කුස­ගිනි | දිනමිණ

කුස­ගිනි

ලෝක සාගින්දර, 2000 වසරේ සිට පහළ වැටෙන්නට පටන් ගෙන ඇති බව පැවසේ. එසේ වුවත්, බඩගින්න, ලොව බොහෝ පිරිසකට තවමත් උරුම ය. 2018 ලෝක සාගින්දර දර්ශකයට ( Global Hunger Index) අනුව, වැඩියෙන් ම බඩගින්නෙන් සිටින රාජ්‍ය දහය ගැන කෙටි විස්තරයකි මේ.

 

1. මධ්‍යම අප්‍රිකා ජනරජය

ලොව වැඩි ම පිරිසක් සාගතයෙන් සිටින අංක එකේ රාජ්‍ය හැටියට සැලකෙන්නේ, මධ්‍යම අප්‍රිකා ජනරජයයි. දේශපාලන අස්ථාවර බව, ආර්ථිකය කඩා වැටීම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ 2012 වසරේ සිට පවත්නා වාර්ගික අර්බුද හේතුවෙන්, එරට ජනයාට තම කුසගින්න නිවා ගන්නට බැරිව ගොස් ඇත. වාර්ගික ගැටලු සහ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා, එරට ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටිති. ඒ අනුව, මධ්‍යම අප්‍රිකා ජනරජයේ ජනගහනයෙන් සෑම පුද්ගලයන් පස්දෙනකුගෙන් එක් අයකුම අවතැන්ව සිටින බව, විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අවතැන් වී සිටින එම පිරිසට අමතරව, සෙසු පිරිසටත් ආහාර හිඟ ය. එයට හේතුව, එරට වසා පැතිර ඇති දරිද්‍රතාවයි. එහි වාර්ෂික ඒක පුද්ගල ආදායම , අමෙරිකා ඩොලර් 400ක් තරම් පහළ මට්ටමක පවතී. මානව සම්පත ලොව අඩුවෙන් ම සංවර්ධිත රාජ්‍යය හැටියට සැලකෙන්නේ ද, මධ්‍යම අප්‍රිකා ජනරජයයි.

2. චැඩ් රාජ්‍යය

උතුරු මධ්‍යම අප්‍රිකා රාජ්‍යයක් වන චැඩ් රාජ්‍ය, ලොව දරිද්‍රතම රාජ්‍ය අතර, හත්වැනි තැනට පත් රාජ්‍යයයි. එරට ජනගහනයෙන් 80%ක්ම දිවි ගෙවන්නේ, දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ සිට ය. රට තුළ ඇතිවන කාලගුණික විපර්යාස, කෘෂිකාර්මික කටයුතු අසාර්ථක තත්ත්වයට පමුණුවන්නට හේතුවක් වී ඇත. එහිලා, වඩාත් තදින්ම බලපාන්නේ, අධික වියළි කාලගුණ තත්ත්වයයි. ඒ නිසා, එරට වගා අස්වනු බොහෝ ලෙස විනාශයට පත් වේ. ආහාර හිඟකම නිසා ඇතිවන පීඩාවලට, රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් මුහුණ දෙති. වාර්තාවල දැක්වෙන අන්දමට, එරට ජනගහනයෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන්නෝය. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 40%ක් ම, වයසට අනුරූප උස සහ බර ප්‍රමාණය නොදරන බව සඳහන් වේ. මේ අර්බුදකාරී තත්ත්වය හැරුණුවිට, නයිජීරියාව, මධ්‍යම අප්‍රිකා ජනරජය සහ සුඩානය යන රටවලින් එහි ළඟාවන සරණාගතයන්ගේ කුසගින්න නිවන්නටත්, චැඩ් බලධාරීන්ට සිදුව ඇත.

