පෙරළිකාර යුද හමුදා ක්‍රීඩකයෝ අද හැව්ලොක්ස් පිල සමඟ සටනට | දිනමිණ

පෙරළිකාර යුද හමුදා ක්‍රීඩකයෝ අද හැව්ලොක්ස් පිල සමඟ සටනට

ෆවුස් මොහොමඩ්

ප්‍රබල සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවමින් පසුගිය සතියේ පෙරළිකාර ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සිය ජයග්‍රාහී ගමන් මගේ තව දුරටත් ඉදිරියට යමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4ට එක්වීමේ බලාපොරොත්තුවෙන් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග යටතේ අද (7) නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග රත්මලානේදි තරග වදී.

පසුගිය සතියේ සී.එච්.පිලට එරෙහිව ලකුණු 24-18ක ජයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන අත්කරගැනීමට යුද හමුදා පිල සමත්වෙද්දී එතෙක් සිවුවැනි තැන පසුවූ සී.එච්.පිලට 6 වැනි ස්ථානය දක්වා පසුබෑමට සිදුවිය. පසුගිය සතියේදි ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු43-25ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැනට පත්වූ නැවියන් අද තරගයේදි සිය ස්ථානය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වෙයි.

මේ සතියේ පැවැත්වෙන තරග අතරින් වඩාත් අවධානයට ලක්වූ තරගය බවට පත්වී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව දෙවැනි තැනට පත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර හෙට (8) සී.ආර්.පිටියේ පැවැත්වෙන තරගයයි. පසුගිය සතියේ මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු41-30ක පරාජයක් විඳ ගත් එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි සී.ආර්.පිල තුන්වැනි තැනට ඇද වැටුණු අතර හෙට තරගයේදි හැව්ලොක්ස් පිලේ අපරාජිතභාවය බිඳ දමා නැවත දෙවැනි ස්ථානය උදුරා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටී.

අපරාජිතව පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජය අනිද්දා (9) සී.එච්.පිල සමග නිත්තවෙලදී තරග බිමට එක්වන්නේ සිය ස්ථානය තවදුරටත් රැක ගැනීමේ අරමුණ ඇතිවය. මෙවර තරගාවලියේ අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත්වී ඇති සී.එච්.පිල සිය පළමු තරග 2දී සී.ආර්.පිල සහ හැව්ලොක්ස් පිල හමුවේ එක් ලකුණකින් බැගින් පරාජයට පත්වූ සී.එච්.පිල පසුගිය සතියේදි යුදහමුදා පිල වෙතින් අනපේක්ෂිත පරාජයක් අත්විඳ ගත්තේය.

ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණපා සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය එදිනම පස්වරුවේ පොලිස් පිටියේදි තරග බිමට එක්වන්නේ තරගාවලියේ පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙනි. ‍

මේ අතර පසුගිය සතියේ රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති ගුවන් - නාවික තරගයෙන් පසුව පැති විනිසුරු අනිල් මංගල මහතාට නාඳුනන පිරිසක් පහරදීමේ සිදුවීම හේතුවෙන් ගුවන්හමුදා පිල සහභාගි වන තරග සහ රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැත්වෙන තරග වර්ජනය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සහ තීරකවරුන්ගේ සංගමය තීරණය කළ ද රග්බි ආයතනය ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කිරිම හේතුවෙන් සමථයකට පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අදහස දක්වන්න