රනිල්, අනුර, සුමන්තිරන් හවුල මහ ජනතාව ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පොළඹවනවා | දිනමිණ

රනිල්, අනුර, සුමන්තිරන් හවුල මහ ජනතාව ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පොළඹවනවා

සමන්මලී ප්‍රියශාන්ති

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව කියමින් රනිල්, අනුර, සුමන්තිරන් හවුල රටේ මහජනතාව ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පොළඹවීමේ උත්සාහයක නියැළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

විවිධ ප්‍රකාශ කරමින් ජනතාව කැළඹිලිකාරී තත්ත්වයකට ගෙන යෑමට මේ අය උත්සහ කළ ද වගකිව යුතු ආණ්ඩුවක් විපක්ෂයට වුවමනා ආකාරයෙන් පාර්ලිමේන්තුවේ හැසිරීමට හෝ රටේ කැළඹිලි ඇති කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.කතානායකවරයා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙන ලෙස ඊයේ කිහිපදෙනකුට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගී වු සියලු දෙනාගේ අත්සන් සහිතව විරෝධතාවය ප්‍රකාශ කළ ලියවිල්ලක් බාර දීලා අපි ඒ රැස්වීමෙන් නැඟිටලා ගියා. පාර්ලිමේන්තු මහ ලේකම් නොවැම්බර් 27 වැනිදා යොමු කළ ලිපියක පිටපතක් තමයි ඊයේ පක්ෂ නායක රැස්වීමට කැඳවීමක් ලෙස එවලා තිබෙන්නේ. මේ ව්‍යාපාර කමිටුවේ කැඳවීමක්. මේ කැඳවීම කරලා තිබෙන්නේ හත් වැනි පාර්ලිමේන්තුවේ දී පත් වු මන්ත්‍රීවරුන්ට. පාර්ලිමේන්තුව වාරාවසාන වීමත් එක්ක ඒ ව්‍යාපාර කමිටුව අහෝසි වෙනවා. අලුතින් ව්‍යාපාර කමිටුවක් පත් නොකර පරණ එකේ විදිහට කැඳවීම් කරලා කතානායකවරයා මේ කරන ක්‍රියාව ස්ථාවර නියෝගවලට පටහැනියි. අපි මේ බව එතැනදී ප්‍රකාශ කළා.

අගමැතිවරයාගේ හෝ අැමැති මණ්ඩලයේ මුදල් කපා හැරීමක් සිදු කරනවා නම් එය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයේ හා විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ අනුමැතියකින් යෝජනාවක් ලෙස එය ගෙන ඒම ස්ථාවර නියෝගවලට පටහැනියි.

ඊයේ පාර්ලිමේන්තුව තුළ කුමන යෝජනාවක් ගෙනත් සම්මත කර ගත්තත් එය මේ රටේ ව්‍යස්ථාවට අනුකූල දෙයක් නොවන බැවින් අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමේ මේ යෝජනාව ද රනිල්, අනුර, සුමන්දිරන් කණ්ඩායමේ තවත් දේශපාලන සාකච්ඡාවක් පමණක් බවට පරිවර්තනය වෙනවා. අද දවසේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා තීන්දුවක් ගෙන තිබෙනවා. අපි අද දවසේත් ඊට සහභාගී වෙන්නේ නැහැ. ස්ථාවර නියෝගවලට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව රැස් කරනවා කියන ස්ථාවරයට කතානායකවරයා පැමිණෙන තෙක් අපි මේ සඳහා සහභාගී වන්නේ නැහැ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා විපක්ෂයේ රනිල්,අනුර, සුමන්තිරන් විසින් අද ඉතා ප්‍රචණ්ඩ ප්‍රකාශ කරමින් රටේ මහ ජනතාව ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩු පක්ෂය තුළ අප ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව කියමින් තමයි මෙය සිදු කරන්නේ. කළුතරදී පැවැති රැස්වීමකදී සජීත් ප්‍රේමදාස කියනවා අපේ ආණ්ඩුවක් ගත් වහාම නීති රීති, අණපනත්, චක්‍රලේඛ ඉරා දමා පාක්ෂිකයා ආරක්ෂා කරන ආණ්ඩුවක් හදනවා කියලා. ඒ ප්‍රකාශයට නොදෙවැනි ප්‍රකාශයක් රාජිත සේනාරත්න සිදු කරලා තිබෙනවා. අකිල විරාජ් මහත්තයාත් මේ රට ලේ හලන තැනකට ගෙන යනවා කියලා ප්‍රචණ්ඩත්වය වපුරමින් ඉන්නවා. මේ අතරේ ආණ්ඩුව ප්‍රජාත්නත්‍ර විරෝධීව, අශිෂ්ට ආකාරයෙන් පාලනය ගෙන යනවා කියලා අපිට චෝදනා කරනවා. මේ විපක්ෂයේ රට තුළ ඇති කරන්න උත්සහා ගන්නා කැළඹිලිකාරී තත්ත්වයට අනුගත වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වගකිව යුතු ආණ්ඩුවක් ලෙස අපි විපක්ෂයට වුවමනා ආකාරයෙන් පාර්ලිමේන්තුවේ හැසිරීමට දෙන්නේවත්, රටේ කැළඹිලි ඇති කිරීමට ඉඩ දෙන්නේවත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා-

