා මනා අවබෝධයකින් නිරූපණය කිරීමෙහි ලා නදී හා බිම්සරා විසින් පළ කරන ලද රංගන ප්‍රතිභාව උදෙසා ඔවුන් නිසි ඇගයීමට පාත්‍රවීම විනිශ්චයෙහි පාරදෘශ්‍යභාවයට නිදසුනකි. විනිශ්චයෙහි නිර්භීතත්වය පෙන්වන්නකි. රංගනයම මිස රංගනය තුළින් දකින මුහුණු විනිශ්චය සඳහා බලපෑමක් නොකරන බව රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලය විසින් ඔප්පු කොට තිබීම අගය කළ යුතු වේ.

සාම්ප්‍රදායික ප්‍රධාන නිළි භූමිකාවකට අවශ්‍ය එකදු අංග ලක්ෂණයක් හෝ නදී සතු නොවූවාය. ඈ කාල වර්ණය. නොඋස්ය. පිරුණු ළැමැදකින් හෝ නිතඹකින් සැදුණු සිරුරක් ඇත්තියක නොවන්නීය. අක් බඹරු සහිත කේශ කලාපයක් හෝ නවීන තරුණියක විසින් නඩත්තු කරනු ලබන කේශාලංකාරයක් ද නදී සතු නොවන්නීය. එහෙත් රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත බැද්දේ කුලවමිය නවකතාවේ හමුවන චංචලා මෙන්ම අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයෙන් නිරූපිත ගතානුගතික සිතුම් පැතුම් බැහැර කොට ජීවිතය දෙස විවෘතව බලන්නට පුරුදු වූ නිදහස් සිතුම් පැතුම් සතු චංචලා ද අධ්‍යක්ෂ ආනන්ද අබේනායක අපේක්ෂා කළ චංචලා ගේ රූපණය ද ප්‍රතිනිර්මාණය කරන්නට නදී සමත්වන්නී ප්‍රේක්ෂකයා විස්මයට පත් කරවමිනි. සෝමලතා සුබසිංහ වැනි නාට්‍යවේදිණියකගේ සෙවණෙහි ඈ ලද ගුරුහරුකම් ද නදී ගේ රංගනයෙහි ශක්තිය වී ඇත්තේ? විකෘති නාට්‍යයේ නදීගේ රඟපෑම මට සිහි වේ. සිනමාව හෝ රූපවාහිනී තිරයෙහි රඟපෑමට වේදිකා රංගනයෙන් ලැබෙන පන්නරය කෙතරම් විසාල ද යන්නට ජීවමාන නිදසුන් අප සතුය. අකල් වැස්ස වේදිකා රංගනය මාලිනී ෆොන්සේකා වැනි පුළුල් තිරය ජයගත් නිළියකගේ රංගනයෙහි ඇරඹුම් සාධකය වේ. රන්තෝඩු වැනි වේදිකා රංගනයක අර්ථවත් ඵල සිනමා රංගනයෙහි දී නෙළා ගන්නී අනුලා කරුණාතිලකයි. නදී එමගෙහිම පැමිණ ඔවුන්ටත් පෙරම තම සැඟවුණු රංගන ප්‍රතිභාව ලොවට කියා පෑ යෞවනියයි. පුංචි තිරයේ රඟපෑමට පෙර සිටම නදී යනු සියුම් චරිත මනෝභාව හඳුනාගෙන රංගනයට සමත් නිළියක බව අප දකින්නේ 2003 තරම් ඈත කාලයක ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය ඉර මැදියම තුළින්ය.

