දළදා කරුණාව ලබන පන්සල් | දිනමිණ

දළදා කරුණාව ලබන පන්සල්

‍අසේල කුරුළුවංශ

වසර 2015 වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන 31 ක් ප්‍රතිසංස්කරණය කරමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර මුල් අදියරේ ඊට වැයකර මුදල රුපියල් ලක්ෂ 350 කි.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 144 ක් පවතින අතර දළදා මාලිගාව මගින් සංවර්ධන කිරීම සඳහා ඒ අතරින් විහාරස්ථාන 122 ක් තෝරා ගෙන ඇත.ඒ වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1200 කි.මුල් අදියර යටතේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙර විහාරස්ථාන 21 ක්ද සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙර විහාරස්ථාන 12 ක් ද සංවර්ධනය කෙරිණි

මහින්දා ගමනයෙන් ලක්දිව බුදු සසුණ ස්ථාපිත වීමෙන් අනතුරුව වෙහෙර විහාර දස දහස් ගණනක් රජවරු කරවූහ.විදෙස් ආක්‍රමණත් සමඟ මෙම වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශවූ අතර අදටත් ඉතිරිව තිබෙන දුෂ්කර පළාත්වල ඇතැම් විහාරස්ථාන පවතින්නේ ගරා වැටෙන තත්ත්වයකය. ත්‍රස්ත බිය රටපුරා තිබුණු සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය නිසා මිනිස් ජීවිත මෙන්ම ගොඩනැගිලිද විශාල ප්‍රමාණයක් විනාශ විය.ඒ අතර බෞද්ධ වෙහෙර විහාරස්ථානද තිබුණි.උතුරු ප්‍රදේශයෙන් වවුනියාවේද නැගෙනහිර ප්‍රදේශයෙන් ත්‍රිකුණාමලයේද වෙහෙර විහාර රැසක් මෙලෙස විනාශවූ අතර ඇතැම් විහාරස්ථාන වල් වඳින තත්ත්වයට පත්වූයේ ඒවාහි මහ සංඝරත්නය වැඩවාසය නොකිරීම හේතුවෙනි. දායකකාරකාදීන් මුහුණ දුන් අනේක විද ගැටලු හේතුවෙන් ඔවුන්ට තම විහාරස්ථානය තනිව ගොඩ නැගීම සිතන්නටවත් නොහැකි වීම නිසා එම විහාරස්ථාන බොහොමයක් පැවැතියේ අවශ්‍යය මූලික අංග වන චෛත්‍යය,බෝධිය හා පිළිම වහන්සේ පවා නොමැති තත්ත්වයකය.ආවාස ගෙයක් පවා නොමැතිව එම විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේ වැඩ වාසය කළේ ඉතා අඩු පහසුකම් මධ්‍යයේය.

දේශපාලනඥයින් නිතර යන එන මල්වතු අස්ගිරි උභය මහ විහාර මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ශ්‍රී දළදා මාලිගාව මුල්වී මෙම වෙහෙර විහාරස්ථාන නඟා සිටුවීමට වැඩපිළිවෙළක් දියත් නොකරන්නේ මන්ද යනු‍වෙන් කාලයක් තිස්සේ මෙරට බෞද්ධ ජනතාව තුළ ප්‍රශ්නයක් පැවතිණි. එයට පිළිතුර සපයමින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ ආශිර්වාදය මත ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙය වීමෙන් දළදා මාලිගාවේ අරමුදල් යොදවා අදාළ වෙහෙර විහාරස්ථාන නඟා සිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ මෙම පසුබිම තුළය.එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අපට දැක ගැනීමට හැකිවිය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයක් අතරතුරය.

වසර 2015 වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන 31 ක් ප්‍රතිසංස්කරණය කරමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර මුල් අදියරේ ඊට වැයකර මුදල රුපියල් ලක්ෂ 350 කි.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 144 ක් පවතින අතර දළදා මාලිගාව මගින් සංවර්ධන කිරීම සඳහා ඒ අතරින් විහාරස්ථාන 122 ක් තෝරා ගෙන ඇත.ඒ වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1200 කි.මුල් අදියර යටතේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙර විහාරස්ථාන 21 ක්ද සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙර විහාරස්ථාන 12 ක් ද සංවර්ධනය කෙරිණි.එහි දෙවන අදියර ක්‍රියාත්මක වූයේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිවරු ප්‍රමුඛ විංසත් වර්වාගික කාරක සංඝ සභික හිමිවරුන්ගේ සහභාගිත්වයෙනි.කන්තලේ මොරවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙහෙර විහාරස්ථාන 17 ක් හා කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙර විහාරස්ථාන 31 ක් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙහිදී ලබාදුන් මුදල රුපියල් ලක්ෂ 500 කි.

දළදා මාලිගාව මගින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා 2005 වසරේදී එම ධූරයට පත්වූ පසුවය.වසර 2006 පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන සංවර්ධන කරමින් ආරම්භ කළ මේ වැඩසටහන පිළිබඳ ශ්‍රීදළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා‍ගේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල මහතා මෙසේ ප්‍රකාශ කළේය....

