දෙවැනි පාවාදීම පරාජය කිරීමට ජාතියම අත්වැල් බැඳගත යුතුයි | දිනමිණ

දෙවැනි පාවාදීම පරාජය කිරීමට ජාතියම අත්වැල් බැඳගත යුතුයි

අමිල ප්‍රභාත් වනසිංහ

1815 මාර්තු 02 රට ඓතිහාසික වශයෙන් පාවාදුන් දේශදෝහී කුමන්ත්‍රණය සිදුවී වසර 203ට පසු සිදුවන්නට යන රටත් ජාතියත් පාවාදීමේ දෙවැනි කුමන්ත්‍රණය සහමුලින්ම පරාජය කිරීම සඳහා සමස්ථ ජාතියම අත්වැල් බැඳගත යුතු කාලය එළැඹ ඇතැයි තුන් හෙළේ ජන පවුරු සංවිධානයේ ප්‍රධාන ලේකම් සංජීව සමරසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

අද අපි ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ රට තුළම අරාජික වී සිටින්නෙමු. වසර 30ක් පුරා පැවැති යුද්ධය තුළදීවත් අප රට මෙතරම්ම අරාජිකත්වයට පත්වූයේ නැත. දශක තුනක් පුරාවටම අපගේ වීරෝදාර සෙබළුන්ගේ රත්පැහැ රුධිරයෙන් උතුරු නැ‍ඟෙනහිර මහපොළව තෙත්ව යද්දීත් දහස් ගණනක් රණවිරුවන් ඇස් කන් අතපය අහිමිකර ගනිමින් සදාතනික අබ්බගාතයන් වෙද්දීත් දකුණේ තැන තැන බෝම්බ පිපිරීම්, නිරායුද අහිංසක මිනිසුන් අමු අමුවේ මහමඟ ඝාතනය වෙද්දීත් රට මෙතරම්ම අරාජිකත්වයට පත්වූයේ නැත.

එදා උණ්ඩයෙන් බෝම්බයෙන් මිසයිලයෙන් කරන්නට බැරි වූ දේ අද ඒ ඊළාම්වාදීන් අප අතරම එකට හිඳගෙන කරනා අපූරුව විස්මය ජනකය.

1815 මාර්තු 02 අංගසම්පූර්ණව කරන්නට බැරි වූ දේ පූර්ණ කරන්නට එදා දේශදෝහීන් ලෙස මහ පොළවට පස්වූවන් යළි අප මහ පොළව මතම ඉපිද ඇති බවට තර්ක අවැසි නැත. ඔවුහු යළි ඉපිද ඇත්තාහ. ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරන ඔවුන් දශක තුනක කාලයක් පුරාවට ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් යුද ජයග්‍රහණය තම තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් මේ මොහොත වන විටම උකසට තබා අවසන්ය.

එහි සැබෑ යථාර්ථය විද්යුුත් නාලිකා තුළින් සැබෑවටම දැකගත් බැවිනි. රට පරාධීන ජාතියක් කිරීමේ වගකීම බාරගෙන සිටින නායකයා ඊළාම් බෙදුම්වාදීන් ඉදිරියේ රූකඩයක් සේ උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව තුළ දී ඇඹරෙනු අපි විළිලැජ්ජා නැති ජාතියක් සේ නැරැඹුවෙමු.

ඒ ඊළාම් බෙදුම්වාදීන් රටේ නායකයා විය යුත්තේ කවුරුන්දැයි මේ වන විට තීරණය කොට හමාර වී ඇති පසුබිමකය. ඔවුහු ඔවුන්ගේ සටනේ ජයග්‍රණය උදෙසා නැ‍ඟෙනහිර රක්ෂිත වනාත්තර අක්කර දහස් ගණනක් විනාශ කළ අන්තවාදීන්ගේ සහයෝගය උපරිම ලෙස ලබාගