පළමුවරට ක්‍රීඩිකාවන්ට සම්මාන | දිනමිණ

පළමුවරට ක්‍රීඩිකාවන්ට සම්මාන

ෆවුස් මොහොමඩ්
මොබිටෙල් ප්‍රධාන විධායක නලීන් පෙරේරා

පාසල් ක්‍රිකට් පිටියේ තවත් පියවරක් ඉදිරියට

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලට ඉහළ ප්‍රතිචාර ලැබෙද්දි ‍පාසල් ක්‍රීඩිකාවන්ටත් ඊට සමාන අවස්ථාවක් ලබාදීමේ අරමුණ ඇතිව දශක 4ක අඛණ්ඩව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන පිරිනමන ප්‍රමුඛතම සම්මාන උළෙලක හිමිකරුවන් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සමග එක්ව මේ වසරේ සිට සම්මාන උළෙලට එම අංශයක් එක් කිරීමට සැලසුම් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘අපිට අවශ්‍ය වුණේ පාසල් ක්‍රීඩකයන්ට වගේම ක්‍රීඩිකාවන්ටත් ජාතික තලයට සේන්දුවීමේ නිවැරැදි වේදිකාවක් තනා දීමයි. කාන්තා ලෝක කුසලාන තරගාවලිය, කාන්තා ආසියානු කුසලාන තරගාවලිය වැනි ජාත්‍යන්තර තරගාවලි අතර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දක්වන දස්කම්වලට සහයෝගය ලබාදීම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන ආයතනයක් වන අපගේත් වගකීමක් හා යුතුකමක් ලෙසයි මා මෙය දකින්නේ.’ මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එසේ අදහස් පළ කළේය.

මේ වනවිට හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, හොඳම පන්දු රකින්නා වශයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන පිරිනමන ආකාරයටම බාලිකාවන් ද විවිධ අංශ යටතේ සම්මානයට පාත්‍ර කිරී‍ම මෙහි අරමුණ බැව් ඔහු කීවේය.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලට සමගාමීව පළාත් මට්ටමෙන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම අත්වැල් බැඳ සිටිති. මෙමගින් ජාතික තලයට පිවිසීමේ විශාල අවස්ථාවක් ඔවුන්ට ලැබෙනු ඇතැයි නලීන් පෙරේරා මහතාගේ විශ්වාසය වී තිබේ.

ග්‍රාමීය පළාත්වල ක්‍රීඩකයන්ටත් දැනට ඉහළ තලයක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත සෙසු පාසල් ක්‍රීඩකයන් හා තරග වැදීමේ අවස්ථාවත්, සිය දස්කම් පෙන්වීමේ අවස්ථාවත් ලැබෙනු ඇතැයි ඔහු කීවේය.

‘ඔවුන් සම්මාන පිරිනැමීමට සළකා නොලැබුවත්, විශිෂ්ට ක්‍රීඩකයන් සමග කරට කර ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබාගන්නත්, ඔවුන්ගේ දස්කම් මුවහත් කරගන්නත් විශාල අවස්ථාවක් ලැබේවි. එම තරග ප්‍රදර්ශනාත්මක තරගාවලියක් ලෙස පැවැත්වුණත් එවැනි අවස්ථාවක් ලැබීමත් ඔවුන්ට විශාල රුකුලක් වේවි කියලා අප විශ්වාස කරනවා.’ ඔහු කියා සිටියේය.

වසර ගණනාවක් පුරා මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදෙමින් සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම ක්‍රීඩාවට දුෂ්කරතා ඇති පාසල් සඳහා සුබසාධන කටයුතු රාශියක් සිදුකර ඇති බවත් නලීන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘ක්‍රීඩකයන් වශයෙන් වෙන් කොට ඔවුන්ට යම්කිසි සුබසාධන කටයුතු සිදුකිරීම නෙවෙයි මං හිතන්නේ අපි කළ යුතුවන්නේ ක්‍රීඩාවට දුෂ්කරතා ඇති පාසල් හඳුනාගෙන එම පාසල්වලට සහයෝගය ලබාදිමයි. අපි දැනටමත් එවැනි කටයුතු රැසකට දායකත්වය ලබාදී තිබෙනවා.’

පසුගිය කාලය තුළ ග්‍රාමීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවන ක්‍රීඩකයන් ප්‍රමාණයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත්, එය ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිවීමට විශාල රුකුලක් බවත් ඔහුගේ අදහස වී තිබේ.

වස‍රේ දැවැන්තම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල ලෙස ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලට මේ වනවිට ජාතික මට්ටමේ අවධානය යොමුවී තිබීම සතුටට කරුණක් බව ද නලීන් පෙරේරා මහතා පැවැසීය.

‘අපේ රටේ දක්ෂතා ඇති දරුවන් රැසක් සිටිනවා. නමුත් අවාසනාවන්ත කාරණාව වන්නේ ඔවුන්ගේ දස්කම් හඳුනාගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොතිබීමයි. නමුත් පාසල් ක්‍රිකට් සංගමයෙත් දායකත්වය ඇතිව පවත්වන ඔබ්සර්වර් -මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල නිවැරැදි සැකසුමක් ඇතිව කරන දෙයක්. මෙමගින් ග්‍රාමීය තලයේ ක්‍රීඩකයන්ට පවා ඉදිරියට ඒමට කදිම අවස්ථාවක් ලැබී තිබෙනවා. සම්මානයට ක්‍රීඩකයන් නිර්දේශ කිරීමට පත්කළ විනිශ්චය මණ්ඩලයත් එවැනිම නිවැරැදි සැකස්මකින් යුතුව කටයුතු කරනවා. එය විනිවිද පෙනෙන ස්වභාවයකින් යුතුව කෙරෙනවා. ඒ නිසා සෑම ක්‍රීඩකයකු සම්බන්ධයෙන්ම අවධානය යොමුවෙනවා. දස්කම් ඇති ක්‍රීඩකයන් ඒනිසාම මඟ හැරෙන්නේ හෝ අවධානයට ලක්නොවීමක් හෝ සිදුවන්නේ නැ.’ නලීන් පෙරේරා මහතා සඳහන් කළේය.

‘ඒ කාලයේ වගේ නෙවෙයි දැන් ක්‍රිකට් ක්‍රීඩාව සෑහෙන දුරට වෘත්තිය මට්ටමකට ඇවිත් තිබෙනවා. මේ සම්මාන උළෙලේදි ගෞරවයට පාත්‍රවන ක්‍රීඩකයන්ට සම්මාන පමණක් නෙවෙයි රැකියා අවස්ථා ලැබීමේ පසුබිමකුත් නිර්මාණය වෙලා තිබෙනවා. එමගින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කරගැනීමේ අවස්ථාවත් ලැබී තිබෙනවා.’ ඔහු කියා සිටියේය.

‘සමාජ වගකීමක් ඇති සමාගමක් විදිහට අපේ අරමුණ ක්‍රීඩාව තුළින් නිරෝගිමත් අනාගත පරපුරක් බිහි කරලීමට දායකත්වය ලබාදීමයි. අප ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙවෙයි, රග්බි, මළල ක්‍රීඩා වැනි ක්‍රීඩා අංශවලටත් අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඒ සමාජ සත්කාරකත්වයට අත්වැල සපයනවා. අප මේ කර්ත්‍යවයෙන් විශාල සතුටක් ලබනවා වගේම සෑහීමකටත් පත්වයි සිටින්නේ. ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලට තවත් වසර ගණනාවකට දායකත්වය ලබාදීම අපේ බලාපොරොත්තුවයි.’ ඔහු සඳහන් කළේය.

ඡායාරූප-විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න