ළමා ක්‍රීඩාපිටිය ඉවත්කිරීමේ ජවිපෙ යෝජනාවට විරුද්ධයි | දිනමිණ

ළමා ක්‍රීඩාපිටිය ඉවත්කිරීමේ ජවිපෙ යෝජනාවට විරුද්ධයි

මත්තේගොඩ කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති එකම ළමා ක්‍රීඩාංගණය නැති කර එම ක්‍රීඩා පිටියේ වෙනත් ඉදිකිරිමක්,ඉදිකිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීම පිළිබඳව මත්තේගොඩ ජනතාවගේ විශාල විරෝධයක් පවතින බව මත්තේගොඩ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක ශ්‍රීනාත් මහතා (පො ජ පෙ) පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේ දීය.

රැස්වීම සභාපති සම්පත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විය. මෙහිදී අසංක ශ්‍රීනාත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය, කලාකරුවන්ගේ ඉල්ලීමක් කියලා කිසි දිනක අහලවත් නැති නම් කීපයක් සමග ලිපියක් සභාවට ඉදිපත් කර ජනතා විමුක්ති පෙරමුණ මුදල් වෙන් කරගෙන තිබෙනවා මත්තේගොඩ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පවතින ළමා ක්‍රීඩාංගණය ඉවත් කර එහි එළිමහන් රංග පීඨයක් ඉදි කිරීමට. මත්තේගොඩ කලා කරුවන් රැසක් සිටියත් ඒ කිසිම කලාකරුවකු මෙවන් ඉල්ලීමක් කර නැති බවට අපවෙත ලිඛිතව දන්වා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ බොහෝ වේලාවට කුඩා දරුවන් ක්‍රීඩා කරමින් නිතර දෙමාපියන් ඇතුළු බොහෝ දෙනෙකු සිටින ළමා ක්‍රීඩා පිටිය ඉවත් කර එහි එළිමහන් රංග පීඨයක් ඉදි කළ පසු එම ස්ථානයට ජනතාව නොරැදෙන පාළු ස්ථානයක් බවට පත්වෙනවා. පසුව එම ස්ථානයේ සිට ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් පැවැත්වීමේ ස්ථානයක් කර ගැනීමට සැලසුම් කර ඇතිබව දැන ගන්නට තිබෙනවා. මෙවැනි පටු අරමුණු ඉටු කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීම පිළිබදව කණගාටුවෙනවා.

අනුර බමුණුආරච්චි මහතා (ජ විපෙ) - කලාකරුවන් වෙනුවෙන් මත්තේගොඩ සැලසුම් කර තිබු රංග පීඨය ඉදි කිරීමට විරුද්ධව අසංක ශ්‍රීනාත් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවට අප පක්ෂයේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. මත්තේගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටි රැසක් තිබෙනවා. එම ක්‍රීඩා පිටි සියල්ලම වාගේ වල්ගස් සැදී කැලෑ බවට පත්වෙලා. මත්තේගොඩ ප්‍රදේශයේ ජනතාව එයට විරුද්ධනම් අප එය ඉවත් කර ගන්නවා. සම්බන්ධයෙන් සභාව තුළ ඡන්ද විමසීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා.

සභාපති සම්පත් ජයසිංහ මහතා - අක්කර තුනක් පවතින හෝමාගම පැරණි බස් නැවතුම් පොළ භූමිය නැවත ප්‍රාදේශීය සභාවට පවරා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. දැනට හිස් භූමියක් ලෙස පවතින මෙම භූමියේ සභාවට පවරා දීමෙන් පසු ජනතාවට වඩා වැදගත් සේවාවන් රැසක් ලබා දීමට හැකි වෙනවා.

සභාවේ විවිධ කම්කරු තනතුරු සඳහා බදවා ගත් විශාල පිරිසක් එම කම්කරු සේවාවේ කටයුතු වලට යොදවා නැහැ. එම පිරිස් සභාවේ ලිපි කාරසේවයට යොදා ඇති නිසා, කම්කරුවන් සිදු කළ යුතු සේවාවලට යෙදවීමට කම්කරුවන් නොමැති විම නිසා සභාව මගින් සිදු කරනු ලබන මාර්ග සංවර්ධන සහ කසළ බැහැර කිරීම් සේවාවන් පවත්වාගෙනයෑම අපහසු වී තිබෙනවා. මෙයට කඩිනම් විසඳුමක් දීමට සිදු වෙනවා.

නීලකාන්ති සමරවික්‍රම මහත්මිය (එ ජනි ස ) - සභා බල ප්‍රදේශයේ යම් පොදු සේවාවන් වෙනුවෙන් යෝජනාවක් දුන් විට සභාවට එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් පසු නිලධාරීන් විවිධ නීති තර්ක කියා වැඩේ නොකර ඉන්නවා. නිලධාරීන් වැටුප ගෙන ටික කලක් එක් කාර්යාලයක සේවය කර ස්ථාන මාරුවිම් ලබා යනවා, මහජන නියෝජිතයන් එසේ නැහැ, සෑමදා ගම රට වෙනුවෙන්සේවය කරන්නට සිටින පිරිසක් බව බොහෝ නිලධාරීන්ට අවබෝධයක් නැහැ. ගමක නගරයක ප්‍රශ්නයක් ඇති වුවිට ජනතාව එම ප්‍රශ්නය කියන්නට නිලධාරියකුගේ නිවසකට යන්නේ නැහැ, යන්නේ කිසියම් දේශපාලන පක්ෂයක මහජන නියෝජිතයකුගේ නිවසකට පමණයි.

