පාර්ලිමේන්තුවේ සිරිකොත රැස්වීම් | දිනමිණ

පාර්ලිමේන්තුවේ සිරිකොත රැස්වීම්

උපාලි කරුණාරත්න

පාර්ලිමේන්තුවේ රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිරිකොත රැස්වීම් පැවැත්වෙන බව නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(28) බත්තරමුල්ල සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි. වසන්ත සේනානායක මන්ත්‍රීවරයා කෙටි කාලයක් තුළ එහෙට මෙහෙට පනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට කටයුතු කරන බවද කී ඇමැතිවරයා

දැනට පවතින රජය ඉදිරියට ගෙන යාම පිළිබඳ කිසිවෙකු සමඟ සාකච්ඡා කර නොමැති බවද කීය. කතානායවරයා අසරණ වෙලාද, ආණ්ඩු පක්ෂය අසරණ වී තිබේද යන්න පිළිබඳ ඉදිරියේදී බලාගත හැකි බව ප්‍රකාශ කළ වීරවංශ ඇමැතිවරයා කතානායක කරූ ජයසූරිය මහතා අගමැති සිහින දකිමින් සිටින බවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට අගමැති සිහින මවා තිබෙන බවද පැවසීය.මෙම සිහින නිසා කතානායවරයා කතානායක තනතුරේ තිබෙන ගුණාංග ඉවත් කරමින් රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සුමන්දිරම් මහත්වරුන්ගේ කිහිලිකරුවන් වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

‘පාර්ලිමේන්තුවේ මේ වන විට පවත්වන සිරිකොත රැස්විම් වලට සහභාගි වීමේ කිසිදු අවශ්‍යතාවයක් අපට නැහැ. මීට පෙර තිබූ ආකාරයට නිසියාකාරව පාර්ලිමේන්තුව රැස්වෙනවා නම් අප ඊට සහභාගි වීමට සූදානම්. කරු ජයසූරිය මහතාටගේ වර්තමාන ක්‍රියාතාරීත්වය හේතුවෙන් අපට ඔහු කතානායකවරයෙකු ලෙස පිළිගන්නත් බැහැ. මේ ප්‍රශ්නය සුදුසුම ආකාරයෙන් නිරාකරණය වෙයි. පාර්ලිමේන්තුවේ කතානායක අසරණ වෙලාද, ආණ්ඩු පක්ෂය අසරණ වෙලාද කියා ඉදිරියේදී බලාගන්න පුලුවන්. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවශ්‍ය බවට තවම 113ක දිවුරුම් පෙත්සම් ටිකවත් දීමට නොහැකි පුද්ගලයින් කණ්ඩායමක් ගැන කුමන කතාද. රන්ජන් රාමනායක මහතා කියූ දෙය සත්‍ය වනවා නම් ඔහු අගවිනිසුරු තනතුර වැනි තත්ත්වයට උසස් කල යුතුයි. ඔහු කියූ දෙය සත්‍ය වුනොත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පිළිබඳ කල් තියා අනාවැකි කියූ පුද්ගලයෙක් බවට පත්වෙනවා.

නව අදහස දක්වන්න