3. යේමනය

යේමනයේ හෙඩෙයිඩාහ් වරාය 2014 වසරේ සිට මේ වනතුරු පවතින්නේ, එරට හොවුති සන්නද්ධකාමීන් අත ය. යේමනයේ ආනයන කටයුතුවලින් 70%ක්ම කෙරෙන්නේ, එකී වරාය හරහා ය. හොවුති සන්නද්ධකාමීන් මේ වරාය සහ වරාය නගරය තමන් භාරයට ගනිමින්, හොර ජාවාරම් කරන බවට සෞදි අරාබිය චෝදනා කරයි. වරාය යළි මුදාගැනීමේ අරමුණෙන්, සන්නද්ධකාමීන් මට්ටු කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ තවත් රාජ්‍ය රැසක්, නිරායුද සාමාන්‍ය ජනයා ජීවත් වන ප්‍රදේශවලට පවා ප්‍රහාර එල්ල කරමින් සිටී. වරාය අහිමි වීමත්, ප්‍රහාර දැඩි කිරීමත් හේතුවෙන් යේමනයේ සාමන්‍යය ජනයාගේ ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී ඇත. එරටට බලපා තිබෙන දැඩි ආහාර අර්බුදය, එහි දිගුවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආධාර වැඩපිළිවෙළේ උප ලේකම් මාර්ක් ලොව්කොක්, ජගත් සංවිධාන ආරක්ෂක කවුන්සිලයට පසුගිය දා ප්‍රකාශ කළේ, යේමනයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට යැපෙන්නේ මානුෂීය ආධාර මත යැයි කියා ය. යේමනයේ ජනයා අති දරුණු දුර්භික්ෂ තත්ත්වයක් වෙත ගමන් ගනිමින් සිටින බව, ඉතාමත් පැහැදිලි යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබිණ. එරට තුළ පවත්නා දේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන්, මේ ආහාර අර්බුදය තව දුරටත් උග්‍ර වෙමින් තිබේ. මිලියන 28කට ආසන්න යේමනයේ ජනගහනයෙන්, මිලියන 14කට ආසන්න පිරිසක් අද වනවිට සාගතයෙන් පෙළෙමින් සිටින බව බලධාරීහු පවසති.

4.මැඩගස්කරය

ඉන්දියන් සාගරයෙහි පිහිටි දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරය අයත් වන්නේ, අප්‍රිකා මහාද්වීපයටයි. මැඩගස්කරයේ කෘෂිකාර්මික කටයුතු බිඳ වැටෙන්නේ එරටට බලපාන තදබල සුළි කුණාටු සහිත කාලගුණ තත්ත්ව නිසා ය. වසරකට වැඩි ම සුළි කුණාටු සංඛ්‍යාවකින් පීඩාවට පත්වන අප්‍රිකා රාජ්‍යය වන්නේ ද මැඩගස්කරයයි. වසරකට අඩු තරමින් සුළි කුණාටු එකක්වත් එරටට බලපාන බව සඳහන් වේ. ඒ හැරුණුවිට, දීර්ඝ නියං කාල ද මැඩගස්කරයේ කෘෂිකාර්මික කටයුතුවලට අහිතකර ලෙස බලපායි. වගාවලින් අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීම, මේ නිසා බෙහෙවින්ම දුෂ්කර වී තිබේ. ආර්ථික අපහසුතා නිසා, රටේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙති. වාර්තා වන අන්දමට, එහි මිලියන 1.4කට ආසන්න පිරිසකට ආහාර ආධාර අවශ්‍යව තිබේ. වයස අවුරුදු 5ට අඩු එරට දරුවන්ගෙන් 6%ක්, වයස අවුරුදු පහ පසු කරන්නට පළමුව ජීවිතක්ෂයට පත් වෙති. ගැබිණි මවුවරුන් ලක්ෂයකට 500ක් පමණ, රක්තහීනතාව හේතුවෙන් මරණයට පත් වන්නාහ.

