අගමැති අපේක්ෂකයා තෝරාගන්න පක්ෂ සමුළුව කැඳවන්න | දිනමිණ

අගමැති අපේක්ෂකයා තෝරාගන්න පක්ෂ සමුළුව කැඳවන්න

එජාප අගමැති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වහාම විශේෂ සම්මේලනයක් කැඳවිය යුතු බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු නියෝජිතයෝ අවධාරණය කරති. එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවධාරණය කරනුයේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට වහා පියවර ගත යුතු බවයි.

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු යැයි තමන් වසර ගණනාවක් තිස්සේ පෙන්වා දෙන නමුත් වසර 24ක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය අතනොහැර සිටින බව පෙන්වා දෙන ඔවුහූ ඒ නිසා අද වන විට එක්සත් ජාතික පක්ෂය කනත්තේ දොර ළගට පැමිණ සිටින බවත් කියති.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට පෙර පක්ෂයේ ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ සම්මේලනයක් පවත්වා අගමැති අපේක්ෂකයා තෝරා ගැනීම වඩාත් සුදුසු කාර්යයක් බවය. 


එජාප අගමැති අපේක්ෂකයා තෝරන්න සම්මේලනයක් කැඳවන්න ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වහාම පක්ෂ සම්මේලනයක් කැඳවන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 24දෙනෙක් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 43දෙනෙක් අත්සන් තබා පක්ෂ මහලේකම්වරයා වෙත යවා ඇති ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සම්මේලනයක් මගින් අගමැති අපේක්ෂකයා තෝරා ගත යුතු බවය. එම ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙසේ අදහස් දක්වති.

ලිච්ඡවී පාලනය කතාවට සීමා වෙලා
- එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හැමදාම කතා කරන්නේ ලිච්ඡවී පාලනයක් ගැනයි. කතාවට සීමා නොකර දැන් පක්ෂය තුළ ලිච්ඡවී පාලනයක් ඇති කළ යුතු කාලය එළැඹිලා කියන එකයි මම විශ්වාස කරන්නේ. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බැහැ. ජනාධිපතිතුමා පවා කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධුරය දෙන්නේ නැහැ කියලයි. ඒ නිසා ඒ පාර්ශ්වය රනිල් හැර විකල්පයක් ගැන කල්පනා කළ යුතුයි. ඒ අය තීන්දුවක් ගන්න ඕනේ රනිල් හැරුණාම වෙන කාටද අගමැතිකම ප්‍රදානය කරන්නේ කියලා.

රනිල් නායකත්වයෙන් ඉවත්විය යුතුයි
- හිටපු නියෝජ්‍ය ඇමැති මන්ත්‍රී එම්. ඩී. ප්‍රේමරත්න

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව අප කියන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයි. වික්‍රමසිංහ මහතා නායකත්වයේ හිටියොත් පක්ෂ කනත්තට ගෙනියන බව අපි කිව්වා. අද වෙනකොට ඒක වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයේ එදා තිබ්බ ප්‍රජාතන්තවාදී ලක්ෂණ සියල්ල විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි.

ඉස්සර ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයේ ඉන්නකොට හැම වසරකම පක්ෂ සම්මේලනයක් තිබ්බා. සම්මේලනය ආරම්භ වුණාම ඩඩ්ලි මහත්තයා මූලාසනයෙන් බැහැලා පහළ පුටුවක වාඩි වෙනවා. තාවකාලික මූලාසනයක් පත්කරගෙන යෝජනා සම්මතයෙන් තමයි නැවත වරක් නායකයා පත්කර ගන්නේ. අන්න එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බ පක්ෂයක් තමයි අද මේ තැනට වැටිලා තියෙන්නේ.

ඒ ක්‍රමවේදය වෙනස් කළේ මට මතක විදියට 1994 වසරේ දි කතරගම පැවැති පක්ෂ සම්මේලනයේදියි. එතැනදි රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනාවක් ගෙනාව රනිල් වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර සිටින තුරුම පක්ෂ නායකත්වයේ සිටිය යුතුයි කියලා. ඒ යෝජනාවට අපි විරුද්ධ වුණා. ඒකට සෘජුවම විරෝධය පළ කළේ සජිත් ප්‍රේමදාස මහත්තයයි. නමුත් සජිත්ට හූ කියලා ඒ යෝජනාව සම්මත කර ගත්තා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපි දහ දොළොස් වතාවක් මේ යෝජනා සම්මත කළා රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයි කියලා. හැබැයි සිද්ධ වුණේ නැහැ. අපි දැන් බලා ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එනකම්. හැබැයි මහ මැතිවරණයක් ආවත් රනිල් පක්ෂ නායකත්වයේ ඉන්නකම් පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

අද එජාපයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජිනෝල්ඩ් පෙරේරා

අද එක්සත් ජාතික පක්ෂයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒක මේ රටේ හැමෝම පැහැදිලිව දන්න දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයට රටවත් ජාතියවත් වැඩක් නැහැ. එයාට අවශ්‍ය සදාකල් පක්ෂ නායකත්වයේ ඉන්න පමණයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම දේශපාලන අරමුණ රට විනාශ වුණත් නායකත්වය ආරක්ෂා කර ගැනීමයි. මගේ අදහස නම් මේ වගේ පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වෙලා තියෙන්නේ රටේම අභාග්‍යයකටයි. මේ රටේ පක්ෂ දෙකම තියෙන්න ඕනේ ඒකේ විවාදයක් නැහැ. හැබැයි හැම පක්ෂයකම අනාගත පරපුරක් හැදෙන්න ඕනේ. එකම කෙනා නායකත්වයේ එල්ලීගෙන ඉන්න ගියොත් පක්ෂය විනාශ වෙනවා.

