වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික් | දිනමිණ

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික්

ප්‍රින්ස් ගුණසේකර

නෝර්වේහී හෙගර්බර්ග්ට හොඳම ක්‍රීඩිකා සම්මානය

 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ලෝක පාපන්දු තරගාවලියේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික්ට හිමි වෙයි. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හා ලයනල් මෙසී වසර 2007 සිට එක දිගට මේ සම්මානය දිනාගත් අතර වසර 11කට පසුව මොඩ්රික් මේ සම්මානයට හිමිකම් කීවේය. 2007දී රොනල්ඩෝ හා මෙසී පරදා බ්‍රසීල පාපන්දු ක්‍රීඩක කාකා මේ සම්මානයට හිමිකම් කීය.

33හැවිරිදි ලූකා මොඩ්රික් ක්‍රොඒෂියා ජාතික පාපන්දු පිලට අමතරව රියල් මැඩ්රිඩ් පාපන්දු පිලට ක්‍රීඩා කරමින් සිටී. ඔහු පසුගිය ලෝක පාපන්දු ශූරතාවලියේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි ‘ගෝල්ඩන් බෝල්’ සම්මානයද දිනා ගත්තේය.

මේ අතර වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය නෝර්වේ ජාතික අඩා හෙගර්බර්ග් දිනා ගත්තාය. 23 හැවිරිදි හෙගර්බර්ග් 2016දී යුරෝපයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස හා බී. බී. සී සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනා ගත්තාය.

වසර 1956දී ප්‍රංශයේ ආරම්භ වූ මේ සම්මාන ප්‍රදානය ‘බැලොන් ඩර් ඕ’ (Ballon d'Or) ලෙස හැඳින්වූ අතර 1995 දක්වාම යුරෝපීය පාපන්දු ක්‍රීඩකයන් වෙනුවෙන් පමණක් සම්මාන පිරිනැමුණි. වසර 2007 සිට මුලු ලෝකයේම පාපන්දු ක්‍රීඩකයන් අතුරින් දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ඇතුළු පාපන්දු සම්මාන පිරිනැමීම සිදුවිය. 2007න් පසුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හා ලයනල් මෙසී පස්වතාව බැගින් මේ සම්මාන දිනා ගත්හ.

ලූකා මොඩ්රික් වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ලබද්දී පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ දෙවැනි ස්ථානයට, ලෝක කිරුළ දිනාගත් ප්‍රංශයේ ඇන්ටෝනියෝ ග්‍රෙයිස්මෑන්, එරටේම කයිලීන් මාපේ හා ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී පස්වැනි ස්ථානය දක්වා පෙළගස්වා තිබිණි.

නව අදහස දක්වන්න