එජාපය බලයට ආපු හැමවිටම ජනමතයට ඉඩ දුන්නේ නැහැ | දිනමිණ

එජාපය බලයට ආපු හැමවිටම ජනමතයට ඉඩ දුන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි හැම අවස්ථාවකම සිදු කළේ ජනමතයට ඉඩනොදීම බව ජනතා සේවක පක්ෂයේ සභාපති නිලන්ත හේරත් මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ මහජන පුස්තකාලයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

අධිකරණ ක්‍රියාවලිය මඟින් ලබා දෙන මතය විවේචන කළ නොහැකි කියනවා නම් එය සාධාරණ නැහැ. ව්‍යවස්ථාව , විධායකය , අධිකරණය පවතින්නේ රට පවතිනවා නම් විතර යි. විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය ගන්නා තීරණය මඟින් රට ඉතිරි වනවාද නැද්ද යන්න කල්පනා කළ යුතු යි. එසේ නොවුණහොත් රටට එම ආයතන 03ත් නැතිව යනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළාට රටේ මිනිස්සු 60% ක් 70%ක් පමණ එකඟ යි.

අපේ රටේ බලයට පත් වන ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ ගැටලුවක් තිබෙනවා. යම් පමණකට හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනගියේ මහින්ද රාජපක්ෂ කාල සීමාව යි. එක්සත් ජාතික පක්ෂය බලයට ආ හැම අවස්ථාවකම කළේ ජනමතය නැවැත්වීම සඳහා කටයුතු කිරීම යි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මා.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම නතර කරන්න කියනවා. මේ කුමන්ත්‍රණයට අසු නොවී මහ මැතිවරණයකට පෙළ ගැසිය යුතු යි. ඒ සඳහා පෙළගැසී සිටින ජනතාව ඉදිරියටත් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා. එසේ නොමැතිව මේ ප්‍රශ්නය විසඳිය නොහැකි යි.

ජනතා සේවක පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා මහතා ,

රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී බලයට පැමිණීමෙන් පසුව මේ රටේ ජනතාව නැත්තටම නැති වන ආකාරයට දිගින් දිගටම කටයුතු කළා. මේ වන විට ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන්නට රනිල් ඇතුළු බටහිර බලගැති අය කටයුතු කරමින් සිටිනවා.

ජවිපෙ පිරිසත් එයට සතුටින් එකතුවී කටයුතු කරමින් සිටිනවා.

රනිල් පක්ෂයටවත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කළේ නැහැ. ඒ නිසා එජාප තුළින්ම ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තත්ත්වකට කටයුතු කළා.

රනිල් ඇතුළු කණ්ඩායම රට ආර්ථික අගාධයකට ගෙන ගියා. මේ වන විට ඩොලරය 182 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. එය රනිල් ඇතුළු ද්‍රෝහී කණ්ඩායමට නොදැනෙන්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාවට , දරුවන්ට බලපානවා. රටේ ඇති වී තිබෙන ව්‍යවස්ථා අර්බුදය සාමකාමීව විසඳීමට අවශ්‍ය නැති තත්ත්වයට රනිල් ඇතුළු කල්ලිය පත් වී තිබෙනවා. ආසියානු කලාපීය රටවල අධිකරණ තීන්දු නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ඇති වී තිබෙන තත්ත්වය අපි දන්නවා. ලංකාවට ඇති වන්නේත් ඒ දේම ද? මෙය දැවැන්ත කුමන්ත්‍රණයක් නොවේ ද? රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, ඒකීයතාවය, ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකර බටහිර රාජ්‍යයන්ගේ උවමනා පරිදි කටයුතු සිදු වෙනවා. මෙය මෙහෙය වන්නේ රනිල් ඇතුළු කල්ලිය යි.