“අපි සියඹලාන්ඩුව,දිඹුලාගල,කැබිතිගොල්ලෑව,මහඔය,පදියතලාව යන ප්‍රදේශවල වැඩසටහන ක්‍රියාත්මක කළා.මහ සංඝරත්නයෙන් ලැබෙන ඉල්ලීම් සලකා බලා කෙරුණු මේ වැඩසටහන වඩා විධිමත්ව ක්‍රියාවට නැන්වූ‍වේ වසර 2015 සිට.උතුරු නැගෙනහිර පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශවල විහාරස්ථාන රැසක් විවිධ අඩුපාඩු ඇතිව පවතින බව අපට දැක ගන්න ලැබුණා.වවුනියාව ප්‍රදේශයටම තිබෙන්නේ පන්සල් 31 යි.මුලින් අපි මේ පන්සල් සංවර්ධනය කළා.ඊට පසුව තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පන්සල් සංවර්ධනය කිරීම ආරම්භ කළා.

අදාළ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දැක්වූ උඩරට අමරපුර මහ නිකායේ උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පොල්හේන්ගොඩ උපරතන හිමි...

“මේ පළාතේ ඉන්නේ දුප්පත් මිනිස්සු.පන්සලකට හරියට දානේ ටිකක් ලැබෙන්නේ නැහැ.පන්සල් බොහොමයක් තිබෙන්නේ විවිධ අඩුපාඩු මධ්‍යයේ.යුද්ධය නිසා මේ පළාතේ ජනතාවට ගොඩක් දේ අහිමි වුණා.ඒ කාලේ ත්‍රස්තවාදීන් නිසා ගම්වැසියෝ ගම් අතහැරලා ගියා.මේ නිසා පන්සල්වල භික්ෂූන් වහන්සේට වැඩ හිඳින්න පුළුවන් පසුබිමක් තිබ්බේ නැහැ.පන්සල් ගොඩක් ගරා වැටීමට මෙය බලපෑවා.සමහර පන්සල් වල කඨින චීවර පූජාව කරන්නේ හාමුදුරුවෝ සැතපෙන කාමරයේ.පන්සල් වලට රජයෙන් ප්‍රතිපාදන ලෙස ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්.එවැනි පසුබිමක දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන් මුල්වී මේ සිදුකරන පුණ්‍යකර්මය ඉතා ඉහළයි“.

විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන ශ්‍රී දළදා මාලිගාවේ කණ්ඩායමක් විසින් නිරීක්ෂණය කර ඒවාහි අඩුපාඩු පිළිබඳ වාර්තාවක් සකස් කරනු ලබයි.ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟ පෙන්වීම මත අදාළ අඩුපාඩු සකස් කිරීම පිණිස මුදල් ආධාර වෙන් කෙරෙන අතර ඒවා නිදහස් කරනු ලබන්නේ ඒ ඒ අදියරේ වැඩ නිමවීමෙන් පසු ප්‍රාදේශිය ලේකම්රයාගේ නිර්දේශ මත වීම විශේෂත්වයකි.මේ නිසා මුදල් අවභාවිත වීමට පවතින සියලු ඉඩකඩ ඇහිරී තිබේ.

“ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන 144 ක් තිබෙනවා.මේ අතරින් අපි විහාරස්ථාන 122 ක් සඳහා ආධාර ලබා දෙනවා.සෙසු විහාරස්ථානවලට ලැබෙන ආදායම් හා ඒවාහි දායකයින්ගේ ශක්තියෙන් ඒවා ගොඩ නගන්න හැකියාව තිබෙනවා.තවත් සමහර ඒවාහි අඩුපාඩු නැහැ.රජය මගින් මේ විහාරස්ථාන සංවර්ධනය සඳහා ලබාදෙන මුදල ප්‍රමාණවත් නැහැ.රුපියල් ලක්ෂ 03 කින් කිසිම වැඩක් හරියට ඉවර කරන්න .අපි අතරමඟ අන හිට තිබෙන ඉදි කිරීම් අවසන් කරන්නත් මේ යටතේ මුදල් ලබා දුන්නා.චෛත්‍යය,බෝධීන් වහන්සේ,පිළිම ගෙය,ආවාස ගෙය,ධර්ම ශාලාව ඇතුළු විහාරස්ථානයක මූලික අංග සියල්ල සම්පූර්ණ කිරීම සඳහා මුදල් ආධාර ලබා දීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙනවා.ගතවූ වසර දහයක කාලය තුළ දළදා මාලිගාව රුපියල් ලක්ෂ 20000 ක් පමණ සුබ සාධන වැඩසටහන් වෙනුවෙන් වැය කර තිබෙනවා.මේ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන්නේ. නිකාය බේදයකින් තොරව මේ සංවර්ධන වැඩසටහන් වලට අපි මුදල් ලබා දෙනවා.මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන නඟා සිටුවන්න අපි අපේක්ෂා කරනවා...ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි...

“යුද්ධය නිමවී වසර එකොළහක් ගතවී ඇතත් මේ ප්‍රදේශ වල සිදුව තිබෙන සංවර්ධනය පිළිබඳව සෑහිමකට පත් වෙන්න බැහැ.විශේෂයෙන්ම ආගමික ස්ථාන කෙරෙහි අවධානයක් යොමුව නැහැ.එවැනි අවස්ථාවක දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා මේ ආකාර වැඩපිළිවෙළක් දියත් කිරීම ඉතාම වැදගත් බව කිව යුතුයි.

පන්සලවල වැඩ කවදාවක් ඉවරයක් වෙන්නේ නැහැ කියලා කියන අවස්ථා තිබෙනවා.ඒ පිළිවෙළක් නොමැතිව තැනින් තැන වැඩ කරන නිසයි.මුලින්ම වැඩ පටන් ගන්න කලින් හොඳ සැළසුමක් ඇඳ ගන්න කියලා මම විහාරාධිපතිවරුන් ගෙන් ඉල්ලනවා. ප්‍රමුඛතා අනුව ඒවාහි වැඩ එකින් එක කරගෙන ගියොත් මේ මුදල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.


නව අදහස දක්වන්න