ඊළඟ අදියර ජනවාරි බලමු | දිනමිණ


 

ඊළඟ අදියර ජනවාරි බලමු

දුමින්ද සම්පත්
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ

පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපාන ආකාරය, පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සහ ආණ්ඩු පක්ෂය ඊට මුහුණ දෙන ආක‍ාරය ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිහමුවට එක්වේ.

* ශ්‍රීලනිප නැතිව ආණ්ඩු හදන්න බැහැ
* මුදල් නවත්තන්න විජිත හේරත්ට බැහැ
* ජනපතිගත් පියවර නිසා ශ්‍රීලනිපය ශක්තිමත් වුණා
* විශ්වාසභංගයට මුහුණ දෙන්න සූදානම්
* ජනපතිතුමා දූෂණ වැහුවෙ නැහැ
* පසුගිය හැන්සාඩ් පිළිගන්නේ නැහැ

 ආණ්ඩුවට බහුතරය නැහැ කියල චෝදනාවක් තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

කාටද බහුතරය තියෙන්නේ? නීත්‍යානුකූල විශ්වාසභංග යෝජනාවක් තවමත් පාර්ලිමේන්තුවට ගෙනත් නැහැ. විශ්වාසභංගයක් ගේන ක්‍රමවේදයක් තියෙනවා. විපක්ෂය අත්සන් කරපු අය අතර ජනතා විමුක්ති පෙරමු‍ණත් දෙමළ ජාතික සන්ධානයත් ඉන්නවා. ඔවුන් කිසිම පුද්ගලයෙකුට විශ්වාසය පළකිරීමක් කරල නැහැ.

 ආණ්ඩුවට බහුතරය තියෙනවනම්, ඒ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වන්නැත්තෙ ඇයි?

ආණ්ඩුවක් බහුතරය පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක විපක්ෂයේ කාර්යයක්. ආණ්ඩුවට බහුතරය නැහැ කියල විපක්ෂය ඔප්පු කරන්න ඕන. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් දීල තියෙන බලතල අනුව තමයි ආණ්ඩුවක් හදන්නෙ. සද්දෙන්, පෙනුමෙන් ආණ්ඩුවට බහුතරය නැහැ කියල කියන්න බැහැ.

 පාර්ලිමේන්තු වාර දෙකකදීම ආණ්ඩුවට බහුතරය පෙන්වන්න බැරිවුණා. ඒ බව හැන්සාඩ් ගතවෙලා තියෙනවා.

ජනාධිපතිවරයා තමන්ගෙ බලතල අනුව අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් පත්කළා. ඒ තීරණයට එරෙහිව යනවනම්, පාර්ලිමේන්තුවෙ නියමාකාර විශ්වාසභංගයකින් ඒක පරාජය කළ යුතුයි. එහෙම නැත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජනාධිපතිවරයා ගත්තු තීන්දුව ව්‍යවස්ථා වි‍රෝධියි. මූලික අයිතිවාසිකම් කඩවෙලා කියල තීන්දුවක් ගන්න ඕන. එහෙම එකක් වෙලා නැහැ.

 හැන්සාඩ් ගතවීම හරහා යම් නීතිමය පදනමක් හැදෙනව නේද?

පාර්ලිමේන්තුවෙ කතාකරපු දේවල් ඇතුළත් වාර්තාව තමයි හැන්සාඩ් එක . ඒක නීතිමය ලියවිල්ලක් නෙවෙයි. හැන්සාඩ් එකේ වාර්තාව අපි පිළිගත්නෙ නැහැ කියල සභානායකතුමා මේවෙන කොටත් කථානායකතුමාට ලිඛිතව දන්වල තියෙනවා.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 කගෙ අත්සනින් ආණ්ඩුවට එරෙහිව කථානායකවරයාට ලිපියක් බාරදීල තියෙනවා?

ඒ අත්සන් කරල තියෙන්නෙ පාර්ලිමේන්තුව කැඳවන්න කියල. ආණ්ඩුවට විශ්වාසයක් නැහැ කියල ඒකෙ කියල නැහැ. ඒ අත්සන් ලේඛනවල දිනත් වැරදියි. ස්ථාවර නියෝග යටතේ දැනුම්දීල ඊට අදාළ දිනවකවානු අනුව විශ්වාසභංගයක් ගේන්න. ආණ්ඩුව ඒකට මුහුණදෙන්න සූදානම්.

