රටේ ආදා­යම් ඉහළ නැංවිය යුතුයි | දිනමිණ

රටේ ආදා­යම් ඉහළ නැංවිය යුතුයි

ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකු­වේ සභා­පති ජේ. ටී. එස්. පී. කාරි­ය­ව­සම්

ආයෝජන සහ ඉතුරුම් ආර්ථික සංවර්ධනයේ මූලික අංගයන්ය. ඉතිරි කිරීමට තබා සිය මූලික අවශ්‍යතා ද ඉටුකර ගැනීමට අසීරු ජනතාවට අපේක්ෂාවක් ඇති කිරීමද වැදගත් මෙහෙයකි. එවන් ජනතාවට දිරිය, ශක්තිය වෙමින් දියුණුවේ මඟ කියාදෙන ගමන් සගයකුගේ කාර්ය ඉටුකරන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි. එහි ගමන් මඟට නවමු දැක්මක් එක්කිරීමට කටයුතු කරන වත්මන් සභාපති ජේ. ටී. එස්. පී. කාරියවසම් මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාවකි මේ.

 

• ඔබ බැංකුවේ මුඛ්‍ය පරමාර්ථය කුමක් ද?

අප බැංකුවේ ආදර්ශ පාඨය වන්නේ “දෙපයින් නැඟිටින ශ්‍රී ලාංකිකයන්ට” යන්නයි. තම ආත්මශක්තියෙන් දියුණුවන ශ්‍රී ලංකිකයින් සවිබල ගැන්වීම, මඟපෙන්වීම අපගේ මූලික අරමුණයි.

“අප බැංකුවේ දැක්ම වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මංපෙත් විවර කිරීම සඳහා සාධාරණ ණය පහසුකම් සැපයීම මඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්මත් කිරීමට දායකවීමයි.”

මෙරට ආර්ථිකය, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, කාන්තාවන් මෙන්ම කෘෂිකාර්මික, පශු සම්පත් සහ ධීවර කර්මාන්තවල නිරත ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමේ බැංකුව ලෙස කටයුතු කිරීමය.

සංවර්ධනය පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් කලක් තිස්සේ භාවිත කළ ක්‍රමය වන්නේ ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමයි. ඊට අවශ්‍ය යටිතල පහසුකම් රජය විසින් ලබාදෙනවිට මූල්‍යමය ශක්තිය ලබාදීම සඳහා රාජ්‍ය බැංකු විසල් මෙහෙයක් ඉටුකරයි. අපගේ බැංකුවට පැවරී ඇති වගකීම වන්නේ සංවර්ධන බැංකුවක් ලෙස ප්‍රාදේශීය ජනජීවිතය සවිබල ගැන්වීමේ කාර්යයයි.

අප බැංකුව ස්ථාපිත කිරීමේ පනතේ පවා සඳහන් වන පරිදි මූලස්ථාන කාර්යාලය පවා පිහිටුවා ඇත්තේ කොළඹ නග‍රයෙන් බැහැරවයි. ප්‍රාදේශියව අඩු වරප්‍රසාද සහිත ජනයා මුහුණදෙන ගැටලු සුවිශේෂී වේ. එම ගැටලු හඳුන්වාගෙන ඊට ගැළපෙන ආකාරයෙන් විසඳුම් ලබාදීම සඳහා කැපවූ බැංකුවක් ලෙසයි අප ආයතනය ගොඩනැඟී ඇත්තේ. ඒ නිසාම අප බැංකුව මඟින් ඉදිරිපත් කර ඇති ණය අයදුම්පත් පවා සරල ආකාරයෙනුයි සකස්වී තිබෙන්නේ.

• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ලංකාපුත්‍ර බැංකුව එක්වී එක් බැංකුවක් ලෙසින් කටයුතු කරන බවට ප්‍රවෘත්ති පළවී තිබුණා?