ඉර මැදියමෙහි කමණී ලෙස රඟපාමින් ඈ සරසවිය සම්මාන උලෙළ නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ දවස අපට මතකය. රූපවාහිනී සම්මාන උලෙළ රාත්‍රියට ඇයට සහභාගීවන්නට නොලැබුණා සේම සරසවිය සම්මානය ලබන්නට ද ඈ පැමිණි බවක් මතකයේ නොමැත. නදී කම්මැල්ලවීරට චංචලා ලෙස බැද්දේ කුලවමිය නිර්මාණයෙහි අභියෝගාත්මක රංගන ප්‍රතිභාව ප්‍රකට කරනු ලබන්නී, ඈ හැදුණු වැඩුණු පරිසරය , පවුල් පසුබිම, උසස් පෙළ දක්වා පමණක් ලද අධ්‍යාපනය, පරිසරයට, ගහ කොළ , සතා සීපාවාට ඈ දක්වන ආදරය , ඈත දුෂ්කර ගම්මානයක ජීවන රටාවට එරෙහිව යමින් නිර්භීතව, නිදහස්ව හැසිරෙන, කතා බහ කරන විලාසය ආදී ඇගේ ගති ස්වභාව තුළ ඇති සියුම් චරිත ලක්ෂණ අව්‍යාජව ආයාසයකින් තොරව නිරූපණය කරමිනි. නගරයෙන් ගමට පැමිණෙන තරුණ වෛද්‍යවරයා හා ඈ අතර ඔවුන් දෙදෙනාගේ පවුල් පසුබිම් අතික්‍රමණය කෙරෙමින් ගොඩනැගෙන ආදරය, විවාහයක් දක්වා ගොස් නිර්භීතව ඊට මුහුණ දීමේ අවස්ථාව උදා කර ගැනීම තෙක් ඔවුන් දෙදෙනා මුහුණ පාන අතිශයින් සංකීර්ණ හා ඉසියුම් මානුෂික සබඳතා අතර ඊට මුහුණ දෙන ආකාරය නදීගේ රංගාවබෝධය පිළිබඳ ඈ සතු කැඩපතයි. ඈත ගම්මානයෙන් නගරයේ ඉහළ මධ්‍යම පාංතික නිවසක ජීවිතයේ අතැම් චර්යාවන් හා ගැටෙමින් එකී පරිසරය, චර්යාවන් සැණෙකින් හඳුනා ගනිමින්, ඊට මනාව අනුගතවෙමින් තම සැමියාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ චරිත සමඟ මෙන්ම සැමියාගේ පැරණි පෙම්වතියගේ චරිතය සමග ද ඝට්ටනය වෙමින්, චංචලා නම් නිදහස් සිතුවිලිධාරී කෙල්ලකගේ චරිතය පණ ගැන්වීමේ අභියෝගය නදී ජයගන්නී චරිත හා අවස්ථා නිරූපණයෙහි ලා ඈ සතු භාව ප්‍රකාශනය,රංගොචිතව, අර්ථසම්පන්නව වෙනස් කර ගනිමිනි.

ඈ තම මාමණ්ඩියගේ කන්තෝරු කාමරය තුළ සිටින මොහොතක, ඔහු හා අමුත්තෙකු අතර සංවාදයක දී ඉංග්‍රීසි බස අපූරුවට හැසිර වූ මොහොත මා මතකයට නැගේ. චංචලාගේ චරිතය විසින් ඉල්ලා සිටිනු ලබන ජීවන අරගලයේ ගැටුම් හා සංකීර්ණ අවස්ථා සියල්ල තුළ නදී ගේ නිසර්ග රූපණ කුසලතාව එළියට ඇද ගැනීමට අධ්‍යක්ෂ ආනන්ද අබේනායකට පහසුවන්නේ නදී ගේ රංගනයෙහි නම්‍යශීලී ගුණය නිසා යැයි අපට සිතේ. ඈ මෘදු ගුණය මෙන්ම දඩබ්බර හිතුවක්කාරී චරිත ලක්ෂණ ද ප්‍රකට කිරීමෙහි ලා රංගන ලීලා වෙනස් කරගන්නා'යුරු ප්‍රශස්ථය. අපූර්වය. විවිධ අධ්‍යාපන හා ජීවන අත්දැකීම්, රූපවාහිනී මාධ්‍යය පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විනිශ්චය මණ්ඩල හතරකම ඒකමතික විනිශ්චය වීමේ දුර්ලභ වූ අවස්ථාව නදී කම්මැල්ලවීර නම් නිළියට හිමිවීම ආශ්චර්යයක් නොවන්නේ ඈ චංචලා ගේ චරිතය අව්‍යාජව ප්‍රතීයමාන කොට ඇති බැවිනි.

බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ සියලු ප්‍රධාන භූමිකා සම්මානයෙන් පුදනු ලැබීමේ රහස කුමක් ද? නවකතාව සම්පූර්ණයෙන්ම රූපවාහිනියට උචිත වන අයුරින් රචිත තිර නාටකයෙහි ප්‍රධාන භූමිකා සියල්ල , නාගරික වෛද්‍යවරයාගේ දෙමාපියන්, ඔහුගේ පියාගේ අනියම් සබඳතාව, නදීගේ ගැමි ජීවිතය , ඈ රැක බලා ගන්නා ඥාතීන්, වෛද්‍යවරයාගේ පෙර පෙම්වතිය, නදීගේ ආදරය පතනා ගැමි පෙම්වතාගේ චරිතය ආදී සියලු චරිත එකිනෙකට සම්බන්ධ අන්තර් මානුෂීය සබඳතා තිර රචනය මගින් මනාව සංවිධානාත්මකව ගොඩ නැගී තිබීම මෙම ටෙලි නාටකයෙහි කැපී පෙනෙන සාධනීය ගුණය වේ.

ප්‍රධාන භූමිකාව වන චංචලා සඳවතක් සේ පිපී විත් ගුවන ආලෝකවත් කරන කල්හි ඈ දෙපසින් පායා ආ තාරුකා සේ චාන්දනී ගේ හා බිම්සරා ගේ චරිත නදී මුහුණ දෙන ජීවන අරගලයේ කොටස්කාරියන් බවට පත් වී සමස්ත නාට්‍ය මාලාව පුරා ආලෝකය පතුරුවා සිටිනු පෙනේ. චාන්දනී හා බිම්සරා ද තම රංගන ජීවිතයට අත් පොත් තබන්නේ වේදිකාව ඔස්සේ වීම නදී ගේ සම්මාන වාර්තාවේ තවත් කැපී පෙනෙන සමාන ලක්ෂණයකි.

