නවසීලන්ත පළමු ඉනිම ලකුණු 274යි | දිනමිණ

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 274යි

පාකිස්තානය සමග ඩුබායිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ පෙරවරුවේ ලකුණු 274කට දැවී ගියේය.

ලකුණු 229කට කඩුලු 7ක් දැවී තිබියදී ඊයේ තරගයේ දෙවැනි දිනය ඇරැඹු නවසීලන්තයට අවසන් කඩුලු 3 සඳහා තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 45ක් පමණි.

බී.ජේ. වොට්ලින් නොදැවී ලකුණු 42ක් ලබාසිටියදී ඊයේ දිනය ඇරැඹු අතර ඉනිම නිමාවනතෙක් කඩුල්ල රැකගත් ඔහු තවත් ලකුණු 35ක් එක්කර ගත්තේය. පන්දු 250ක් වැයවූ ඔහුගේ ඉනිමට එක්වූයේ හතරේ පහර 4ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස විලයම් සමර්විල් (12) ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අතර අජාස් පටෙල් ලකුණු 6කටත්, ට්‍රෙන්ට් බෝල්ට් එක් ලකුණකටත් දැවී ගියහ.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියාවූ නායක කේන් විලියම්සන් පන්දු 176කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 89ක් රැස් කළ අතර ජිත් රාවල් ලකුණු 45ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී බිලාල් අසීෆ් ලකුණු 65කට කඩුලු 5ක් දවාගත් අතර යසීර් ෂා ලකුණු 75කට කඩුලු 3ක් බිඳ දැම්මේය.

නව අදහස දක්වන්න