රුසියාවෙන් ගෙනා පිළිකා ඖෂධ 2න් බිලියන 3.8ක පාඩුවක් | දිනමිණ

රුසියාවෙන් ගෙනා පිළිකා ඖෂධ 2න් බිලියන 3.8ක පාඩුවක්

නුවන් කොඩිකාර

ජීවිත හානිය තක්සේරු කරන්නත් බෑ

රුසියාවෙන් ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ට්‍රස්ටුසුමැබ්, බ්‍රස්ටුසුමැබ් පිළිකා ඖෂධ දෙකෙන් පසුගිය වසර දෙකට මෙරටට රුපියල් බිලියන 3.8ක් අහිමි වී ගොස් ඇතැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා මහතා පැවැසීය.

මෙම ඖෂධ දෙක ලොව කිසි සායනයකින් අද්හදාබැලීම් කර නැති බවත්, එවැනි එන්නත් මඟින් සිදු වූ මූල්‍ය පාඩුවට වඩා ජීවිත හානිය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් නොමැති බවත් හෙතෙම කීවේය.

එලෙස මූල්‍ය හා ජීවිත විනාශයන් කළ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවේදී සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව තොරතුරු දැනගත් වහාම සෞඛ්‍ය අමැතිව සිටි චමල් රාපක්ෂ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවත්, එතුමන් අමාත්‍යාංශ ලේකම්වරිය ගෙන්වා ටෙන්ඩර් පටිපාටියෙන් පිට කිසිම ඖෂධයක් ගෙන්වීමට කටයුතු නොකරන ලෙසට උපදෙස් ලබා දුන් බවත් පෙරේරා මහතා පැවැසීය.

මෙම ඖෂධ මාෆියාව පහසු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රූමි මොහොමඩ් නැමැත්තකු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයකට පත් කළ බවද ඒ මහතා කියා සිටියේය.

මීට අමතරව මෙරට නිෂ්පාදනය කළ ඖෂධ වර්ග 23න් 20ක්ම නිෂ්පාදනය කිරීම එවකට සිටී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නවතා දමා, එය සිය හිතවතුන්ගේ පෞද්ගලික ආයතනවලට ලබාදී ඔවුන් හරහා ද යම් යම් වාසි ලබාගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

ඒ මහතා මෙසේද කියා සිටියේය.

ඖෂධ මාෆියාවට ඔවුන් මුලින්ම හසුකර ගත්තේ පියයුරු පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් වූ ‘ට්‍රස්ටුසුමැබ් එන්නත- හර්ටිකැඩ් යන වෙළෙඳ නාමයෙන් ෆර්මාඒස් පුද්ගලික සමාගමට රුසියානු බයෝකැඩ් සමාගම වෙනුවෙන් සපයන්නට ටෙන්ඩරය ලබාදීමෙන්. ඒ මොහොතේ එම ටෙන්ඩර් සඳහා සමාගම් 6ක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ෆර්මාඒස් සමාගම- රුසියානු බයෝකැඩ් වෙනුවෙන් අඩුම මිල ඉදිරිපත් කර තිබුණා. ඒ හර්ටිකැඩ් වෙළෙඳ නමින් ඉදිරිපත් වන ට්‍රස්ටුසුමැබ් එන්නත වෙනුවෙන්. මෙම ‘හරිටිකැඩ්‘ නම් ඖෂධයට රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලැබී තිබෙන්නේ 2016 වසරේ ජනවාරි 20වැනි දා. ඒ පිළිබඳ විස්තර එම ඖෂධය නිෂ්පාදනය කරන බයෝකැඩ් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක දී පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලිජිය වෙත ඉදිරිපත් කර ඇති අදාළ ඖෂධවල සායනික ප්‍රතිපල සහිත නිර්දේශ වාර්තාවක් ලබාගත යුතුයි. ඒ අනුව මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ද එවැනි විමසීමක් කළ යුතුව තිබුණා. නමුත් එය සිදු නොකර අමාත්‍යාංශය ජාතික ඖෂධ පාලන අධිකාරියේ නිර්දේශ මත පමණක් මෙම ඖෂධය ලියාපදංචි කර හර්ටිකැඩ් නියෝජිතයා වූ ෆර්මාඒස් පුද්ගලික සමාගම වෙත ඖෂධ ටෙන්ඩරය ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර තිබූ විවිධ වෙළෙඳ නාමයන්ගෙන් හැදින්වූ ‘ට්‍රස්ටුසුමැබ්‘ එන්නත් පිළිබඳව වෛද්‍ය විදයානුකූල සන්සන්දනයක් පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය සිදු කර ඒ පිලිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් පවා යොමු තර තිබෙනවා. ඒ අනුව ඔවුන් දන්වා සිටියේ හර්ටිකැඩ් ඖෂධය රෝගීන්ට එන්නත් කිරීමට සුදුසු නැත කියායි.

වෛද්‍යවරුන් එලෙස එල්ල කළ විරෝධතා කිසිවක් ගණන් නොගත් මොහොමඩ් රූමි කියන පුද්ගලයා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වුවමනාවට හර්ටිකැඩ් එන්නත් 5000 ක් සඳහා රුපියල් මිලියන 990 ක් වටිනා ටෙන්ඩරයක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඒ අනුව 2016 මැයි සිට මේ වෙන තෙක් එන්නත් 2800 ක් රුපියල් 403,480,000 ක් ගෙවා දේශීය වෙළෙඳ පොළෙන් මිලට ගෙන තිබෙනවා. පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලිජිය හර්ටිකැඩ් එන්නත් සම්බන්ධයෙන් කළ විරෝධය පළ කළ නිසා මොහොමඩ් රූමි ඔවුන්ගෙන් පළි ගන්න පවා කටයුතු කළා. ඒ පුද්ගලයගේ බලපෑම මත එම ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට එරෛහිව විනය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා නිවේදනයක් නිකුත් කරන්න පවා කටයුතු කළා. ඊට අමතරව ශ්‍රී ලංකා කොලීජියේ සභාපතිනිය වන වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය හර්ටිකැඩ් ඖෂධය විවේචනය කිරීමට එරෙහිව දඬුවම් නොකර සිටීමට නම් නිදහසට කරුණු දක්වන ලෙස දන්වා තිබුණා. ඒ විතරක් නෙවෙයි ෆර්මාඒස් පුද්ගලික සමාගමට වෙනත් පිළිකා ඖෂධ ද ඇතුළුව රුපියල් මිලියන 2250ක ටෙන්ඩර ලබාදෙන්නත් මොහොමඩ් රූමි කටයුතු කර තිබුණා.

ඡායාරූපය - සිරිපාල හල්වල


නව අදහස දක්වන්න