පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූලව නිවැරදි තීරණයක් ජනපති ගෙන තිබෙනවා | දිනමිණ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූලව නිවැරදි තීරණයක් ජනපති ගෙන තිබෙනවා

උපාලි කරුණාරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ව්‍යවස්ථානුකූලව ඉතා නිවැරදි තීරණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබෙන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන ජනතා විමුක්ති පෙරමුණ කුමක් කීවත් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණ සඳහා ඉල්ලීම වැළැක්වීම, නාමල් රාජපක්ෂ මහතාට මෑතකදී ජනාධිපතිවරණයට ඉල්ලීම වැළැක්වීම, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් දේශපාලනයට පිවිසීම වැළැක්වීමද 19 සංශෝධනයේ අරමුණ වූ බව අභයතිස්ස හිමියෝ පැවසූහ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ ප්‍රකාශ කළේ ඊයේ(04) එළිය සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අභයතිස්ස හිමියෝ-

ජනාධිපතිවරයා විසින් පත් කිරීමට කටයුතු කළ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පිළිබඳව 03 දින ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලබා දුන්නා. ජනාධිපතිවරයා සතු අභිමතානුසාරී බලය අනුවයි පසුගිය දා අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කළේ. පාර්ලිමේන්තුවද පසුගියදා ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබුවා. මේ පිළිබඳවද නඩුවක් උසාවියේ පවතිනවා. මෙම නඩුවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නිවැරදි යයි තීරණය කළ හොත් කුමක්ද සිදු වන්නෙ. 122ක අත්සන් ලේඛණය හිටපු මන්ත්‍රී අත්සන් ලේඛනයක් වෙනවා. මේ දිනවල ගත් බොහෝ තීන්දු නිශ්ප්‍රභ වෙනවා.

අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා කාරණා කීපයක්. එකක් තමයි ජනාධිපතිවරයා සතු බලතල. මෙය තිස්තුන වගන්තියේ තිබූ අතර 19 සංශෝධනයේදී මෙය සංශෝදනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය කියා සඳහන් වෙනවා. විධායකයට බලය ඇති බව එමගින් ප්‍රකාශ වෙනවා. හැත්තෑව එක වගන්තිය පිළිබඳවද කතා බහ කෙරෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු හතර හමාරක් වනකම් ජනාධිපතිවරයාට බලය නැහැ කියා සඳහන් කරනවා. ‘පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්විම සඳහා නියම කරණු ලැබූ දිනෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.‘ මෙය තිබෙන්නෙ පාර්ලිමේන්තුවේ එහෙමත් නැත්නම් ව්‍යස්ථාදායකයේ කාර්යය පටිපාටිය කියන තැනට අදාළවයි. මෙය සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලතල පිළිබඳව මේ වන විට තර්කයක් ඇතිවී තිබෙනවා.

ජනාධිපතිතුමාට මේ අවස්ථාවේ වගකීම් රාශියක් තිබෙනවා. ව්‍යවස්ථාපිතව ජනාධිපතිවරයාට දී තිබෙන බලය ක්‍රියාත්මක කර ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය භාවය ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොදින් අධ්‍යනය කරන්න කියා මම සැමට ආරාධනා කරනවා.

නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ-

මේ වන විට පවතින්නෙ ජනතාවාදී බලවේග සහ ජනතා විරෝධී බලවේග අතර තිබෙන ගැටලුවක්. ජනතා විරෝධී බලවේග මැතිවරණයට බයයි. අප සිටින්නෙ ජනතාවාදී බලවේගයත් සමග. රටට ආදරය කරන කොට්ඨාශය සමඟයි අප සිටින්නෙ.

පසුගිය කාලයේ කලාකරු වේශයෙන් එක්තරා කණ්ඩායමක් ජනතාව නොමග යවන්න කටයුතු කළා. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ කොන්ත්‍රාත් කරුවන් ලෙස ක්‍රියාත්මක වුණා. මොවුන් රට ගැන නොසිතා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඩොලර් කියා සිතනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව සුභවාදී නඩු තීන්දුවක් ලැබෙයි කියා අප විස්වාස කරනවා.

ප්‍රවීන කලාකරු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා-

රටට විපතක් වු අවස්ථාවේදී කලාකරුවන් වන අපි දේශපාලනය පිළිබඳව කතා කරනවා. රට අර්බුධයට පත් වන්නෙ පසුගිය ඔක්තෝම්බර් 26 දින නොවේ. රටේ අර්බුධය ආරම්බ වන්නෙ 2015 ජනවාරි 09 දිනයි. එදා පත්වූ අගමැතිවරයාගේ බහුතරය පිළිබඳව කවුරුත් ප්‍රශ්න කළේ නැහැ.

ඊළඟට ආසන 16ක් පමණක් තිබෙන දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පක්ෂ නායකත්වය ලබාදීම, ආසන හයක් පමණක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ සංවිධායකකම ලබාදීම පිළිබඳව කවුරුත් අර්බුධ ඇති කළේ නැහැ. රට ඉදිරියට යා යුතු නිසා නිශ්ශබ්දව සිටියා. මහ බැංකුව මංකොල්ල කාපු දවසේ නොවෙයිද අර්බුධය මතුවුණේ. මේ පිළිබඳව තවත් කාරණා ගණනාවක් දැක්විය හැකියි.

ඡායාරූපය- තුෂාර ප්‍රනාන්දු

නව අදහස දක්වන්න