අගමැතිවරයාගේ වියදම් සපයලා තිබෙන්නේ 2018 විසර්ජන ප්‍රඥප්තියෙන්. එදා ඒ විසර්ජන ප්‍රඥප්තිය, අයවැය ලේඛනය සම්මත වීමත් සමඟම එය පනතක් බවට පත් වෙනවා. පනතක් බවට පත් වෙනවා කියන්නේ එය රටේ නීතිය බවට පත් වෙනවා. එසේ නම් රටක නීතියක් වෙනස් කරන්න පනතක් වෙනස් කරන්න අදාළ ප්‍රතිපාදන මොනවා දැයි කතානයකවරයා දන්නේ නැහැ. මුදල් පනතක් සංශෝධනය කිරීමට, වියදම් කපා හැරීමට පනතක් ගේන්න ඕනේ. කැබිනට් මණ්ඩලය අනුමත කළ පනතක් ගෙනැවිත් එය සිදු කළ යුතු වෙනවා. එසේ නැතිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගෙන ප්‍රතිපාදන කපා හරිනවා කියනවා නම් එය විහිලුවක් බවට පත් වෙනවා. ව්‍යවස්ථාවට සියලු සම්ප්‍රදායන්ට, ස්ථාවර නියෝග වලට පටහැනි ආකාරයට තමයි කතානායකවරයාත් වර්තමාන කණ්ඩායමත් අද ක්‍රියා කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් වන නීතිමය කාරණා ගැන කතානායකවරයාගෙන් අපි විමසා සිටියා. මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අරගෙන නැහැ. කතානායකවරයා නීතිපති වරයාගේ උපදෙස් මත නොවෙයි කටයුතු කරන්නේ. කතානායකවරයා කටයුතු කරන්නේ තමන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන්ගේ උපදෙස් අරගෙන බව අද අපට පැහැදිලි වෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත තමයි එවැනි පනතක් ගෙන එන්න ඉඩ කඩ තිබෙනවාද කියලා විමසලා කටයුතු කළ යුතු වන්නේ . එසේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරුන්ගෙන් විමසලා රටේ මුදල් ක්‍රමය මුල්‍ය ක්‍රමය හැසිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ නිසා රට අවුල් ජාලාවක් බවට පත් වෙමින් තිබෙනවා.

2015 ජනවාරී 8 වැනිදා අපේ රටට විරුද්ධ හතුර බලවේග එකට එකතු වෙලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉදිරියට දාගෙන ස්ථාවරව ගොඩ නැඟිණු රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව රට තුළ ආර්ථික ස්ථාවරභාවය, ජාතික ආරක්ෂාව, රණ විරුවන් දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ජනවාරී 8 කුමන්ත්‍රණය පිටුපස්සේ හිටියේ දෙමළ ඩයස්පෝරාව, අන්තවාදී කණ්ඩායම් හිටියේ. බටහිර රටවල් එක්ක එකතු වෙලා මේ ආකාරයෙන් කටයුතු කරන අතර අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා.

අනාගත නායකයා කියන කතා අද අපිට අසන්නට ලැබෙනවා. මේ බටහිර බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදයයි. සජිත් අද කතාකරන්නේ තාත්තාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. 88, 89 කාලේ ඔහුගේ තාත්තා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කරපු දේවල් අපට මතකයි. මේ රටේ තරුණ ජීවිත විනාශ කරමින්, ටයර් සෑයවල් උඩ පුළුස්සමින්, ජනතා විමුක්ති පෙරමුණේ සටන් කාමීන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදයක් එදා තිබුණා. නැවත ගෙන්න හදන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයද, එදා කිසිම වරදක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ සිසුන් පෝස්ටරයක් ගැහැවා කියලා ටයර් සෑයවල්වල දැවුණා. අද ජනතා විමුක්ති පෙරමුණ ඒ මළකදන්වලට සිනා වෙමින් එජාපයට සහය දෙනවා. ඒ නිසා අද ජනවාරී 8 මහින්ද පරාජය කරන්න කටයුතු කළ කුමන්ත්‍රණකරුවෝ අදත් මේ කුමන්ත්‍රණය පසු පස ඉන්නවා.

මේ රටේ බුද්ධිමතුන්, වෘත්තීයවේදීන් මෙන්ම ජනතාව ද ඉදිරියේදී ඉදිරියට ඇවිත් කතානායකවරයා ඇතුළු පිරිස මේ රටට කරන කුමන්ත්‍රණයට එරෙහිව කටයුතු කරනු ඇති බවට අපට විශ්වාසයක් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා මහතා-

කතානායකවරයා පැහැදිලිව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඊයේත් පාර්ලිමේන්තුව කැඳවලා තිබුණා. මුදල් සම්බන්ධ පනතක් ගේනවා නම් එය ගෙන්න අවශ්‍ය වන්නේ කැබිනට් ඇමැතිවරයෙක්. යෝජනාවකින් මුදල් කප්පාදුවක් කරන්න බැහැ. ඊට පනතක් ගෙන ආ යුතු වෙනවා. නමුත් ඊයේ පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් ගෙනත් තිබෙන්නේ. මේ නිසා තවමත් කතානායකවරයා, පාර්ලිමේන්තුව උල්ලංඝණය කරමින්, ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින්, සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් කටයුතු කරනවා. පාර්ලිමේන්තුව අද එක්සත් ජාතික පක්ෂයෙත්, දෙමළ සන්ධානයෙත්, ජනතා විමුක්ති පෙරමුණෙත් වේදිකාවක් බවට පත් කරලා තිබෙනවා.

මේ රටේ නීති රීති පිළි ගන්නේ නැහැ. ඒවා ඉරලා ඉරලා දාලා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් කරනවා කියලා මේ රටේ වගකිව යුතු නායකයෙක් වන සජිත් ප්‍රේමදාස කියනවා නම් මොහු කොහොමද නායක කමට සුදුසු වන්නේ.ආණ්ඩු බලය ලැබුණු පසු නීති රීති ඉවත් කරනවා කියන එකද නායකයෙක් ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

නව අදහස දක්වන්න