චාන්දනී මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිප් ලබනා සමයේ පාසලේ නාට්‍ය ගුරුතුමිය, සෝමලතා සුබසිංහ ගේ පාසල් නාට්‍ය නිෂ්පාදන වූ කතන්දර දෙකක්, පුංචි අපට දැන් තේරෙය්, හා තොප්පි වෙළෙන්දාගේ කතාවෙහි රඟපෑවාය. තොප්පි වෙළෙන්දා නාටකයෙහි තොප්පි වෙළෙන්දා සේ රඟ පෑ චාන්දනී ගේ රංගන චාරිකාව තුළ සිනමාවෙහි ද, වේදිකාවෙහි ද, පුංචි තිරයෙහි ද අප දුටු, අපට අමතක නොවන භූමිකා රැසකි. පුංචි තිරයෙහි, චාන්දනී ගේ විශිෂ්ට භූමිකා අතර අප මතකයේ රැඳී ඇති නිර්මාණ රැසකි. දූ දරුවෝ, නෑදෑයෝ, ගිරය, ගම්පෙරළිය, අකාල සන්ධ්‍යා, චෙස්, වන් වේ One Way ඉන් කිහිපයක් පමණි. රයිගම්, සුමති, සිග්නීස් ටෙලි සම්මාන උළෙල රැසකදීම චාන්දනී හොඳම නිළි සම්මාන දිනූ වාර අපමණය. රයිගම් (4 ) සුමති (3 ) සිග්නීස් (4 ) ඇගේ හොඳම නිළි සම්මානයි. හොඳම නිළි සම්මානයට අමතරව හොඳම සහාය නිළි සම්මාන දිනූ වාර ද රැසකි. වේදිකා රංගනය තුළ චාන්දනී ගේ රඟපෑම් මතකයට නංවන චරිත අතර, පුත්‍ර සමාගම, සොක්‍රටීස්, මායාදේවී හා තවත් ප්‍රමුඛ නාට්‍ය රාශියකි. නාට්‍ය රංගනයට අමතරව, කෙටි නාට්‍ය අධ්‍යක්ෂණයෙහි ද දස්කම් පානා චාන්දනී ගේ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩල සභාපතිනියගේ භූමිකාව ද අමතක කළ නොහේ. ඇගේ රංගන පරාසය පුළුල්ය. වේදිකාව, පුංචි තිරය මතු නොව චාන්දනීගේ රංගනයෙන් සිනමාව ද බැබළුණු අවස්ථා බොහෝය. සතිපූජා, කුසපබා, නිකිණි වැස්ස ආදී සිනමා කෘති චාන්දනීගේ චිත්‍රපට නිළි භූමිකාවෙහි නිර්මාණශීලීත්වයට සාක්ෂි වේ. නිකිණි වැස්ස රඟපෑම වෙනුවෙන් ඈ මෙතෙර පමණක් නොව එතෙර ද සම්මාන දිනා සිටින්නීය. ඩුබායි අන්තර්ජාතික සිනමා උලෙළෙහි දී නිකිණි වැස්ස රඟපෑම වෙනුවෙන් චාන්දනී ජූරියේ විශේෂ සම්මානයකට හිමිකම් පෑවාය. සිනමා රංගනය වෙනුවෙන්, දේශීයව, සරසවිය, ජනාධිපති, සිග්නීස් හා හිරු සිනමා සම්මාන උළෙල සියල්ලෙහිදීම සම්මානලාභිනියක වූ චාන්දනී බැද්දේ කුලවමිය තුළ තම ස්වාමි පුරුෂයා ගේ රහස් සම්බන්ධතාවක් හමුවේ කුටුම්බය රැකගැනීමේ අරගලයක යෙදෙන බිරිඳකගේ චරිතයට අමතරව, තම පුතුගේ නොගැළපෙන විවාහයක් හමුවේ මුහුණපානා සංකීර්ණ මානුෂීය ගැටලුවක් තුළ ද අභියෝගාත්මක රංගනයක නිරතවන්නීය. නදී වැනි ආධුනික නිළියකගේ රංගන නිර්මාණ කාර්යයක දී චාන්දනී වැනි ප්‍රවීණ වැඩිහිටි නිළියකගේ අවංක දායකත්වය , ගුරුහරුකම, නිසැකවම චංචලා චරිතය මෙලෙස සම්මානයට පාත්‍රවීමට වක්‍රව හෝ බලපාන්නට ඇතැයි යන්න මගේ විශ්වාසයයි. චාන්දනී බැද්දේ කුලවමිය තුළ හොඳම සහාය නිළි සම්මානය දිනාගන්නී ඈ ඊට ඉතාම සුදුසු නිළිය බවට ප්‍රේක්ෂකයන් තුළ වූ විශ්වාසය තහවුරු කරමිනි.

නදී කම්මැල්ලවීර චංචලා භූමිකාවට ප්‍රාණය දෙන්නී චාන්දනී මෙන්ම තවත් ප්‍රධාන අතුරු චරිතයක් රඟපානා බිම්සරා ප්‍රේමරත්නගේ ද සහායයෙනි. ඈ චංචලාගේ ස්වාමිපුරුෂයාගේ පෙර පෙම්වතියයි. චංචලා හා ෂෙරීන් අතර වරින් වර ප්‍රේක්ෂකයන් දකින විරසක යථාර්ථවාදීව රංගනයෙන්, සංයමයෙන් යුතුව තම අභිනයන් මනාව භාවිත කර ගනිමින් බිම්සරා රඟන්නී රංගනයට ආධුනික නිළියකගේ මට්ටමින් ඔබ්බට ගොසිනි. මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ බිම්සරා වේදිකාව මත මා පළමුවරට දකින්නේ 2013 තරම් ඈත කාලයකය.