මම හිතන විදියට සජිත් ප්‍රේමදාස නායකයා විදියට නම් කළොත් මේ අර්බුදය විසඳෙයි. එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය සම්මේලනයක් මගින් තීන්දු කර ගැනීම හොඳ අදහසක්. නමුත් පක්ෂයේ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙත් ඔය වගේ සම්මේලන තියලනේ.

අද දේශපාලනයේ නියැලෙන්නේ දේශපාලනය කරන්න ඕනේ පුද්ගලයන් නෙමෙයි. හොඳ පුද්ගලයන් පක්ෂ දෙකේම ඉන්නවා. හැබැයි ඒ අයව පැත්තකින් තියලා තියෙන්නේ. ජනාධිපතිතුමාට අවශය වුණේ හොඳ ගමනක් යන්නයි. ඒක වැළැක්වුවෙත් ඔය රනිල් වික්‍රමසිංහයි.

ගමේ අයත් රනිල් ප්‍රතික්ෂේප කරනවා
- හිටපු ඇමැති උපාලි සෝමසිරි

අපි විශ්වාස කරන විදියට එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවිය යුත්තෙත් සම්මේලනයක් තුළින් නායකත්වය තෝරාගැනීම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගත්තොත් ඒක තමයි නිවැරැදි හා හොඳම ක්‍රමය. මම රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමේ කෙනෙක්. අපේ ගමේ ජනතාව පවා අද වෙනකොට දරන මතය තමයි රනිල් සිංහල බෞද්ධ පදනම ගැන කිසිවක් හිතන්නේ නැහැ කියන එක. බටහිර ගැති නායකයා වෙනස් විය යුතු බවයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඵෙතිහාසික වැදගත්කමක් සහිත පක්ෂයක්. ලංකාවට නිදහස දිනා දුන්, ලොකු සංවර්ධනයක් රටට උදා කරපු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පින්සිද්ධ වෙන්න අද ඒ දැවැන්ත පක්ෂය තියෙන්නේ කනත්තේ දොර ගාව. අපි මුල ඉඳලම කිව්වා රනිල් වික්‍රමසිංහ නායකත්වයේ හිටියොත් පක්ෂයට මේ තත්ත්වය උදා වෙයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතුයි. එහෙම වුණොත් පක්ෂයට වගේම රටටත් හොඳක් වෙයි කියලා මම විශ්වාස කරනවා. පක්ෂ නායකත්වයේ වෙනසක් නොවුණහොත් නම් එක්සත් ජාතික පක්ෂයට කිසිම මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න බැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඒක පැහැදිලි වුණා. ඉතාම අඩු ඡන්ද ප්‍රතිශතයක් තමයි එ.ජා. පයට තියෙන්නේ. රනිල් නායකත්වයේ හිටියොත් ඒ තියෙන ටිකත් නැති වෙයි.

එජාපයේ පිබිදීමක් ඇති කළේ ජනපති මෛත්‍රී
- හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න

එක්සත් ජාතික පක්ෂය 1995 සිට මැතිවරණ පරාජය වෙමින් වසර 24ක් පුරා ජයග්‍රහණයක් නැතිව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පිබිදීමක් ඇති කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මේ පරාජිත කාලය පුරාවටම පක්ෂ නායකත්වයේ සිටියේ එජාප නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතායි. දැන් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ එජාප මහාසමුළුවක් කැඳවා හෝ නායකත්වයේ වෙනසක් ඇති කළ යුතුයි කියායි. එතුමා පක්ෂ නායකත්වයේ බලෙන් රැඳී සිිටියාට ලබා ගත් දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එජාපය මැතිවරණයකට ගියොත් එජාපයට නැවතත් අන්ත පරාජයක් හිමි වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා සූදානම් වෙන්නේ පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් 2020 ජනාධිපතිවරයා වෙන්නයි. එතුමා යටතේ මැතිවරණයකට ගියත් මේ තිබුණ තැනවත් එජපායට නැති වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ නායකයෙක් නෙවෙයි. ආත්මාර්තකාමි අයකු වන ඔහු කවදත් බලයේ සිටීමට ප්‍රමුඛස්ථානය ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතා මැතවරණ කල් දැම්මා. සීමා නිර්ණ වාර්තාව කල් දමමින් පළාත් සභා මැතිවරණය කල් දැම්මා. මැතිවරණ කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා වග කියන්න ඕන. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද අයිතිය සුරකින්න එතුමා කවාදාවත් කටයුතු කළේ නැහැ. අද එතුමා මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පක්ෂ ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය විදියට එතුමා වෙනස් කළා බලයේ සිටීමට. ඒ සියල්ල සිදු කරමින් අද ප්‍රජාතිනත්‍රවාදය ගැන කතා කරනවා. ඔහු සිටිනතාක් එජාපයට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. ඔහු නායකත්වයෙන් යා යුතුයි කියා පැමිණි පාගමනට කුරුදු පොලුවලින් පහරදුන්නේ වෙඩි තිබ්බේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නායකයාම තමයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ සිටි දුෂිතම අගමැතිවරයෙක්. ඔහු සිදු කළ මහ බැංකු මංකොල්ලය ඇතුළු සිදු වීම්වලට ඔහු යා යුතු එකම තැන වැලිකඩ සිරගෙදර පමණයි.


නව අදහස දක්වන්න