බ්‍රිතාන්‍යය වැට උඩ | දිනමිණ

බ්‍රිතාන්‍යය වැට උඩ

ධම්මික සෙනෙවිරත්න

එක්සත් රාජධානිය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය යනු කේන්ද්‍රීය ආර්ථික මෙන්ම සමාජ කාරණයක් බැවින් තත්ත්වය බෙහෙවින් ම සංකීර්ණය. යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ කලාපයකි. යුරෝපය පුරා භාණ්ඩ වෙළෙඳාම නිදහසේ සිදුවිය යුතු බවට එකඟ වූ කලාපයකි. තනි වෙළෙඳ පොළකි.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට 2016 ජූනි 23 වැනිදා පැවැති ජනමත විචාරණයේදී එරට ජනතාව තීරණය කළහ. එම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 72% ක් තරම් ඉහළ අගයක් විය. ඉන් 51.9% ම කියා සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවය. එම ප්‍රතිඵලය එරට අගමැතිවරයා වෙනස්වීමට පවා බලපෑවේය. යුරෝපා සංගමයට පක්ෂව සිටි එවක අගමැති ඩේවිඩ් කැමරන් ගෙදර ගියේය. තෙරේසා මේ, එම පදවිය බාර ගත්තේය. ජනතා තීරණය ලැබී දෙවසරක් ගතවී ඇතත් තවමත් එම ක්‍රියාදාමය සිදුවෙමින් පවතී. තීරණය ක්‍රියාත්මක වනු ඇත්තේ තවත් දින 100 කට මඳක් වැඩි කාලයකට පසුවය. හරියටම කිවහොත් ලබන වසරේ මාර්තු 29 වැනිදා පටන්ය. මේ වන විට දියත්ව ඇති එම ඉවත්වීමේ ක්‍රියාදාමය සිදුවන්නේ 'ලිස්බන් සම්මුතියේ' 50 වෙනි වගන්තියට අනුවය. ඉවත්විය යුතු දිනය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් යුරෝපා සංගමයේ සාමාජිකයන් 28 දෙනාම ඊට එකඟතාව පළකළ යුතුය.

මේ ක්‍රියාදාමය පෙරට යමින් තිබියදී අයිරිෂ් දේශසීමාව පිළිබඳ ප්‍රශ්නය ඊට වඩා හරස්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. අයර්ලන්තය වෙන් කරමින් භෞතික වශයෙන් දේශසීමා ඉදිවී නොමැත. යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර ඇතිකරගන්නා වෙළෙඳ ගිවිසුම් තමන්ට බලපාන්නේ කෙසේද යන්න කෙරෙහි ද අයර්ලන්තයේ අවධානය යොමුව තිබේ. ගෙවෙමින් පවතින අන්තර් කාලයේදී මේ කරුණු සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.

එක්සත් රාජධානිය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය යනු කේන්ද්‍රීය ආර්ථික මෙන්ම සමාජ කාරණයක් බැවින් තත්ත්වය බෙහෙවින් ම සංකීර්ණය. යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ කලාපයකි. යුරෝපය පුරා භාණ්ඩ වෙළෙඳාම නිදහසේ සිදුවිය යුතු බවට එකඟ වූ කලාපයකි. එමෙන්ම එය තනි වෙළෙඳ පොළකි. වෙළෙඳාමට අදාළ බැංකු සේවා පවා සිදුවන්නේ ගාස්තු අයකිරීමෙන් තොරවය. ආහාර, ඖෂධ, වෙළෙඳාම වැනි දෑ සම්බන්ධයෙන් ද පොදු රෙගුලාසි බලපැවැත්වේ. තනි වෙළෙඳපොළක් ලෙස පැවැතීම නිසා ජනතාවට නිදහසේ යුරෝපා සංගමයේ සංචාරය කළ නොහැකිය. මෙවැනි රෙගුලාසි අනාගතයේදී එක්සත් රාජධානිය සම්බන්ධයෙන් බලපවත්වන්නේ කෙසේද යන්න පුළුල්ව සළකා බලමින් පවතී. කෙසේ වුව අනාගත සබඳතා කෙසේ විය යුතු ද යන්න තීරණය වනු ඇත්තේ යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය බැහැරවීමෙන් පසුවය.

