ලොව වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව | දිනමිණ

ලොව වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව

මැරතන් ශූර කිප්චෝජ් දුර පැනීමේ ශූරී ඉබාර්ග්වෙන්

කේන්යාවේ මැරතන් ශූර එලූඩ් කිප්චෝජ් හා කොළොම්බියාවේ දුර පැනීමේ හා තුම් පිම්ම ශූරී කැත්රීන් ඉබාර්ග්වෙන් වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනාගත්හ. මොනෑකෝ හී ඊයේ පැවැති ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මේ සම්මාන ප්‍රදානය සිදුවිය.

ඔලිම්පික් ශූරයකු වන 34 හැවිරිදි කිප්චෝජ් ලෝක මැරතන් තරග වාර්තාව උසුලන අතර පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති බර්ලින් මැරතන් තරගයේදී පැය 2: 01. 39කින් එම ලෝක වාර්තාව බිහි කළේය. වසර 2014දී බර්ලීන් මැරතන් තරගයේදී කෙන්යාවේ ඩෙනිස් කිමිටෝ පැය 2: 02. 57කින් තබා තිබූ ලෝක වාර්තාව කිප්චෝජ් විසින් බිඳ හෙළන ලදී. මේ වසරේ ලන්ඩන් මැරතන් තරගයේ ජයග්‍රාහකයා බවට පත්වූයේද එලූඩ් කිප්චෝජ්ය. හෙතෙම 2017දී ඉතාලියේ මොන්සා මැරතන් ධාවන තරගයේදී පැය 2: 00. 25කින් තරගය නිම කරමින් ලොව වේගවත්ම මැරතන් ක්‍රීඩකයා බවට පත් වුවද වාර්තා පොතට එක් කිරීමට තරම් ස්ථීරත්වයක් නොමැති බව පසුව ප්‍රකාශ කෙරුණි.

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ හා තුම්පිම්ම යන ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීම කැත්රීන් ඉබාර්ග්වෙන් වසරේ දක්ෂතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය කරා ළගාවීමට ප්‍රධානතම හේතුව වූවාය. 34 හැවිරිදි ඉබාර්ග්වෙන් තුම්පිම්ම ඔලිම්පික් ශූරියවන අතර අවසන් මහා තරග 8කට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවකි. මේ වසරේ ඇයගේ දක්ෂතා අතර තුම් පිම්ම ඉසව්ව මීටර් 14. 96ක් පැනීම වාර්තා වූ වැඩිම දුරකි.

ලෝක මලල ක්‍රීඩා සංගමය මෙහෙයවූ කොන්ටිනන්ටල් කුසලාන තරගාවලියේදී හා මධ්‍යම අමෙරිකා මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ හා තුම් පිම්ම ශූරිය ලෙස ඉබාර්ග්වෙන් මේ වසරේ සම්මානයට පාත්‍ර වූවාය.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස අවසන් වටයට බහමාස් කෙටිදුර ශූරී ෂයුනා මිලර්, බ්‍රිතාන්‍ය කෙටිදුර ශූරී ඩයිනා අෂීර්, කෙන්යාවේ බාධක දිවීමේ ශූරී බියට්රික් චෙප්කෝජ් හා බෙල්ජියමේ සත්ප්‍රයාම ශූරී නෆීස්සාටෝ තියාම් තේරී පත්වූහ.

ප්‍රංශයේ දශ ප්‍රයාම ලෝක ශූර කෙවීන් මෙයෙර්, ඇමෙරිකාවේ මීටර් 60 ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන්, ස්වීඩනයේ රිටි පැනීමේ ශූර ඩුප්ලෑන්ටිස් හා කටාරයේ කඩුලු පැනීමේ ශූර අබ්දර්රහ්මාන් සම්බා අවසන් වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෝ වෙති.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න