තීරණය ජනතාවට බාර දීමට මහා මැතිවරණයක් කැඳවන්න | දිනමිණ

තීරණය ජනතාවට බාර දීමට මහා මැතිවරණයක් කැඳවන්න

සිතාරා සේනානි

වර්තමානයේ රට මුහුණපා තිබෙන ගැටලුවට විසඳා ගැනීමට නම් වහාම මැතිවරණයට ගොස් ජනතා මතය විමසිය යුතු බව කලාකරුවෝ පවසති.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ නිළි වසන්ති චතුරාණි මහත්මිය- රට මුහුණපාන ගැටලුවලදී මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වී ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා මේ රටේ කලාකරුවන් ලෙස අපට අයිතියක් සහ වගකීමක් තිබෙනවා. මේ මොහොතේත් අපේ රට විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. රටේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මේ ප්‍රශ්නයට මුහුණදී තිබෙනවා. අපි කියන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයක් පැවැත්වීම බවයි.

පසුගිය අවුරුදු තුනහමාර ඇතුළත මේ රටේ බහුතර ජනතාවට සිදුව තිබුණේ කුමක්ද කියලා මම පාර්ලිමේන්තුවේ 113 බහුතරය තිබෙන බව කියන මන්ත්‍රීවරුන්ගෙන් අහන්න කැමතියි. බඩු මිල ඉහළ දමා, ජනතාවට බදු බර පටවා මේ අය පාර්ලිමේන්තුවේ හැසිරුණේ කොහොමද කියලා රට වගේම මුළු ලෝකයමත් දැකගත්තා. මේ අය කියන දේවලට ජනතාව රැවටිය යුතු නෑ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළාම සමහරු ඇහුවා ඇයි මේ තරම් හදිසියේ ඒ තනතුර එතුමා බාර ගත්තේ කියලා. ‍එතුමා මේ ‍රටේ ජනතාව වෙනුවෙන් ඍජු තීරණ ගත් නායකයෙක්. එදා යුද්ධයෙන් මේ රටේ ජනතාව මුදා ගැනීමට කටයුතු කළේ එතුමායි. ඒ නිසාම එතුමා මේ රටේ ඉතිහාසගතවන නායකයෙක්. එතුමා පසුගියදා මේ රටේ අගමැතිකම භාරගත්තේත් මේ රටේ ජනතාව ගැන සිතායි. අපි කියන්නේ මේ ගැන තීරණයක් ගන්න බහුතර ජනතාවට අවස්ථාවක් දෙන්න, එවිට ඒ අය තීරණය කරයි කවුද නායකයා විය යුත්තේ කියලයි. එවිට දැන් තිබෙන මේ ගැටලු සියල්ලටම විසඳුම් ලැබේවි.

මම වි‍ශේෂයෙන් ම මේ රටේ කාන්තාවන්ට කියන්නේ මේ වෙලාවේ අ‍පේ රටට විදේශ බලපෑම් ඇතිව තිබෙනවා, ඒ බලපෑම්වලට අපි යටත් වෙනවාද කියලා තීරණය කරන්න කියලයි. මේ අප ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක්. අපි කතා කරන්නේ කාගේවත් අල්ලසක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙනුයි. අපි කවදාවත් ඒ වගේ මුදලට නැවෙන අය නෙවෙයි. අපි කියන්නේ දැන් තිබෙන පාර්ලිමේන්තුව ජනතාවට එපා, ජනතාවට අවශ්‍ය පිරිසක් පත්කර ගන්න මහජන මතයට ඉඩ දෙන්න කියලයි.

ප්‍රවීණ නළු පාලිත සිල්වා මහතා-

කවුරුන් කුමක් පැවසුවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ඉතා දුරදිග බලා ගත් පියවරක් ලෙසයි අපි දකින්නේ. මහින්ද රාජපක්ෂ ඒ තනතුර බාර ගත්තේ රට අර්බුදයට ගොස් තිබූ අවස්ථාවක එම අර්බුදයෙන් රට මුදා ගැනීමටයි. මේ රටේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය සතු බලය අපි ඉතා ඉහළින් පිළිගන්නවා. ඒත් එම ආයතන අතර මතුව ඇති ගැටලුවට ඇති එකම විසඳුම මහා මැතිවරණයක් පැවැත්වීම පමණක් බවයි අපි කියන්නේ.

එදා ජේ.ආර්.ජයවර්ධන මහතා ගෙනා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ විධායක ජනාධිපති ක්‍රමයට අත එසවූ අයම තමයි අද එය නැතිකළ යුතුයි කියන්නේ. ඒත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ යුද්ධය අවසන් කිරීමට එදා මහින්ද රාජපක්ෂ මහතාට හැකිවූයේ විධායක ජනාධිපති ක්‍රමය පැවති නිසා බවයි.

අපේ රටට විදේශීය බලපෑම් එදාත් තිබුණා. ඒත් අද වනවිට එය උපායමාර්ගිකව ක්‍රියාත්මක වන බවයි පෙනී යන්නේ. මේවාට මුහුණ දිය හැකි පිරිසක් ජනතාව පත් කර ගත යුතු බවයි අපි මේ මොහොතේ ජනතාවට කියන්නේ. ඒ නිසා මේ රටේ කලාකරුවන්ගේ හඬ වන්නේ ඉතා ඉක්මනින් මැතිවරණයක් ලබා දෙන්න කියන එකයි. වගකිව යුතු සෑම අංශයකින් ම අපි මේ ඉල්ලීම කරන්නේ ජනතාව වෙනුවෙනුයි. මම හිතන්නේ ජනාධිපතිවරයා ගත් පියවර නිවැරදි බවයි.

ඡායාරූපය-  ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න