කතානායක වැඩ කරන්නේ පොදු අපේක්ෂක සිහිනයෙන් | දිනමිණ

කතානායක වැඩ කරන්නේ පොදු අපේක්ෂක සිහිනයෙන්

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සිහිනයෙන් කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ අරමුණු ඉටුකරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.

අදවන වි‍ට පාර්ලිමේන්තුව සිරිකොත පක්ෂ කාර්යාලය බව‍ට පත්කර සිටින අතරම මෙම සෑම ක්‍රියාවකටම කතනායකවරයා වගකිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති එස් බී දිසානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස් බී දිසානායක මහතා

පාර්ලිමේන්තුව තවමත් රැස්වන්නේ නීතී විරෝධි ලෙසයි. එම රැස්විම එක්සත් ජාතික පක්ෂයේ ,ජනතා විමුක්ති පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ රැස්වීමක් පමණයි. ඒ වගේම මෙම පාර්ලිමේන්තු රැස්විම කරුණාරත්න ජයසූරිය මහතාගේ චණ්ඩිකමට පවත්වන රැස්වීමක්. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇතැයි කියා සිතෙන කෙනා අගමැති ධූරයට පත්කිරීමේ අයිතිය ජනාධිපතිවරයා සතුයි.පසුගිය යහපාලන රජයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු වරින් වර එළියට ආවේ යහපාලන රජය තුළ කටයුතු කළ නොහැකි නිසයි. ඒ අනුව යහපාලන ආණ්ඩුව විසිරෙනවා. ජාතික ආණ්ඩුවක් නොමැති විට ඇමැති මණ්ඩලය තිහ දක්වා අඩු වෙනවා. ඇමැති මණ්ඩලය විසිරි ආණ්ඩුව අස්ථාවර වීමෙන් නව අගමැතිවරයෙක්, ඇමැති මණ්ඩලයක් පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබෙනවා.

