දොඩම්ගොඩ මූල්‍ය ආයතනයක හිමිකරු කෝටි 700ක් අරන් පනී | දිනමිණ

දොඩම්ගොඩ මූල්‍ය ආයතනයක හිමිකරු කෝටි 700ක් අරන් පනී

කළුතර මධ්‍යම සමූහ

කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මූල්‍ය සමාගමක් හදිසියේ වසා දමා එහි හිමිකරු අතුරුදන්ව ඇති අතර ඔහු රටින් පැන යන්නට ඇතැයි රුපියල් කෝටි 700කට අධික මුදලක් එහි තැන්පත් කර ඇති තැන්පත්කරුවෝ සැක පළ කරති.

වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මූල්‍ය ආයතනයෙන් වැඩි පොලී අනුපාතයක් ලබාගැනීමට කැමැත්තෙන් ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරින්, පොලිස් නිලධාරින් හා මාධ්‍යවේදීන් ද ඇතුළු විශාල පිරිසක් මුදල් තැන්පත් කර තිබූ බව කියති.

පසුගිය දින කිහිපය තිස්සේම වසා දමා තිබූ මූල්‍ය ආයතන භූමියට එක්රැස් වූ තැන්පත්කරුවන් දොඩම්ගොඩ පොලිස් ස්ථානයට, කළුතර පොලිස් අධිකාරි කාර්යාලයට සහ මතුගම පොලිස් අධිකාරි කාර්යාලයට කොටස් වශයෙන් පැමිණිය ද ඊයේ (6) වනතුරුත් පොලිසියට විධිමත් පැමිණිල්ලක් සිදුකර නැති බව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා කීය.

තැන්පත්කරුවන් අතර විශ්‍රාමිකයන්ද සිටින අතර තවත් පිරිසක් බදු දැලට හසුවෙතැයි බියෙන් නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් ‍නොවන බවද දැනගන්නට ඇත.

තවත් තැන්පත්කරුවන් පිරිසක් මූල්‍ය ආයතන භූමියේ ගාල්කර තිබූ වාහන හා මූල්‍ය ආයතනය තුළ තිබූ භාණ්ඩ රැගෙන ගොස් අතැයි දැනගන්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිවකු පැමිණිලි කර නැති බව පොලිසිය කියයි.

නව අදහස දක්වන්න