කුණු­හ­රුප ජෝක්ස් ඔස්තාද්ලා | දිනමිණ

කුණු­හ­රුප ජෝක්ස් ඔස්තාද්ලා

ඇම්බන් මහත්තයා.... අර කවුද අර ගුවන් විදුලිය ඉස්සරහා බැම්මේ ඉඳ ගෙන ඉන්නේ... බොහොම දුකින් වාගේ... ‘කියා ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාට ඇඟිල්ලෙන් ඇන්නේය.

‘හැබෑවටම... හොඳට දැකලා පුරුදු මූණක් තියෙන්නේ... ටිකක් කල්පනා කරලා බලමු කවුද කියලා..‘ කියා ඇම්බන් මහත්තයා කීවේය. ඒ අතරේ උන්නැහේ අමුත්තා දෙසට තව ටිකක් කිට්ටු වී නැඹුරු වී බැලුවේය.

‘හප්පේ... මේ අපේ විනෝද සමයේ අමාරිස් අයියානේ.... ‘ කියා උන්නැහේ කීවේ තරමක් ශබ්ද නැගෙන හඬකිනි. ඒ අසා ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් අමුත්තෝ දෙස බැලූහ.

‘හැබෑව නේන්නම්... මේ අමාරිස් අයියානේ... අනේ අප්පේ දැකපු කාලයක්... මුන්නැහේලා නැතිව අපි මේ බොහොම දුකින් තමයි කාලය ගත කරන්නේ‘ කියා උන්නැහේ බොහොම දුක්මුසු වූයේය.

‘හැබෑවමට අමාරිස් අයියා... මේ කොහෙද හදිසියේ... ගුවන් විදුලිය බලන්ඩ ආවාද? ජීවිත කාලයක් හිටපු තැනනේ..‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

අමාරිස් අයියා බොහොම බරසාර කට හඬකින් කතා කළේය.

‘බලන්ඩම නෙවෙයි ඉතින් ... මං මේ ආවේ පැමිණිල්ලක් කරන්ඩත් හිතා ගෙන... කෝ තවම අපේ අනිත් දෙන්නා නෑනේ... ‘ කියා අමාරිස් අයියා වටපිට බැලුවේය.

‘ඒක තමයි... අමාරිස් අයියා... පහුගිය කාලේ ඉතින් අපට හරියට හිනා වෙන්න කියලා දෙයක් තිබුණෙත් නෑනේ... අඩු ගණනේ අමාරිස් අයියාගේ මූණ දැක්කත් ඉතින් අපට හිනා යනවා... ඒ තරම්ම විනෝද සමය අපේ ජීවිතවලට එකතු වෙලා නේ තිබුණේ. ඒ වුණාට ඉතින් දැන්නම් අනේ අපොයි කියලා හිතෙනවා...‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ඒක තමයි මාත් මේ ගුවන් විදුලියට පැමිණිල්ලක් කරන්ඩ හිතා ගෙන ආවේ... අපෙනුත් එක වැරැද්දක් වුණානේ.. ඒ ඉතින් අපි ගෝල බාලයෝ හැදුවේ නෑ නේ.. ඒ හින්දා අපි කරපු විහිළු තහළු ඉස්සරහට ගෙනියන්න ගෝලයෝ නැති වුණානේ.. ඒක මේ අපි විතරක් කරපු වැරැද්දක් නෙවෙයි. ගුවන් විදුලියත් ඒකට වග කියන්න ඕනෑ.. ‘ කියා අමාරිස් අයියා කීවේය.

‘නෑ.. එහෙමමත් නෙවෙයි නේද අමාරිස් අයියා.. බොහොම අමාරුවෙන් හදා ගත්ත ගෝලයෝ දෙතුන් දෙනාත් අන්තිමට සල්ලිවලට විකුණුනා නේ... ඒ වුණාට අමාරිස් අයියලාගේ අහලකින්වත් තියන්ඩ පුළුවන් අය නැති වුණා... ‘ ටොම්සන් මහත්තයා කීවේය.

‘ඇයි එහෙම කියන්නේ ටොම්සන් මහත්තයා.. ඔය පුද්ගලික ගුවන් විදුලි නාලිකාවල ඉන්නේ නිවේදක ජෝඩු හෙම... හිකි හිකි ගගා... හිනා වෙන්නේ.. එතකොට අර හිනාව පටි ගත කරපු කොටස වාදනය වෙනවා.. අපිත් එතකොට හිනා වෙන්න ඕනෑ... අන්න නවීන ජෝක්ස්..‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

අමාරිස් අයියා මඳ සිනහවක් නැඟුවේය.