රටක නීතිය, ව්‍යවස්ථාව නිර්මාණය විය යුත්තේ රටේ ස්වාධීනත්වය ජනතාවගේ සුබසිද්ධිය සඳහා යි. 2015 බලයට ආපු රනිල් ඇතුළු කණ්ඩායමට එම ව්‍යවස්ථාව දැඩි ලෙස වෙනස් කීරීමට අවශ්‍ය වුණා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආ විගස මෙය සම්මත කර ගැනීම සඳහා කටයුතු කළා. එහි ප්‍රතිඵල අද අත්විඳින්නට සිදු වී තිබෙනවා. මහබැංකුව මංකොල්ල කාලා ආර්ථික අර්බුදය ඇති කර දැන් ව්‍යවස්ථා අර්බුදයක් ඇති කිරීමට ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට ජාතික ප්‍රශ්නයක් ආරම්භ වී තිබෙනවා. පොලිස් නිලධාරීන් 02 ක් ඝාතනය කළා. එසේ ඝාතනය කිරීමට ශක්තිය හිමි වුණේ පසුගිය වසර 03 තුළ ඇති වී තිබූ පසුබිම නිසයි. අද ටී.එන්.ඒ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හොර එකඟතාවලට ඇවිත් තිබෙනවා. එහි ප්‍රතිඵල දකින්නට හැකි වන්නේ දින කිහිපයකින් පසු නඩු ප්‍රතිඵල ලැබුණාටත් පසුව යි. මේ හොර සාකච්ඡා රටට හෙළි කළ යුතු යි. ටී එන් ඒ කියනවා ඔවුන්ගෙන් අහන්නේ නැතිව උතුර නැඟෙනහිර කිසිදු කටයුත්තක් සිදුකරන්න බැහැ යි කියලා , උතුර නැඟෙනහිර ඒකාබද්ධ කරන්න යැයි කියලා. එජාපයට ඔවුන් සහය දෙනවා කියන්නේ මේ කොන්දේසි උඩයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ එකඟ වී තිබෙන කොන්දේසි අනුමත කරනවා ද? මේවා රටට හිතකර කොන්දේසි ද කියා මේ රටට ආදරේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අහනවා. ටී එන් ඒ සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ඇති කර ගත් එකඟතාව මේ රටට හෙළි කළ යුතු යි.

පාර්ලිමේන්තු සැසිවාර කැඳවන විට වැඩිපුරම විදේශ තානාපතිවරු පැමිණියේ පසුගිය දිනවලදී යි. මොවුන් රටේ ප්‍රශ්නවලට මැදිහත් වීම සිදු වුණා. 1965 දෙසැම්බර් 21 ප්‍රඥප්තියට අනුව රටට බලපෑම් කළ නොහැකියි කියා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ 07 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් පැමිණෙන්ට නියමිත බව පවසනවා. එසේ පැමිණියහොත් එයට අපගේ උපරිම විරෝධය දක්වන්නට කටයුතු කරනවා. ලිට්රෝ ගෑස් ආයතනයෙන් 58 දෙනෙක් ට මුදල් ලබා දී තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ දඹර අමිල හිමියෝ උපවාස කර මැරෙනවා කිව්වා. දැන් ඉතින් සිදු කරගන්න වෙන්නේ අපවත් වන එක තමයි. ජනාධිපතිතුමා කියා තිබෙනවා 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මේ මහජන මුදල් එක් ආයතනයකින් පමණක් ලබා දුන් මුදලයි. තව මේ ආකාරයට කොපමණ ආයතන විසින් මුදල් වියදම් කර තිබෙනවාද කියා රටට හෙළි කල යුතු යි. එම මුදල් පරිහරණය කළ අය නීතිය හමුවට ගෙන ආ යුතු යි.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඒ මහතා ,

19 වන ව්‍යවස්ථා සංශෝධනය 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා රවට්ටා සම්මත කර ගත්තා.

එහි සිංහල පරිවර්තනයේ සහ ඉංග්‍රීසි පරිවර්තනයේ ගැටලු පවතිනවා. මෙය කඩිමුඩියේ සිදු කරගත් දෙයක් බව ඉන් පැහැදිලි වෙනවා. ව්‍යවස්ථාදායකයේ අර්බුදය ඇති කළේ රනිල් ඇතුළු එජාප ආණ්ඩුව යි.

සිංහල ජාතික භාෂාව ලෙස නීතිපතිතුමා විසින් ද පැහැදිලි විග්‍රහයට ගත්තේ සිංහල පරිවර්තනය යි. ජනාධිපතිතුමාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ. එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවෙන් පමණ යි.

චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න