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සතුව ශාඛා 268ක් පවතිනවා. ලංකාපුත්‍ර බැංකුව යටතේ ශාඛා 8 ක් පවතිනවා. මේ බැංකු සියල්ල එක්වී එක් පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් වී තිබෙන්නේ. පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙසේ ලංකාපුත්‍ර බැංකුව පවරා ගැනීමට එකඟතාව පළවී තිබෙනවා. එමෙන්ම පසුගිය මස සැප්තැම්බර් මාසයේදී ලංකාපුත්‍ර බැංකුවේ පැවැති මහ සභා රැස්වීමේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්වීමට එකඟතාව පළවී තිබෙනවා. මේ අනුව මෙම බැංකු එක්ව කටයුතු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ අනුව මෙරට ශක්තිමත්ම සංවර්ධන බැංකුව වන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි.

• ඔබ පවසන්නේ ඉන් ලංකාපුත්‍ර හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු පාරිභෝගිකයින්ට යහපතක් අත්වෙන බව ද?.

බැංකුවක, කළමනාකරණ හා මූල්‍යමය ශක්තිය මෙන්ම එහි කාර්යක්ෂම බව, නවීන තාක්ෂණය සමඟ කටයුතු කිරීම ආදී සියල්ලේ වාසිය හිමිවන්නේ පාරිභෝගිකයාටය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒ සියලු අංශයන්ගෙන් ඉදිරියෙන් සිටින බැංකුවක්.

• ඔබ පැවසුවා නව ව්‍යවසායිකයින් ඇති කිරීම ඔබ ආයතනයේ මූලික අරමුණක් බව?

කර්මාන්ත සඳහා ණය, මත්ස්‍ය කර්මාන්ත සඳහා වන ණය, කෘෂිකාර්මික කටයුතු සඳහා ණය, කිරි සහ පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත ණය, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වන ණය, කෘෂි උපකරණ මිලදී ගැනීම සඳහා වන ණය ආදී වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දියුණු කිරීම සඳහා අඩු ‍පොළිය මත ලබාදෙන ණය වර්ග රාශියක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී ඇප ලබාගැනීම, ඇපකරුවන් ලබාගැනීම ආදිය සඳහා ඉතාමත් ලිහිල් ක්‍රමයි භාවිත වෙන්නේ. අයදුම්කරුවාගේ ශක්තියට අනුව ව්‍යාපාරය ඇරඹීමට සහය ලබාදෙන අතර, එහි ආදායම නිසි අයුරින් කළමනාකරණය කරමින් මුදල් ඉතිරි කිරීම සඳහාත් බැංකුව පෙලඹවීමක් කරනවා. එලෙස ඉතිරි කළ මුදලේ ශක්තියෙන් දෙවනුව වැඩි ණය මුදලක් අයදුම් කිරීමේ ශක්තිය ලැබෙනවා. ඒ අනුව බැංකුව සමඟ දිගින් දිගට කටයුතු කිරීමෙන් ව්‍යාපාරය පියවරෙන් පියවර දියුණු කරගැනීමට අවශ්‍ය සහයෝගය හිමිවෙනවා.

• ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා ග්‍රාමීය ජනතාව අපහසුතාවයට පත්වී සිටිනවා. එවැනි කටයුතු වැළැක්වීමට ඔබ බැංකුවෙහි විසඳුම් නැතිද?

අප බැංකුව සතු ශාඛා 268 ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම ශාඛාවන් විසින් ‘දොරින් දොරට’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනව. එහි අරමුණ පාරිභෝගිකයා සමීපයට ගොස් විශ්වාසනීය සේවාවක් ලබාදීමයි. එමඟින් කුඩා කණ්ඩායම් සඳහා ණය ලබාදීම සිදු කෙරෙනවා. මෙහිදී ණය ලබාදෙන්නේ කණ්ඩායම් ආකාරයෙන් සිදු කරන නිෂ්පාදනයන් හා සේවාවන් පදනම් කරගෙනයි. ඒ නිසා එමඟින් ව්‍යාජ ලෙස ණය දීම හෝ ගැනීම කළ නොහැකියි. මෙම ණය ක්‍රමය නිසාම දියුණුවට පත් ග්‍රාමීය ප්‍රදේශ බොහෝමයක් පවතිනවා. එම සේවාවන් තවදුරටත් විධිමත්ව සිදුකිරීමයි අපගේ අරමුණ.

