කොටි සංවි­ධා­න­යට අභි­යෝග කළ සින­මා­ක­රුවා | දිනමිණ

කොටි සංවි­ධා­න­යට අභි­යෝග කළ සින­මා­ක­රුවා

ජූඩ් රත්නම්

දෙමළ ඩයස්පෝරාව වගේම උතුරේ දෙමළ දේශපාලනඥයනුත් දැඩි විවේචනයට ලක් කරන වීඩියෝ පටයක් මේ දවස්වල මුහුණු පොතේ සැරිසරනවා. ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් (Global Sri Lanka Forum) නම් බැනරයක් මෙහි පසුබිමේ දක්නට ලැබෙනවා. අදහස් පළ කරන පුද්ගලයා දෙමළ ජාතිකයෙක් බව පැහැදිලියි. එහෙම වුණාට ඔහුගේ නම නම් කොතැනකවත් සඳහන් වෙන්නෙ නැහැ. ඒ නිසා එම වීඩියෝව අව්‍යාජ එකක් ද කියා තහවුරු කර ගැනීම අසීරුයි. කොහොම වුණත් මනා ලෙස සිංහල කතා කරන ඒ දෙමළ ජාතිකයා තමාව විශාල අවදානමකට ලක් කර ගන්න බව නම් සහතිකයි. මන්දයත් ඔහු විවේචනය කරන්නේ තම ජාතියටම අයත් වෙනත් කණ්ඩායමකගේ ක්‍රියාකාරකම් ගැන නිසයි.

ඉහත කී වීඩියෝව බලන අතරවාරයේ මට තවත් වාර්තාවක් දැකගන්න ලැබුණා. ඒ වාර්තාව නම් අර වීඩියෝවට වඩා විශ්වාසදායකය කියල හිතෙනවා. මොකද එය බී.බී.සී. ගුවන් විදුලිය වෙනුවෙන් එහි මාධ්‍යවේදිනියක විසින් සම්පාදනය කරනු ලැබූ එකක් නිසයි. දෙමළ සිනමාකරුවකු වන ජූඩ් රත්නම් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනුයි නලිනි සිවදාසන් නම් මාධ්‍යවේදිනිය ඒ වාර්තාව සකස් කර තිබෙන්නෙ. ජූඩ් රත්නම් මෙහිදී ඉතා නිර්භීතව අදහස් පළ කරන බව පෙනෙනවා. කොටින්ම කියනවා නම් ජූඩ් තමන්ව හඳුන්වා දෙන්නේ තමා සම්මත මතවාදයට එරෙහිව යන්නකු ලෙසයි. වෙනත් විදිහකට කියනවා නම් දෙමළ ඩයස්පෝරා මතවාදයට අනුව තමා “දෙමළ ජාතිය” පාවා දෙන්නකු බවයි.

සෙසු දෙමළ සිනමාවේදීන් හා කලාකරුවන් පසුගිය යුද සමයේදී දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණය පිළිබඳව හඬ නඟන විට ජූඩ් රත්නම් ඊට පටහැනි මතයක් දරන්නේ මන්ද කියා නලිනි සිවදාසන් ප්‍රශ්න කරනවා. ඊට ජූඩ් රත්නම් පිළිතුරු දෙන්නේ මෙසේයි.