 අගමැතිට හා කැබිනට් මණ්ඩලයට මුදල් වෙන්කිරීම අත්හිටුවන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනව කියල විජිත හේරත් මහතා කියනවා.

2018 විසර්ජන පනතක් පාර්ලිමේන්තුවෙන් අනුමත වෙලා තියෙන්නෙ. දැන් ඒ මුදල ඒකාබද්ධ අරමුදලට ගිහින් තියෙන්නෙ. ඒකට පාර්ලිමේන්තුවෙ අවසර අවශ්‍ය නැහැ. ලබන අවුරැද්දෙ ජනවාරි ඉඳල තමයි අතුරුසම්මත ගිණුමක් හරි අයවැයක් හරි ඕන. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවයි ඊළඟ ක්‍රියාමාර්ග ගන්නෙ.

 ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් එකතුකිරීමේ යෙදුණ පිරිස් කිව්වෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට මේ එකමුතුව වැදගත් කියලයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තා නේද?

එහෙම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ‍තැනක තියෙනවා. ආණ්ඩුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රීවරු 25ක් ඉන්නවා. මේ අය නැතුව කාටවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. පොහොට්ටුවෙ සාමාජිකයන්ට 103ක් ලැබුණෙ අපේ 25ත් එක්ක. මේ දෙගොල්ලම එකම කට්ටිය. එකතුවෙලා යනකොට මේ පක්ෂ දෙකටම සමමට්ටමේ එකතුවක් අවශ්‍යයි. මෙතන කවුරුවත් උසස් නැහැ.

 ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙ ආසන සංවිධායකවරු පක්ෂය අතහැරල වෙනත් පක්ෂවල සාමාජිකත්වය ගන්නවා. මෙහෙම ගියොත් පක්ෂයට මොකද වෙන්නෙ?

පක්ෂයෙ බලමණ්ඩල පිහිටුවීම 95%ක්ම ඉවරයි. ශාඛා, තරුණ, කාන්තා සමිති ආසන මට්ටමින් ප්‍රතිසංවිධානය කරගනිමින් ඉන්නවා. අපේ ඡන්ද ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමා ගත්තු පියවර එක්ක පක්ෂය තවදුරටත් ශක්තිමත් වෙමින් තියෙනවා.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියෙන්නෙ පක්ෂය බිඳවැටෙමින් තියෙනවා කියලයි.

පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන අය ඉන්නවනෙ. ඕව මෙහෙයවන්නෙ සමහර ලොකු අය. අපිට ඒව එච්චර අභියෝග නෙවෙයි.

 ජනාධිපතිවරයා ගත් පියවර ව්‍යවස්ථා අර්බුදයකට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුවක් බව බොහෝ දෙනෙක් කියනවා.?

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා කටයුතු කළේ නීතියට අනුවයි. හිටපු අගමැති එක්ක ජනාධිපතිතුමාට වැඩකරන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. වාර කීපයකදීම ඒ බව ජනාධිපතිතුමා පැහැදිලි කරල තියෙනවා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා හැටියට වාඩිවෙනකොට, අගමැතිවරයා එක්ක වැඩකරන්න බැරිනම් මොකද කරන්නෙ. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත්‍රණ චෝදනා තියෙන ඇමතිවරයෙක් එක්කත් එකට කැබිනට් මන්ඩලයෙ වාඩිවෙන්න පුළුවන්ද? මේ සියල්ල ගැන හිතල තමයි ජනාධිපතිතුමා අලුත් අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් පත්කළේ.

 යහපාලන ආණ්ඩුවෙ වංචා දූෂණ හොයන්න ජනාධිපතිවරයා විශේෂ කොමිසමක් පත්කරන බව කිව්වා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒක හොඳ පියවරක් මහ බැංකු ගනුදෙනුව, හිල්ටන් හයට්, ඊ.ඒ.පී. සිද්ධිය, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය, වගේ දේවල් ගැන ජනාධිපතිතුමා ඉඟි කළා. යහපාලන ආණ්ඩුවෙ ගනුදෙනු ගැන සමාජයෙ යම් කුතුහලයක් තියෙනවා. හිල්ටන් ගනුදෙනුව ජාත්‍යන්තර ගනුදෙනුවක්. රටට විශාල මුදල් සම්භාරයක් ලැබෙන ගනුදෙනුවක්. ඒකට සති දෙකක ටෙන්ඩර් දැන්වීමක් දැමීමම ප්‍රශ්නයක්. මුලින්ම ගනුදෙනුකරුවන් තෝරාගෙන දැන්වීම දැම්ම කියලත් සැකයක් ඇතිවෙනවා. හිටපු අගමැතිවරයා කැබිනට් මණ්ඩලයෙ ඉන්නකොටම ඒ ගනුදෙනුව වැරදියි කියල ජනාධිපතිතුමා කිව්ව.