හෝමාගම විල්ප්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය සභාවේ ලක්ෂ ගණනක මුදලක් වැය කර අලුත් වැඩියා කටයුතු කර දින කීපයකින් ජනෙල්,දොරවල් කැඩිලා, විදුලි පංකා ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙසේ තිබියදීත් මුදල් ගෙවීම් සිදු කරලා තිබෙනවා. මේ සභාවේ මන්ත්‍රිවරයෙක් සිටිනවා තමන්ම අයිති නැති ප්‍රදේශවලට හොරෙන් පැමිණ මාර්ගවල අඟල තිබෙනවා ද කියලා බලන. ඒ මන්ත්‍රීවරයාට කියා සිටිනවා මෙවැනි කටයුතු පිළිබඳව සොයන්න කියලා.

අරුණ රංවල මහතා (ජ විපෙ) - හෝමාගම විල්ප්‍රඩ් සේනානායක ක්‍රීඩා පිටියේ රාත්‍රි කාලයට විවිධ අපචාර සිදු වෙනවා. මෙම ක්‍රීඩාංගණයට සභාව මගින් ආරක්ෂාවට මුරකරුවන් සේවයට යොදා ඇතත් එම සේවකයන් සිටින්නේ නැති බව එහි ගිය විට දැකගන්නට ලැබුණා.සභාවේ පරිපාලනය භාරව සිටින නිලධාරීන් මේ පිළිබඳව සොයා බැලිය යුතුයි.

නීතිඥ අජිත් මාතරආරච්චි මහතා (පොජ පෙ) -

රට සුරපුරයක් කරනවා කියලා බලයට පැමිණි යහපාලන ආණ්ඩුව රට විනාශයෙන් විනාශයට පත් කළා. නැවතත් ඒ පිරිසට බලය ගෙන ඒමට ජ විපෙ යි ටී එන්ඒ එකයි ලොකු උත්සාහයක යෙදි සිටිනවා. ජවි පෙ මේ කරන්නේ එමඟින් හෝ බලයක් ගැනීමට උත්සාහ කිරීමක් කියලා පෙනෙනවා. අද එ ජා ප යයි, ජ වි පෙ මහ මැතිවරණයකට යෑමට විශාල බියක් පවතිනවා ඒ ඉදිරියේ පවතින මැතිවරණයකින් අන්ත පරාජයක් අත් වෙන බව දන්නා නිසායි.

වසන්ත මාතරගේ මහතා (පො ජ පෙ) -

පිටිපන කොළඹිහේන වත්තේ දැනට අතහැර දමා ඇති සභාවට අයත් ගොඩනැගිල්ල පිරිසුදු කර ප්‍රදේශයේ විවිධ ස්ථනවල සිට සේවය සිදු කරන රජයේ නිලධාරීන් සියලු දෙනා එම ගොඩනැගිල්ල ගෙන්වා සියලු නිලධාරීන්ගේ කාර්යාලය බවට පත් කිරීමට සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

රේණුකා ලියනගේ මහත්මිය (ජ වි පෙ) -

සභා බල ප්‍රදේශයේ පවතින කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා හිස් භූමිවල එළවළු සහ පලතුරුවගා කිරීමේ වැඩසටහනක් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සභාවටයෝජනා කර සිටිනවා. අද බොහෝ දෙනෙකු වගා කිරීමට කැමැත්තක් ඇතත් එයට භූමියක් නොමැති නිසා එය සිදු වන්නේ නැහැ.මෙම වැඩ පිළිවෙල ආරම්භ කිරීමට හැකි වන්නේ නම් වගා කිරීමට බොහෝ දෙනෙකු සහභාගි කර ගැනීමට හැකි වෙනවා.

ලාල් මහින්ද මුණසිංහ මහතා ( එ: ජා:ප:) -

බොහෝ අයට ගෙවතු වගාවන් කරන්නට ගන්නේ එළවළු මිල ඉහළ ගිය විටයි. එළවළු මිල

පහළ බසින විට ගෙවතු වගාව කරන්නේ නැහැ. ගෙවතු වගාවන් කිරීමට සැම රජයක්ම ජනතාවට විවිධ එළවළු පලතුරු පැළ ලබා දුන්නත් ඒ පිළිබඳව ඊට සම්බන්ධ නිලධාරීන් පසු විපරමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා ගෙවතු වගා වැඩසටහන් බොහෝ අවස්ථාවල අසාර්ථක වී පවතිනවා.

මංජුල හිරිපිටිය හෝමාගම සංචාරක, ජිනදාස ගමගේ හෝමාගම විශේෂ

නව අදහස දක්වන්න