ආර්ථික බලපෑම්

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේදී දෙපාර්ශ්වය අතර සම්මුතියක් ඇතිවිය යුතුය. එම සම්මුතියෙන් පසු විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂාව, අයර්ලන්තය සම්බන්ධයෙන් එය බලපාන ආකාරය, වෙළෙඳාම ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අයර්ලන්තය තීරණය කර නොමැති පසුබිමක ඔවුන්ට වෙනම රෙගුලාසි අදාළ කර ගැනීමට ද සිදු වේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ආර්ථික බලපෑම එක්සත් රාජධානියට හා අයර්ලන්තයට මෙන්ම යුරෝපා සංගමයේ සෙසු කොටසට ද අදාළය. වැඩිම බලපෑම තිබෙනු ඇත්තේ එක්සත් රාජධානියට හා අයර්ලන්තයටය.

අයර්ලන්තය යුරෝපා සංගමයේ සමීපතම වෙළෙඳ හවුල්කරුවාය. ඉදිරියේදී ඇතිවනු ඇති තත්ත්වය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් අයර්ලන්ත වැසියකු එක්සත් රාජධානියෙන් පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී වාසියක් ඇත. එහෙත් එක්සත් රාජධානියට වාහනයක් විකිණීමට යාමේදී එය අවාසිදායකය. අයර්ලන්තයට එවැනි කෙටිකාලීන බලපෑම් දරා ගැනීමට සිදුවනු ඇතැයි ද එවැනි කෙටි කාලීන බලපෑම් බලපවත්වනු ඇතැයි පෙනී ගොස් තිබේ. අයිරිෂ් ආර්ථිකය ඉදිරි දශකයක කාලය තුළ 4% - 7% ක පසුබෑමක් පෙන්වනු ඇතැයි අපේක්ෂිතය. එසේ බලන කල මීළඟ පස්අවුරුදු කාලසීමාව ඔවුනට අභියෝගාත්මකය.

ආරක්ෂක ක්ෂේත්‍රය

යුරෝපා සංගමයෙන් නික්ම යාමෙන් පසු ආරක්ෂක ක්ෂේත්‍රය කෙරෙහි එය බලපානු ඇති ආකාරය එක්සත් රාජධානියේ විශේෂ අවධානයට යොමුව තිබේ. ආරක්ෂක ඇමැති බෙන් වොලස් පෙන්වා දෙන්නේ ඉන්පසු ඇතිවන තත්ත්වය දැනට වඩා ආරක්ෂාකාරී යැයි කිව නොහැකි බවය. ත්‍රස්තවාදය, දේශසීමාන්තර අපරාධ වැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අවදානම් සහගත තත්ත්වයක් ද තිබේ. අපරාධකරුවන් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා දැනට ඇති ක්‍රමවේද ගැන පවා එම නව තත්ත්වය අදාළ වන බැවිනි.

සාගරයේදී බලපාන්නා වූ නීති පිළිබඳ ද ඇතැම් පාර්ශ්වවල අවධානය යොමුව තිබේ. දැනට බලපාන නීති බොහොමයක් යුරෝපා කොමිෂම පිළියෙල කළ ඒවා වන අතර අනාගතයේදී ඒවා අදාළ වන්නේ කෙසේද යන ගැටලුව උද්ගත වේ.

ඉවත්වීමේ ක්‍රියාදාමයේදි ආසන්නතම වැදගත් අවස්ථාව දෙසැම්බර් 9 වැනිදා එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමය. එම විවාදය සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබේ. තීරණය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම යෙදී ඇත්තේ දෙසැම්බර් 11 වැනිදාටය. කම්කරු පක්ෂ මන්ත්‍රී බහුතරය ඊට පක්ෂ නොවනු ඇති බවට මත පළවී තිබේ. කෙසේ වුවද, එම පූර්ව නිගමන බාරගැනීම එතරම් උචිත නැත. ඒ, මේ පිළිබඳ ජනමත විචාරණය සම්බන්ධයෙන් කරන ලද පුරෝකථන ද වෙනස් වූ බැවිනි. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් කොන්සර්වෙටිව් පක්ෂයට ඇත්තේ ආසන 316 කි. එබැවින් පාර්ලිමේන්තුවේදී තීරණය සම්මත කර ගැනීමට අගමැතිනියට උතුරු අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදී සංගම් පක්ෂයේ 10 දෙනකුගේ සහාය ලබාගැනීමට සිදුවනු ඇත. කොන්සර්වෙටිව් පක්ෂයේ මතවාදී වෙනස්කම් සමනය කරගැනීමට ද මෙහිදී සිදුවේ. ඇය ඒ සඳහා විපක්ෂයේ සහාය ද අපේක්ෂා කරනු ඇතැයි සිතිය හැකිය. යම් හෙයකින් තීරණයට අනුමැතිය ලබාගැනීමට අපොහොසත් වුවහොත් තෙරේසා මේගේ නායකත්වය අභියෝගයට ලක්වනු ඇති සේම ආණ්ඩුව ද බිඳවැටෙනු ඇති අතර ඉක්මන් මැතිවරණයකට යාමට ද සිදුවනු ඇත.