එවන් නව රජයක් පත්වූ විට කතානායකවරයා කළ යුත්තේ එය පිළිගෙන තේරීම් කාරක සභාවක් පත්කර කාරක සභා පිහිටුවා පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යාමයි. 2015 දී චමල් රාජපක්ෂ කතානායකවරයා මෙන්ම 2005 දී විපක්ෂයෙන් පත්වූ විජ මූ ලොකු බණ්ඩාර මහතා කතානායකවරයා ලෙස එලෙස සම්ප්‍රදායට අනුව කටයුතු කළා. අද ඇතිවී තිබෙන අස්ථාවර තත්ත්වය සඳහා වගකිව යුත්තේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නෙවෙයි. කතානායක කරූ ජයසූරිය මහතායි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ආනන්ද අලුත්ගමගේ මහතා සමඟ පසුගිය දා සඳහන් කළේ කරූ ජයසුරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවයි‍. ඒ නිසා කතානායකවරයා පොදු අපේක්ෂකයා‍ වීමේ සිහිනයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාටත් අවශ්‍ය වන්නේ පක්ෂ නායකත්වය රැක ගැනීමයි. ඒ නිසා ‍මේ ආණ්ඩුවේ කිසිම වෙනසක් වන්නේ නැහැ. මෙහි අගමැති පුරප්පාඩුවක් නැහැ.ඇමතිවරුන්ගේ පුරප්පාඩුත් නැහැ. අගමැති වෙනුවට වෙනත් අයකු පත්කරන්නෙත් නැහැ. මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අධිකරණ තීන්දුව දෙනතෙක් බලාගෙන සිටිනවා. මැතිවරණයකට යාහැකි බව අධිකරණය කීවොත් අපි එයට සූදානම්. එහිදි එජාප මන්ත්‍රී සංඛ්‍යාව 65ට අඩු කරනවා. රාවුෆ් හකීම්ගේ මන්ත්‍රී සංඛ්‍යාව හතේ සිට තුනට අඩු කරනවා. රිෂාඩ්ගේ මන්ත්‍රී සංඛ්‍යාවත් අඩුකරනවා. දිගම්බරම්ගේ , මනෝ ගනේෂන් ආදි වශයෙන් වූ අයගේ මන්ත්‍රී ධූරත් තොන්ඩමන් මහතා වැනි අයගේ කණ්ඩායමට බෙදි යනවා. ටි එන් ඒ මන්ත්‍රී ධූර ඩග්ලස් දේවානන්ද මහතාගේ නියෝජිතයින් අතර බෙදෙනවා . මේ අකාරයට අපි ඉදිරි මහ මහමැතිවරණයේදී ආසන 130කට වැඩි සංඛ්‍යාවකින් යුත් ආණ්ඩුවක් හදනවා.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා- අපි මුල සිට සිටි ස්ථා‍වරයේ කිසිම වෙනසක් නැහැ. කතානායකවරයා විසින් පවත්වාගෙන යන පාර්ලිමේන්තුව නීත්‍යානුකූළ නැහැ. පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුත්තේ ස්ථාවර නියෝග, සම්ප්‍රදායට අනුවයි. නමුත් කතානායකවරයා ‍පාර්ලිමේන්තුව පවත්වා‍ගෙන යන්නේ සම්ප්‍රදාය, ව්‍යවස්ථාව,ස්ථාවර නියෝග ආදි මේ සියල්ලට‍ම පටහැනි ලෙසයි.ඒ නිසා අපි තවමත් සිටින්නේ එම ස්ථාවරයේමයි. පාර්ලිමේන්තුව නිවැරදි ලෙස රැස්විය යුතුයි.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආ‍රම්භ වීමේදී ක්‍රියාත්මක වියයුතු පිළිවෙළක් තිබෙනවා. ස්ථාවර නියෝග 22 යටතේ නව සැසිවාරයක් ආරම්භය සිදුවිය යුතු ආකාරය සඳහන් වෙනවා. එහෙත් කතානායකවරයා පාර්ලිමේන්තුව ආරම්භ කළ පසුගිය 14වැනිදා සිටම කටයුතු කරන්නේ ස්ථාවර නියෝග වලට පටහැනි ලෙසයි. අද වනවිට පාර්ලිමේන්තුව තුළ වංචාව, ‍බොරුව ක්‍රියාත්මක වෙනවා. සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස අද පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ආයතන තුනම එකසේ ක්‍රියාත්මක විය යුතුයි. නමුත් අදවනවිට විධායකය දෙන තීන්දු ව්‍යවස්ථාදායකය විසින් නොසළකා‍ හරින තැනට ඇවිත් තිබෙන බව කතානායකවරයාගේ මේ හැසිරිමෙන් පේනවා. අද ජනතාව ඉල්ලා සිටින්නේ මැතිවරණයක්. නමුත් එයට එක්සත් ජාතික පක්ෂය කැමති නැති බවයි පේන්නේ .‍ ඇයි මැතිවරණය වලට බය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිම වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය අධිකරණයට ගියා. එහි තීන්දුව ලබාදෙන තෙක් අපි බලාගෙන සිටිනවා. උසාවිය කවර තීන්දුවක් ලබාදුන්නත් අපි ඒ අනුව කටයුතු කරනවා.ශිලාචාරව කටයුතු කරනවානම් අපි හැමෝම කළ යුත්තේ උසාවි තින්දුව අනුව කටයුතු කිරීමයි.

මම දැක්කා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා‍ මහතා ප්‍රකාශ කර තිබුණා, ගතවූ දින කිහිපය තුළ බිලියන 72ක් රටට පා‍ඩු වී ඇති බව. නමුත් මම එතුමාගෙන් අහනවා කොහොමද එහෙම කියන්නේ. අඩු තරමේ ‍මේ ආකාරය‍ට මේ ආකාරයට කියා‍ කීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් එවැනි කිසිවක් කියන්නේ නැහැ. බොරුවට චෝදනා කරනවා.

ඇමැති එස්. එම්ත චන්ද්‍රසේන මහතා- කතානායකවරු කිහිප දෙනකු යටතේ අපි පාර්ලිමේන්තුව තුළ වැඩකර තිබෙනවා. නමුත් මේ කතානායකවරයා ලෙස කටයුතු කරන කිසිම කතානායකවරයකු අපි දැක නැහැ. විජමු ලොකු බණ්ඩාර මහතා එදා විපක්ෂයේ කතානායකවරයකු වූවත් එදා අපට සහය දැක්වූවා. මෙවැනි ආකාරයට අර්බුද ඇති වීමට එතුමා ඉඩ තැබුවේ නැහැ. මැතිවරණයක් පැවැත්වීමට ඉල්ලන විට එක්සත් ජාතික පෙරමුණ එයත් වැළැක්විමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට ඇමැති වාසුදේව නානායක්කාර, ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

නව අදහස දක්වන්න