“හුඟක් දෙමළ සිනමාකරුවන් නිර්මාණය කර තිබෙන්නේ දෙමළ ජනයා පමණක්ම වින්දිතයන් බවට පත් වූ බව නිරූපණය කෙරෙන චිත්‍රපටි. ගැටුමකදී එය ප්‍රශ්නසහගතයි. කවුරුත් දන්නවා කොටි සංවිධානය වැඩ කළ ආකාරය. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම වගේ සදාචාර විරෝධී වැඩ හුඟක් ඔවුන් සිදු කළා. මෙවැනි වැඩ කළ කොටි සංවිධානය වීරයන් හැටියට සැලකීම අපහසුයි. නමුත් රට තුළ වගේම රටින් පිටටත් බහුතරයක් දෙමළ ජනයා කොටි ව්‍යාපාරයට සලකන්නේ වීරත්වයකින්. හුඟ දෙනෙක් හිතා ඉන්නවා සිංහල අන්තවාදීන්ගෙන්, ජාතිවාදී ආණ්ඩුවලින් තමන් ආරක්‍ෂා කරගත්තේ කොටි සංවිධානය කියලා. ඒත් දෙමළ ජනයාට වැඩිම කෲරත්වයක් දැක්වූයේ කොටි සංවිධානය කියලයි මම කියන්නේ. තමන් විසින් රැකවරණය සැලසිය යුතු තමන්ගේම ජනතාවට විශාල ලෙස හිරිහැර කළේ ඔවුන්ම තමා.”

මෙවැනි අභියෝගාත්මක අදහස් පළ කරන ජූඩ් රත්නම් විසින් කරන ලද සිනමා නිර්මාණය අද ලොව පුරා චිත්‍රපට විචාරකයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. එම චිත්‍රපටයේ නම “Demons In Paradise” (පාරාදීසයේ යක්‍ෂයෝ). කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් දැඩි විවේචනයට ලක් කරන ප්‍රථම දෙමළ සිනමාකරුවා ලෙස හැඳින්වෙන්නේ ජූඩ් රත්නම්. මේ චිත්‍රපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය වුණේ 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලෙදි. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට ජූඩ්ට ඕනාවටත් වඩා සුදුසුකම් තිබෙන බවයි ඔහු පිළිබඳ තතු දන්නා අය පවසන්නෙ.

ජූඩ් රත්නම් ජාතිවාදී ගැටුම් අත්දකින්නෙ වයස හයේදී. 1983 ජාතිවාදී ගැටුම් ඇතිවන විට ජූඩ් පසු වුණේ ළමා වියෙයි. ජාතිවාදින් ඔවුන්ට හිරිහැර කරන්න පැමිණි අවස්ථාවෙ යාබද සිංහල නිවසක වැසිකිළියක සැඟවී දිවි ගලවාගත් බවත් ඔහු පවසනවා. කොළඹ ප්‍රදේශයේදී මුහුණදීමට සිදුවූ ඒ බිහිසුූණු සිද්ධියේදී ඔවුන්ගේ නිවාස දැවී අළු වී ගිය විට ඔවුන් රැකවරණය පතා මඩකළපුවේ පදිංචියට ගොස් තිබෙනවා. ජූඩ්ගේ සීයා වන එම්. එස්. රත්නම් කවියෙක් හා නළුවෙක්. ජූඩ්ගේ “පාරාදීසයේ යක්‍ෂයෝ” චිත්‍රපටයට පසුබිම් වන්නේ දැනට කැනඩාවේ ජීවත් වන මාධ්‍යවේදියකු වන එස්. මනෝරාජන්ගේ පීවන පුවතයි. එස්. මනෝරාජන් ජූඩ්ගේ මාමා කෙනෙක්.

Daily Mirror පුවත්පතේ සිනමා විචාරකයෙක් ජූඩ්ගේ චිත්‍රපටය පිළිබඳ තැබූ සටහනක මෙසේ සඳහන් වෙනවා. “ශ්‍රී ලාංකිකයකු විසින් ලංකාව පිළිබඳව කරන ලද ඉතා අවංක හා ධෛර්යසම්පන්න අගනා කලා නිර්මාණයක් ලෙස “පාරාදීසයේ යක්‍ෂයෝ” හඳුන්වා දිය හැකිය. ලාංකික විචාරකයන් ජූඩ්ගේ නිර්මාණය එසේ ඇගයුමට ලක් කළත් දෙමළ ජාතික සිනමා විචාරකයන් ඒ දෙස බලන්නේ වෙනත් ආකාරයකටයි. නෝර්වේ දේශයේ පදිංචිකරුවකු වන අතිතන් ජයපාලන් දක්වා ඇති අදහසකින් එය තහවුරු වෙනවා.

“මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ සිවිල් යුද්ධය ගැන වැරදි අදහසක් හුවා දැක්වීමටයි. විශේෂයෙන්ම ඒ පිළිබඳව අවබෝධයක් නැති අන්තර්ජාතික ප්‍රජාව නොමඟ යවනසුලූ චිත්‍රපටයක්. ආණ්ඩුව කළ අපරාධ කොටි කළ ඒවාට වඩා දරුණුයි” ජයපාලන් පවසන්නේ එවැනි අදහසක්.

ජූඩ් රත්නම් සිනමාවේදියා මෙවැනි විවේචනවලින් සැලෙන්නේ නැහැ. විදෙස්ගතව සිටි ඔහු පසුගිය කාලයේ ලංකාවට පැමිණ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. සිංහල හා දෙමළ ජනයා හමු වී කතා බස් කරන්නටද ඔහු අමතක කළේ නැහැ. ඔහු දරන අදහස් බී.බී.සී. මාධ්‍යවේදිනිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ කිසිදු පැකළීමකින් තොරවයි.

“කොටි සංවිධානය ඉස්මතු වුණේ ප්‍රතිවිරුද්ධ සංවිධානවල සාමාජිකයන් ඝාතනය කරලයි. ටෙලෝ සංවිධානයේ විතරක් සිය ගණනක් මරා දැම්මා. මගේ මාමාත් ප්‍රතිවාදී කණ්ඩායමක සටන්කරුවෙක්. කොටි සංවිධානයෙන් ආරක්ෂා වීමට ඔහුට රට හැර යන්න සිදුවුණා. ඔහුගේ කටුක අත්දැකීම් මා දන්නවා. ඒ වගේම මට හමු වූ දෙමළ තරුණයෙක් පැවසූ කාරණයක් මගේ සිත තදින්ම පෑරුවා. ඔහුගේ පියා නිදාගෙන සිටියදී ඇඳ පිටින්ම ඔසවාගෙන ගොස් ගිනිහම් කළ යකඩයකින් පුළුස්සා ඇස් උගුල්ලා දැමූ අයුරු මට විස්තර කළා. මෙවැනි සිද්ධි දෙමළ ජනයාට අමතක කළ නොහැකියි.”

“ඇත්තට අවසානයේ කොටි පරාජය වෙනවා දකින්න මට ඕනෑ වුණා. අපේ ජනයාගේ ජීවිත රැසක් අහිමි වෙලා හෝ එය අවසානයක් දැකීම හොඳයි කියා මා සිතනවා”

ජූඩ් රත්නම් සිය පෙරළිකාරී අදහස් ප්‍රකාශනය නිමා කර තිබුණේ ඒ වැකි කිහිපයත් සමඟයි. 83 ජූලියේ සිදු වූ ජාතිවාදි ප්‍රහාරයේදී දැඩි ලෙස බැට කෑ මේ දෙමළ තරුණයා ජාතිවාදයට හතුරු වුණත් තමාගේ මවුබිමට හතුරු වී නැති බව ඔහුගේ අදහස්වලින් මනාව තහවුරු වෙනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා අපේ සිතුම් පැතුම් හැඩගස්වා යුතු වන්නේ ශ්‍රී ලාංකීකයන් හැටියට බවයි ඔහු මේ අදහස් මගින් පෙන්වා දෙන්නේ. ඒ වගේම කලාකරුවෙක් තම හෘදය සාක්ෂියට එකඟව නිර්මාණ සමාජගත කිරීමේ වැදගත්කමත් ඔහු අපට පෙන්වා දෙනවා. ජූඩ් රත්නම් වැනි පුළුල් මනසකින් යුත් තරුණ නිර්මාණකරුවන් වැඩි වැඩියෙන් අපේ මවුබිමට අවැසි යුගයක් උදා වී තිබෙන බවත් සිහිපත් කරමින් මේ සටහන නිමා කරන්න කැමතියි.

කමල් පෙරේරා

නව අදහස දක්වන්න