යල කන්නයට අතිරේක ජල පහසුකම් | දිනමිණ

යල කන්නයට අතිරේක ජල පහසුකම්

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

2018/2019 මහ කන්නයේ වී වගාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මාස් මෝසම් වැසි නිසි ආකාරයෙන් ලැබීම නිසා සියලු වැව් ඉහළ ජල ධාරිතාවයකින් යුතු වන බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙයි.

ඒ නිසා 2019 යල වී සහ අතුරු බෝග වගාව සාර්ථක කරගැනීමට අතිරේක ජල පහසුකම් සලසාදීමට හැකිවන බවද වාරිමාර්ග නිලධාරිහු සඳහන් කරති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාස් කන්නයේ වී සහ අතුරු බෝග වගාව තවමත් සිදුකෙරෙමින් පවතී. පසුගිය දිනවල පැවති ටී. එස්. පී. සහ එම්. ඕ. පී. පොහොර හිඟය මේ වන විට සම්පූර්ණයෙන් නිම වී ඇති අතර, දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 41 අතරින් මධ්‍යස්ථාන 25ක පොහොර තොග වලින් 80%ක් මේ වන විට ගොවීන් විසින් කිලෝ 50 මිටිය රු.500 බැගින් වන සහනාධාර මිලට මිලදී ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මීට පෙර රු.1,500 බැගින් විවෘත වෙළෙඳපොළේ අලෙවි කළ සහනාධාර පොහොර මිටියක මිල රු.1,000ක් දක්වා රජය මඟින් මෑතකදී අඩු කළද බොහෝ වෙළෙඳුන් එම මිලට ගොවීන්ට පොහොර අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම් පිළිබඳ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට හා අනුරාධපුර දිසාපතිවරයා වෙත වාර්තා වී ඇත.

මෙම මහකන්නය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව හෙක්ටයාර් 126,000 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. දිගු නියඟය සැලකිල්ලට ගෙන මෙම මහ කන්නයේ වී වගාව හෙක්ටයාර් 120,000 කට සීමා කිරිමට මීට පෙර සැලැසුම් කොට තිබුණි. ඉතා උද්යෝගයෙන් මේ වන විට අනුරාධපුර ගොවිජනතාව වී වගාව සඳහා යොමු වී සිටින බව පැවසූ අනුරාධපුර දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ඇතැම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වලට ගොවීන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා අතිරේක පොහොර තොග ලබාදීමට සිදු වි ඇති බවද සඳහන් කළේය. 2018/2019 මාස් කන්නය තුළ දිස්ත්‍රික්කය තුළින් මෙ.ටො. 400,000 ක පමණ වාර්තාගත වී අස්වැන්නක් ලැබෙතැයි අපේක්ෂා කරන බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න