නව දේශපාලන සන්ධානයක් ළඟදීම ලියාපදිංචි කරනවා | දිනමිණ

නව දේශපාලන සන්ධානයක් ළඟදීම ලියාපදිංචි කරනවා

කමනි අල්විස්

ප්‍රජාතන්ත්‍රවාදය සුරකින දේශපාලන යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාකරන නව දේශපාලන සන්ධානයක් ළඟදීම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) අරලියගහ මන්දිරයේ පැවැති පළාත් පාලන නියෝජිතයින්ගේ රැස්වීමක් අමතමින් පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ගත් අභීත ක්‍රියාදාමය පිළිබඳ ගෞරවනීය ස්තුතිය පළ කරමින් කථානායකවරයාට සෙත් පැතීමේ පින්කම් සිදුකරන බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මැර බලය යොදා ඒකාබද්ධයේ පිරිස හැසිරුන ආකාරය සැවොම පැහැදිලිව දැකබලා ගත් බවත් කතෝලික ඇමතිවරයකු බයිබලයෙන් දමා ගැසීමේ අප්‍රසන්න සිදුවීමකුත් හැසිරීම් අතර තිබුණ බවත් ප්‍රකාශ කළේය.

කථානායකතුමාගේ වස් දොස් දුරැලීමට ඒකාබද්ධය පඹයෙක් පුච්චා දමමින් සහාය දක්වන බවත් පැවසූ පක්ෂනායක වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම බලය ඇතිකිරීමට කථානායකවරයා නීත්‍යානුකූලව ක්‍රියා කර තිබෙන බවත් පැවැසීය.

පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු බවත් මෙහිදී පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පළාත්පාලන නියෝජිතයින් සැමගේ සහායෙන් ජනබල මෙහෙයුමක් ඉදිරියේදී ඇතිකරන බවටත් ඒ සම්බන්ධව ක්‍රියාකළ යුතු ආකාරය දැක්වෙන අත්පත්‍රිකාවක් නිකුත් කිරීමට පක්ෂ සභාපති මන්ත්‍රී කබීර් හෂීම් මහතා යථා කාලයේ කටයුතු යොදන බවත් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බලෙන් ආණ්ඩු ඇති කරගත් පිරිස ඉවත් නොවුන‍හොත් ජනබලය යොදා උද්ඝෝෂණ සිදු කර ජනතා බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රටතුළ ස්ථාපිත කරන බවත් පැවසූ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බිම්මට්ටමේ සිට පරමාධිපත්‍යය තහවුරු කෙරෙන ජනබල මෙහෙයුම් සඳහා සැමට සහභාගිවන ලෙසටත් මෙහිදී සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ඇතුළු මන්ත්‍රීවරු රැසක් රැස්වීම ඇමතූහ.

නව අදහස දක්වන්න