දේ්ශසීමා වෙන්කරන එකම නිවසේ කාමර දෙක | දිනමිණ

දේ්ශසීමා වෙන්කරන එකම නිවසේ කාමර දෙක

දූපතක වාසය කරන අපට දේශ සීමා අර්බුද නොමැති වූවාට එකිනෙකට යාබදව පිහිටා තිබෙන රටවල්වල නම් දේශසීමා පවතිනවා. සාමාන්‍යයෙන් පැහැදිලි සරල රේඛාවක් ලෙසින් මෙම දේශ සීමා පවතින අතර එක් එක් රටවල තිබෙන දේශපාලනමය තත්ත්වය මත දේශ සීමා අධි ආරක්ෂිත කලාප, තාප්ප, වැටවල් හෝ නිකම්ම සලකුණක් ලෙසින් ද පවතී.

මේ සියලු දේශසීමා අතරින් ලෝකයේ වඩාත්ම බැරෑරුම් එනම් අසාමාන්‍ය දේශ සීමාවක් වන්නේ නෙදර්ලන්තය හා බෙල්ජියම අතර ‘බාර්ලේ‘ (Baarle) නම් නගරය හරහා වැටී තිබෙන දේශ සීමාවයි.

උතුරු යුරෝපයේ තිබෙන මෙම දේශ සීමාව ගොඩනැගිලි මැදින් පිහිටා තිබෙන්නේ එකම නිවසෙහි කාමර පවා රටවල් දෙකකට අයිති කරමිනි. නෙදර්ලන්ත කුඩා නගරයක් වන බාර්ලේ-නසාවු තුළ තිබෙන බෙල්ජියමට අයත් බාර්ලේ - හර්ටොග් (Baarle-Hertog) නගර කොටස් නිසා මෙම සංකීර්ණත්වය නිර්මාණය වී තිබෙනවා.

මධ්‍ය යුගයේදී ආදිපාද පවුල් දෙකකට මෙම ඉඩම් අයිති වී තිබී පසුව වසර 1831දී බෙල්ජියම නෙදර්ලන්තයෙන් නිදහස් වූ පසුවත් බෙල්ජියම් ආදිපාද පවුලේ ඉඩම් බෙල්ජියමට අයත් වීම නිසා මෙසේ නෙදර්ලන්තය තුළ බෙල්ජියම් කුඩා කොටස් නිර්මාණය වී තිබෙනවා.

බැලූ බැල්මට සාම්ප්‍රදායික නෙදර්ලන්ත නගරයක් සේ දිස් වන බාර්ලේ හි 9000ක් වන ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ නෙදර්ලන්ත වැසියන් වේ. එකම නගයේ රටවල් දෙකටම අයිති කොටස් තිබෙන නිසා රටවල් දෙකට අයත් නගර සභා දෙකක් පැවතෙන්නේ දේශසීමාව මගින් වෙන්වූ එකම නගර සභා ගොඩනැගිල්ලක් තුළයි.

බාර්ලේ නගරයේ නිවාසවල අංකය සඳහන් පුවරු වල එම නිවෙස් අයත් රටෙහි කොඩිය පෙන්වා තිබෙන්නේත් පරිපාලන කටයුතු හි පහසුව සඳහායි. එකම ගොඩනැගිල්ලක් තුළ එකිනෙකට වෙනස් ස්වෛරී රාජ්‍යයන් දෙකක නීති වෙන වෙනම පිළිපැදීම මෙම දේශ සීමා සංකීර්ණත්වය හොඳින්ම විදහා දක්වයි.

මීට අමතරව එකම ආපනශාලාව තුළ රටවල් දෙකට වෙන්වූ ආහාර මෙනු දෙකක් තිබෙන අතර ඒවායේ මිල ගණන්ද එකිනෙකට වෙනස් වෙයි. සමහර කාලවලදී තැබෑරුම්වල නෙදර්ලන්ත නීතියේ සඳහන් ලෙසින් මධ්‍යසාර විකිණීම නැවැත්විය යුතු වෙලාව පැමිණි විට එම මේසය තැබෑරුමෙහි බෙල්ජියම් කොටස වෙත ගෙන ගොස් මධ්‍යසාර ලබා දීම සිදු වේ.

ජනගහනය අතින් කුඩා වූවත් ගොඩනැගිලි හා සේවා අතින් මෙම නගරය විශාල නගරයක් සේ දිස් වන්නේ රටවල් දෙකකට අයත් වන බොහෝමයත් ගොඩනැගිලි, සේවා ස්ථාන, ආපනශාලා වැනි දෑ දෙක බැගින් පිහිටා තිබීම නිසායි.

නගරයේ සෑම තැනකම NL හා B යනුවෙන් සඳහන් කල දේශසීමා දක්නට ලැබෙන අතර දෛනික කටයුතු සඳහා රටවල් දෙක අතර ගමන් කරමින් මෙහි නගර වැසියෝ සමගියෙන් කාලය ගත කරති. සැබැවින්ම එකම රටේ ජීවත් වෙමින් ජාතීන් අතර ගැටුම් විරසකකම් ඇති කරගන්නා අයට මෙම වැසියන් ආදර්ශයකි.

නව අදහස දක්වන්න