‘මේකනේ මහත්තයෝ... විහිළුව කියන්නෙත් බුද්ධිමත් දෙයක්... ඒකෙන් මිනිස්සුන්ගේ හිත ප්‍රබෝධයට පත් වෙනවා විතරක් නෙවෙයි. හිතන්න දෙයකුත් ඉතිරි වෙනවා.. සමහර වෙලාවට මිනිස්සුන්ටම හිතෙනවා අපි මේ හිනා වෙන්නේ අපටම නේද කියලා.. ඒවා තමයි නියම විහිළු...‘කියා අමාරිස් අයියා කීවේය.

‘ඒ වුණාට අමාරිස් අයියා... දැන් මේ අලුතින් බෝවෙලා නේ... ඔය එක එක වැඩසටහන්වලට විහිළු ජවනිකා එකතු කරන එක... අනේ අපොයි කියලා හිතෙනවා ඒවා අහනකොට. දකිනකොට... අමුම අමු කුණුහරුප, දෙපිට කැපෙන දෙබස් කියලා සභාවල් හිනස්සවන්න හදන්නේ.. සමහර වැඩ සටහන්වල සභාවේ ඉන්න අය අන්දුන් කුන්දුන් වෙලා වගේ බලා ගෙන ඉන්නවා.. මේවාට හිනා වෙන්නද? අඬන්නද කියලා.... සමහර විහිළු වැසිකිළි විහිළු. තව ඒවා ගෑනු මිනිස්සුන්ගේ ලිංගික විහිළු. මේවායේ කොයි තරම් කාන්තාවෝ අවමානයට ලක් වෙනවාද? ‘කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘අමාරිස් අයියට කියන්ඩ.. එක විහිළු වැඩසටහනක මං දැක්කා එකෙක් බොදු බැති ගීයක් කියලා මොකක්ද එකක් කියනවා සභාවට හිනා වෙන්න... ඔන්න ආගමට ගිය කල... ඒ විතරක්යැ.. මේවා කුණුහරුප විහිළු වැඩසටහන්වල ගෑනු උදවියත් හරි හරියට සහභාගි වෙනවා නේ... සල්ලි හම්බු වෙනවා නම් මොනවද ඉතින්..‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ එක අතකට මෙහෙමනේ ‘කියා අමාරිස් අයියා කතා කළේය. ‘හොඳ දේවල් තෝරා ගන්න බැරි සමාජයක් නේ නිර්මාණය වෙලා තියෙන්නේ.. ඒක හැම පැත්තෙන්ම පේනවා... ඔය ඉස්සර බජව්වකට විතරක් කෑ ගහපු සින්දු තමයි අද ගුවන් විදුලි නාලිකාවල උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ඇහෙන්නේ... අනික ඔක්කොම සින්දු නටන්ඩනේ. අද පුංචි ළමයෙකුට හොඳ ගීතයක් තෝරා ගන්න බෑ... ඉතින් ඒ වාගේ කාලෙක කුණුහරුප ජෝක්ස් එන එක අහන්ඩ දෙයක් නෑ... ඒවාට අප්පුඩි ගහන උන්ගේ ටේස්ට් එක නේ... අනේ අපොයි කියනවා ඇර වෙන මොනවා කියන්ඩද?‘ කියා අමාරිස් අයියා කීවේය.

‘හැබැයි ඕකට කරන්ඩ හොඳ වැඩක් නම් තියෙනවා..‘ කියා උන්නැහේ කීවේය.

‘ඒ මොකක්ද උන්නැහේ..‘ කියා අමාරිස් අයියා ඇහුවේය.

‘නෑ... අමාරිස් අයියා... දැන් මේ කොමඩි වැහි වැහැලා තියෙන හැටියට. රාජ්‍ය කොමඩි සම්මාන උළෙලක් පවත්තන්න ඕනෑ... ඒ කරලා සම්මාන දෙන්ඩ ඕනෑ...කුණුහරුප ජෝක්ස් ඔස්තාද් කියලා. ඔළුවේ පලන්දන්න ඕනෑ අං තට්ටුවක්... මට නම් පුදුමේ අමාරිස් අයියා... මුන් මේ විදිහට රසිකයින්ට කුණුහරුප ජෝක්ස් දාලා සාක්කුවේ දා ගන්න සල්ලිවලින් තමන්ගේ දරු මල්ලන්ට කන්ඩ බොන්ඩ දෙන එක... ‘කියා උන්නැහේ කීවේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න