• RDB walk 2018 යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?

අප බැංකුවේ සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ 33 වන සංවත්සරය නිමිත්තෙන් ජාත්‍යන්තර සකසුරුවම් දිනය කේන්ද්‍ර කරගනිමින් ප්‍රජා සත්කාර රැසක් සංවිධානය කෙරුණා. එය හැඳින්වූයේ RDB walk – 2018 නමින්. මෙම වැඩසටහන බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, නැඟෙනහිර, උතුර, උතුරුමැද පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික් 20ක් පුරා පැවැත්වුණා.”

මෙම වැඩසටහනේදී නගර, පාසල්, පූජනීය ස්ථාන, වෙරළ, බස්නැවතුම්පොළ, දුම්රියපොළ ආදිය පිරිසිදු කරමින් අපගේ සන්නාමය පොදුජනතාව අතරට වඩාත් සමීප කරවීමයි අරමුණ වූයේ.

• ඔබ බැංකුවේ ඉදිරි අපේක්ෂා මොනවාද?

මෙරට ආර්ථිකය මුහුණදෙන විසල් ගැටලුව ආදායම් හිඟවීමයි. රටේ ආදායම් ඉහළ දැමීම සඳහා අප බැංකුවට කළ හැකි මෙහෙය සුවිශේෂියි. විශේෂයෙන්ම විදෙස් විනිමය ඉහළ දැමීමේ අරමුණින් ගෘහ කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස්කළ හැකිය. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල සහාය ලබාගෙන අපගේ ප්‍රාදේශීය ශාඛා හරහා දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් පවත්වමින් අවශ්‍ය මඟපෙන්වීම කළ හැකියි. ඕකිඩ් වගාව, ඇන්තූරියම් වගාව, කොහු ආශ්‍රිත කර්මාන්ත, මත්ස්‍ය කර්මාන්තය එලෙස පහසුවෙන් දියුණු කළ හැකි කර්මාන්ත ලෙස දැනටමත් හඳුනාගෙන තිබෙනවා.

බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ


අදහස් 1ක් ඇත

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කොළොන්නාව ශාඛාව පවත්වාගෙන යාමට වසර දෙකකට අධික කාලයක් පුරා සුදුසු ස්ථානයක් නොමැති කමින් කොළොන්නාව ශාඛාවට හිතවත් ගනුදෙනුකරුවෙකුගේ පැරණි නිවස කඩා දමා බැංකුව විසින් දෙන ණය මුදලක් මාර්ගයෙන් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර එහි පළමු මහල ගනුදෙනුකරුගේ නිවස සඳහා ද දෙවැනි මහල බැංකු ශාඛාව සඳහා ද ලබා දෙන ලෙස පවසමින් කොළොන්නාව ශාඛාව විසින්ම ගනුදෙනුකරුට යෝජනාවක් කරනවා. ඒ වෙනුවෙන් බැංකුව ගනුදෙනුකරුට ගොඩනැගිලි කුලියක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලබා දෙන ණය මුදල ගොඩනැගිලි කුලියට කපා හැරීමයි කරන්නේ. ගනුදෙනුකරු ඔහුට ලැබෙන ප්‍රතිලාභ සලකා බලා ඊට එකඟ වී නව ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා කොළොන්නාව ශාඛාවේ කළමනාකාරවරිය විසින්ම ලබාදෙන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු මාර්ගයෙන් තම නිවස කඩා දැමූ පසු ඔවුන් මෙම ස්ථානය ඔවුන්ට නුසුදුසු බව පවසමින් නව ගොඩනැගිල්ල ඉදිකිරිම නතර කර දමනවා. ඉන් පස්සේ කියන්නේ කඩා දැමූ නිවස වෙනුවට නව නිවසක් ඉදිකරගැනීම වෙනුවෙන් නැවත ගනුදෙනුකරු විසින් සිය මුදලින් ගෙවිය යුතු වන සාමාන්‍ය බැංකු ණයක් ලබා දිය හැකි බවයි. නමුත් ඇත්තටම ඔවුන් මේ ගොඩනැගිල්ල ඉදි කිරීම අතරමඟ නතර කර දමන්නේ මෙම ස්ථානය නුසුදු නිසා නෙමෙයි, හිටපු සභාපතිවරිය වන කේෂලා ජයවර්ධන, හිටපු ප්‍රාදේශීය සාමාන්‍යධිකාරී (බස්නාහිර පළාත) A. H. M. B. ජයසිංහ සහ කොළොන්නාව ශාඛාවේ සේවකයෙකු වන සරත් ආනන්ද (මෙම කළු ගනුදෙනුව සැලසුම් කළ මහ මොළකරු) විසින් ලක්ෂ 25 ක් වැනි ඉහල අල්ලස් මුදලක් ලබාගෙන වෙනත් මරක්කල ව්‍යාපාරිකයෙකුගේ ගොඩනැගිල්ලක් ඉහල කුලියක්ද ගෙවමින් ලබා ගැනීමට සැලසුම් කිරීම නිසා. අන්තිමට ඒ ගනුදෙනුව සැලසුම් කළ විදිහටම වෙනවා. සභාපතිවරිය සියලුම වැරදි බැංකු කළමනාකාරවරිය වෙත පවරලා අත පිහිදා ගන්නවා. තමන්ගේම කියල හිසට වහලක් තිබුණ අර මනුස්සයට නඩුවක් කියවන්නවත් සතයක් අතේ නැති කරලා අන්තිමට හිසට වහලක් නැති කරලා, පවුලක් පිටින් මුන් මහ මඟට ඇදල දැම්මා. නිවස අහිමි වීමේත්, යළි නිවසක් ඉදිකරගත නොහැකි වීමේත් සිත් වේදනාව නිසාම ඔහු දෙවරක් සියදිවි හානි කරගන්නට උත්සාහ කරනවා. අල්ලස් ගත්ත උන් තාමත් නිදැල්ලේ. පොලීසිය, ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතන වලට කරපු පැමිණිලි වල සහ තවත් පාර්ශව වල මැදිහත්වීමේ ප්‍රතිඵලයක් විදිහට කරපු බැංකුව වරද පිළි අරගෙන ගනුදෙනුකරුට නිවසක් ඉදි කරගැනීම වෙනුවෙන් වන්දියක් ලබා දීමට සිදු වෙනවා. ගනුදෙනුකරු නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් පමණක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියත් එයින් වසර 4 ක් පුරා මෙතෙක් ලබා දී ඇත්තේ ලක්ෂ 7 ක මුදලක් පමණයි. එයද බැංකුවේ මුදලින් නෙමෙයි, හිටපු කළමනාකාරවරියට ලබාදෙන ඇයගේ වැටුපෙන් අයකර ගන්නා ණය මුදලක් මාර්ගයෙන්. ඉතිරි වන්දි මුදල ලබා දීම බැංකුව විසින් හිතාමතාම ඕනෑකමින්ම වසර 4 පුරා පැහැර හරිනවා. බැංකුව මාධ්‍ය ආයතන වලට මුදල් ලබා දී මේ ගැන එළි කිරීම වළක්වමින් ඔවුන්ගේ කට වහනවා. ශ්‍රී ලාංකිකයන් දෙපයින් නගා සිටුවන බව පවසමින් ඔවුන්ගේ ලේ උරා බොන මේ RDB හොර ගුබ්බෑයමේ මුදල් තැන්පත් කර තවත් ශ්‍රී ලාංකිකයන් මහ මඟට වට්ටනවාද???

පිටු

නව අදහස දක්වන්න