ලයනල් වෙන්ඩ්ට් රඟහලට වසර 60 ක් සපිරීම වෙනුවෙන් 2013 ජූලි මස වේදිකාගත වූ ජෙරොම් ද සිල්වා Workshop Players වෙනුවෙන් නිෂ්පාදනය කළ අමෙරිකානු නාට්‍යවේදී ටෙනිසි විලියම්ස්ගේ A Streetcar Named Desire නාට්‍යයේ බ්ලාන්ච් ඩුබ්වා Blanche DuBois ගේ චරිතය සමඟිනි. ඉංග්‍රීසි වේදිකාවෙන් බිම්සරා සිංහල වේදිකාවට පා තබන්නී 2016 වර්ෂයේ දී රාජිත දිසානායකගේ නැතුව බැරි මිනිහෙක් නාට්‍යය සමඟය, ඈ තම ප්‍රථම සිංහල වේදිකා නාට්‍ය රංගනයට රාජ්‍ය නාට්‍ය උලෙළ හොඳම සහාය නිළි සම්මානය දිනාගන්නී ඇගේ දිගු රංගන චාරිකාවේ ප්‍රථම කඩඉම සටහන් කරමිනි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අපට ඈ හමුවන්නේ 2014 දී ආනන්ද අබේනායකගේ අප්පච්චි ටෙලිනාට්‍යයේ දීය. අප්පච්චිහි මේඝනා ගේ චරිතයට මෙන්ම යළිත් ආනන්ද අබේනායකගේම බැද්දේ කුලවමිය ෂෙරීන්ගේ චරිතයට ද පණ පොවමින් දෙවරක්ම රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය හිමිකර ගන්නීය.

 සුමති හා සිග්නීස් උළෙල ද මේ චරිත ද්වය සඳහා හොඳම නැගී එන නිළි සම්මානය ඇතුළු විශිෂ්ටතම සහාය නිළි භූමිකාව සඳහා සම්මාන පිරිනමා ඇත්තේ බිම්සරා යනු නිර්ව්‍යාජ රංගනයේ සීමා හඳුනාගෙන රංගනයේ නිරත මතු බලාපොරොත්තු තබා ගත හැකි නිළියක බව දත් නිසා විය යුතුය. ඇයටම අනන්‍ය අභිනයන් සතු බිම්සරාගේ හඬ පෞරුෂය ඇගේ රඟපෑමට ආලෝකයක් වැන්න. සුනිල් ආරියරත්නගේ යශෝධරා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය වෙනුවෙන් බිම්සරා තම හඬ භාවිත කොට තිබූ අපූරුව මට සිහිපත් වේ. නදී කම්මැල්ලවීර මෙන්ම බිම්සරා ද මෙරට රංගන ක්ෂේත්‍රයට දෙවියන් විසින් දුන් දායාද වැන්න.

බැද්දේ කුලවමිය මෙරට ටෙලිනාට්‍ය වංශ කතාවේ නිසැක කඩඉමකි. සන්ධිස්ථානයකි. ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසේන පතිරාජ, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම ආදීන්ගේ සුභාවිත ටෙලි නාට්‍ය සම්ප්‍රදාය රැක ගැනීමෙහි ලා අනාගත අපේක්ෂා දල්වා සිටින නවපරපුරෙහි ඉදිරියෙන්ම සිටින්නා වූ ආනන්ද අබේනායක වැන්නෙකුගේ බුහුටි නිෂ්පාදනයක් වූ බැද්දේ කුලවමිය ජීවිතය පිළිබඳ අර්ථ සම්පන්න අනුභූතියකට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යනු අපි දකිමු. එහිදී ඉහත සටහන් කළ නදී, චාන්දනී හා බිම්සරාගේ සම්ප්‍රදානයන් අති විශිෂ්ටය.

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න