5. සැම්බියාව

ස්ථාවර බව සහ සාමය භුක්ති විඳින අප්‍රිකා රාජ්‍යයක් හැටියට ප්‍රකට සැම්බියාව, උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී තිබෙන්නේ, කාලගුණ විපර්යාස හේතුවෙනි. මෑතක සිට එරටට බලපාන වර්ෂාපතන රටාව, පූර්වයෙන් විනිශ්චය කරන්නට බැරිව ගොස් ඇත. අපේක්ෂා නොකර කාලවලදී, වර්ෂාව ලැබේ. බෝග වගා ආරම්භ කළ පසු, දීර්ඝ නියං කාල ඇති වේ. මේ නිසා, වගා විනාශ වී යයි. එකී වාතාවරණය හේතුවෙන්, එහි ආහාර හිඟයක් හටගෙන ඇත. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් විශාල පිරිසකට රැකියා ද අහිමි වී තිබේ. වාර්තාවල දැක්වෙන අන්දමට, රටේ ජනගහනයෙන් 60%ක් දරිද්‍රතාවයෙන් පෙළෙති. සැම්බියා දරුවන්ගෙන් 40%කට මන්දපෝෂණය බව සඳහන් වේ.

6. සියරා ලියෝනය

වර්ග කිලෝමීටර 71,740කින් සමන්විත මේ බටහිර අප්‍රිකා රාජ්‍යය, දේශපාලන අස්ථාවරභාවය නිසා අර්බුද රැසකට මුහුණ දුන් රාජ්‍යයකි. එනිසා, රටේ සම්පත් විශාල වශයෙන් විනාශ විය. දේශපාලන අස්ථාවරභාවයට අමතරව, 1991 සිට එරට තුළ සිවිල් යුද තත්ත්වයක් ද පැවතියේ ය. 2002 ජනවාරි මාසයේදී සිවිල් යුද්ධය අවසන් වනවිට, 50,000කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වී තිබිණ. අවතැන් පිරිස 2,000,000 කට අධික වී යැයි සඳහන් වේ. ඉන් වසර කිහිපයට පසු, එනම් 2014 වසරේදී එරට තුළ එබෝලා වසංගතය පැතිර යන්නට පටන් ගත්තේ ය. එබෝලා වසංගතයෙන් 4000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දහස් ගණනක් වෛරසය ආසාදනය වීමෙන් පීඩාවට පත් වූවෝ ය. මේ විපත් හැරුණුවිට, ගං වතුර, කඳු නායයාම් ආදිය නිසාත්, සියරා ලියොන් ජනයා අසරණ තත්ත්වයට පත් වූහ. අද වනවිට එහි මිලියන ගණනක් ජනයා සාගින්දරෙන් පසු වන්නෝය. වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 38%ක් මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව, ආධාර දෙන කණ්ඩායම් පවසති.

7. හයිටි රාජ්‍යය

දේශපාලන අස්ථාවාර තත්ත්වය නිසා ඇතිවන දුෂ්කරතාවලට අමතරව, සොබාදහමත් හයිටි ජනයාගේ ගමන් මඟ අහුරා දමා ඇත. එහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ, මේ කුඩා දූපත් රාජ්‍යයට බලපාන සුළි කුණාටු, ගංවතුර සහ භූ කම්පන ය. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනේ වාර්තාවලට අනුව, හයිටි ජනගහනයෙන් මිලියන 3.6කට අධික පිරිසක්, අතිශයින්ම දරිද්‍රතාවෙන් ද, සාගතයෙන් ද පෙළෙමින් සිටිති. ඒ පිරිසගේ ජීවිත රඳා පවතින්නේ, විවිධ සංවිධාන ලබාදෙන ආහාර සහ සහනාධාර මත ය. කුසගින්නෙන් පෙළෙන දරුවන් ආහාර සොයමින් ඉබාගාතයේ ඇවිදිනු එහි දැකිය හැකි බව සඳහන් වේ. ඇතැම් දරුවෝ කැළි කසළ බඳුන්වල ඇති දෑ පවා අහුලාගෙන කන්නට නැඹුරු වී සිටිති. පවත්නා භයානක තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට, ආහාර පාන ලබා දීම, තාවකාලික විසැඳුමක් පමණක් බව සඳහන් වේ. එරට ජනගහනයෙන් අඩකට අධික පිරිසක් දිනකට ලබන්නේ අමෙරිකා ඩොලර් 2කට අඩු ආදායමකි. ඒ අනුව, දරිද්‍රතාවයේ අඳුරු ප්‍රපාතයට වැටී සිටින පිරිස ඉන් මුදා ගැනීම, එරට ආහාර අර්බුදය විසැඳීමට ඇති එක් පියවරකි.