අවසන් තීරණය

දෙසැම්බර් 13 - 14 දිනවල බ්‍රිතාන්‍යයේ තීරණය පිළිබඳ අවසන් එකඟතාවට එළැඹීමට නියමිතය. හේතුව 2018 වර්ෂයේ යුරෝපා කවුන්සිලය රැස්වන අවසන් දින වන්නේ ඒවා බැවිනි. එහිදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනෙනු ඇත. ඊට සාමාජික රටවල අතිබහුතරයේ ඡන්දය අවශ්‍යය. එනම් සාමාජික රටවල් 27 න් 20 කගේ අනුමැතිය ලබාගැනීමට සිදුවේ. එය යුරෝපා සංගමයේ සාමාජික රටවල ජනගහනයෙන් 65% ක් නියෝජනය කරයි. ඊළඟ ජනවාරියේදී රැස්වන විට එකඟතාවනට එළැඹ සිටීමට අසමත් වුවහොත් යුරෝපා සංගම් විධිවිධානවලට අනුව දින 5 ක් තුළ ඊළඟ පියවර පාර්ලිමේන්තුවට දැන්වීමට බ්‍රිතාන්‍ය රජයට සිදුවේ. එහිදී යළි පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට යාමට සිදුවනු ඇත. මාර්තු මාසය වන විටත් එකඟතාවක් ලැබී නොමැති වුවහොත් යුරෝපා සංගමයට අයත් රටවල පාර්ලිමේන්තු මේ පිළිබඳ ඡන්දය විමසනු ඇත. එම තීරණය සරල බහුතරයකින් සම්මත වීම ප්‍රමාණවත්ය. එහිදී බ්‍රිතාන්‍යයට යළි යුරෝපා සංගමයත් සමඟ එක්වීමට ද අවස්ථාව තිබේ. පොදු වෙළෙඳපොළක් වශයෙන් කටයුතු කිරීමට එවැනි අවස්ථාවක් ලැබෙනු ඇත්තේ ජනමත විචාරණ ඡන්ද විමසීමෙන් වසර 6 1/2 ක් ගතවීමෙන් පසුවය.

අවිනිශ්චිතතාවෙන් යුතුව ගෙවී යමින් ඇති මේ දින කිහිපය තුළ විවිධ මතිමතාන්තර පළවෙමින් තිබේ. යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට බහුතර බ්‍රිතාන්‍ය ජනයා ගත් තීරණය දේශපාලන වශයෙන් සලකන විට ඓතිහාසික තීන්දුවකි. එය කලාපීය දේශපාලනයට පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනයට ද බලපෑම් කළ තීරණයකි. එමෙන්ම අගමැතිවරයකුට ගෙදර යාමට සිදුවූ තීරණයකි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව ගත් තීරණය ප්‍රකට වූයේ Brexit (Britain Exit) යනුවෙනි. ඊට පෙර මෙපරිද්දෙන්ම ග්‍රීසිය ඉවත් වූ විට එය ප්‍රකට වූයේ Grexit යනුවෙනි.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව එංගලන්තය 53.4% ක්, වේල්සය 52.5% ක් වශයෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය පිළිවෙළින් 62% ක්, 55.8% ක් වශයෙන් ඡන්දය ප්‍රකාශ කළේ තවදුරටත් යුරෝපා සංගම‍යත් සමඟ එක්ව සිටිය යුතු බව කියමිනි.

බ්‍රිතාන්‍ය රජය මෙන්ම ප්‍රධාන විපක්ෂය ද එරට යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන තීරණය පොදුවේ අනුමත කරති. ඇතැම් කණ්ඩායම් ඊට එරෙහි ස්ථාවරයක සිටී. ජනතාව ගත් තීන්දුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද අනුමත වනු ඇතිද යන්න වැදගත්ම කාරණයයි.

නව අදහස දක්වන්න