 ලංකා ඉතිහාසයේ කිසිම දවසක හොරකම් කළායැයි කියන, දේශපාලනඥයෙකුට දඬුවම් දීල නැති බවයි. ජනතාවගෙ අදහස?

බොහෝදුරට ඒ අදහස හරි. ජනතාව කියන විදියටම, එහෙම නිදසුනක් සෙවීම අපහසුයි. සරත් ෆොන්සේකා මහත්තයට ජම්පර් අන්දපු එකයි, එස්.බී.දිසානායක මහත්තයට දඬුවම් කරපු එකයි තමයි මෑතකාලීන ඉතිහාසයේ තියෙන්නෙ. අනිත් පරීක්ෂණ ඔක්කෝම අවුරුදු ගණනාවක් තිස්සෙ ඇදගෙන යනවා.

 මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා මොනවද?

මේ තත්ත්වය නැතිකරන්න තමයි ජනාධිපතිතුමා උත්සාහ කළේ. මහ බැංකු ගනුදෙනුව වෙලාවෙ ජනාධිපතිතුමා පත්කරපු කොමිසමට සාක්කි දෙන්න අගමැති, මැති ඇමැතිවරු පවා ගියා. එහෙම දේවල් කලින් ආණ්ඩුවල වුණේ නැහැ. ජනාධිපති කොමිසම නිසාම එක ඇමතිවරයකුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ කාලෙ කිසිම එකක් වහන්න කටයුතු කෙළේ නැහැ. ඔක්කොම හොයන්න තමයි උත්සාහ කළේ. එතුමා ඉදිරියටත් ඒ තීරණයෙම ඉන්නවා.

 බැඳුම්කර කොමිසමේ සමහර කරුණු හැංගුව කියල ජනාධිපතිවරයටම චෝදනාවක් තියෙනවා?

ඒ වාර්තාවේ ඔක්කොම දෙන්න බැහැ කියල නීතිපතිතුමා කිව්වා. උසාවියෙ පරීක්ෂණයක් තියෙන කොට ඒ පරීක්ෂණයට හානිවෙන කොටස් දෙන්න බැහැ කියල කථානායකතුමාට ලිඛිතව දීල තියෙනවා. ඒක ජනාධිපතිතුමාගෙ එකවුන්ට් එකට දාන්න බැහැ. මේ පරීක්ෂණවලට ජනාධිපතිතුමා කිසිම ඇඟිලි ගැසීමක් කළේ නැහැ. ජනාධිපති කොමිසම පත්කරල ඒ අයට නිදහස දුන්න ස්වාධීනව ඒ කටයුතු කරන්න.

 කොමිෂන් විතරයි ඉන් එහා දෙයක් වෙන්නෙ නැහැ නේද?

එතනින් එහාට යන්න තමයි ජනාධිපතිතුමා පනතක් ගේන්න උත්සාහ කළේ ඒකත් නතර කළා. ජනාධිපති කොමිෂන් සභාවල සාක්කි පදනම් කරගෙන, අල්ලස් දූෂණ කොමිසමට විමර්ශන කටයුතු කරන්න පුළුවන් විදියෙ නීති හදන්නයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පනත ගේන්න හැදුවෙ. ඒව නැවතුනා. ළඟදීම ආයෙත් පාර්ලිමේන්තුවට ඒ පනත ගේන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා.

 බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිෂමෙන් කරුණු රැසක් හෙළිදරවු වෙලා තියෙනවා. ඒ පරීක්ෂණවල තහවුරු වෙච්ච කාරණය අනුව ඉදිරි කටයුතු කොහොමද වෙන්නෙ?

මේ පරීක්ෂණ වාර්තාව සකස්වෙලා තියෙන්නෙ එක භාෂාවකින් විතරයි. දැන් ඒ වාර්තාව පරිවර්තනය වෙලා ඉවරයි. පාර්ලිමේන්තුවෙ විවාද කරන කොට වාර්තාව භාෂා තුනෙන්ම තියෙන්න ඕන. පක්ෂ නායක රැස්වීමේදී පරිවර්තනය වෙලා ඉවර බව කිව්වා. ඉදිරියේදී ඒ අනුව කටයුතු කරනවා.

ඡායා මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න