8. සුඩානය

සුඩානය, දශක කිහිපයක කාලයක් පුරා සන්නද්ධ අරගලයකට මැදි වී සිටින රාජ්‍යයකි. රටේ පවත්නා දේශපාලන අස්ථාවර තත්ත්වය, ආර්ථික කඩා වැටීම සහ සන්නද්ධ අරගල ආදිය හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව, මිලියන 2.4කට අධික බව සඳහන් වේ. රට තුළ දුර්භික්ෂ තත්ත්වයක් ද ඇති වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවලට අනුව, එරට ජනගහනයෙන් හතරෙන් පංගුවකට ආසන්න පිරිසක් - එනම් මිලියන 7.1කට ආසන්න පිරිසක් ජීවත් වන්නේ කුසගින්නේ ය. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 40%කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙති. එරටට බලපා ඇති එල් - නිනෝ කාලගුණ තත්ත්වය නිසා, රට තුළ ආහාර නිෂ්පාදනයත් බෙහෙවින්ම පහළ මට්ටමකට ඇද වැටී තිබේ.

9. ඇෆ්ඝනිස්ථානය

මිලියන 33කට අධික ජනගහනයක් වෙසෙන ඇෆ්ඝනිස්ථානය, දශක කිහිපයකට අධික කාලයක් මුළුල්ලේ ගැටුම් නිසා පීඩාවට පත් රාජ්‍යයකි. ත්‍රස්ත ක්‍රියාකාරකම්, විපත් නිසා 225,200කට අධික පිරිසක් අවතැන්ව සිටිති. මේ පිරිසට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැපයීම දුෂ්කර මට්ටමක තිබියදී, එරට පළාත් 20ක් පුරා නියං කාලගුණයක් ද ඇති වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව, නියඟයෙන් විපතට පත් මිලියන 2කට කඩිනම් ආධාර අවශ්‍ය ය. එමෙන් ම, තවත් මිලියන 2කට අධික පිරිසකට සෞඛ්‍ය ආරක්‍ෂිත පානීය ජලය ද නොමැත. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් කියැවුණේ, එරට දැනට අවතැන්ව සිටින සෑම පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයෙකුටම ආහාර නොලැබෙන බවකි.

10. නැඟෙනහිර තිමෝරය

ආසියාවේ දුප්පත්ම රාජ්‍යයක් හැටියට සැලකෙන නැඟෙනහිර තිමෝරය, පෝෂණය ආශ්‍රිත ගැටලු රාශියකට මුහුණ දී ඇති රටකි. එරට සෑම දරුවන් දෙදෙනකුගෙන් එක් අයකුගේම දේහ, වයසට සරිලන ලෙස වැඩී නැත. මිලියන 1.2ක් පමණ වන එරට ජනගහනයෙන් 74%ක්ම ජීවත් වන්නේ, ගම්බද ප්‍රදේශවල ය. එයින් වැඩි පිරිසකගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තයයි. සුළි කුණාටු සහ අයහපත් කාලගුණ තත්ත්ව නිසා, මේ පිරිසට සාර්ථකව කෘෂිකාර්මික කටයුතු කර ගැනීමට නොහැකි වී ඇත. මේ පසුබිම තුළ එරට ජනයාගෙන් 41%කට ආසන්න පිරිසක් දිනකට ලබන්නේ අමෙරිකා ඩොලර් 1.25ක් තරම් වූ සුළු ආදායමකි. එනිසා, පෝෂ්‍යදායි ආහාර පාන භුක්ති විඳින්නට බහුතරයකට හැකියාවක් නැත. අස්ථිර දේශපාලනය හේතුවෙන් පැන නැඟෙන අර්බුද හමුවේ මේ පිරිස තව දුරටත් දුෂ්කරතාවලට පත්වන බව සඳහන් වේ.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න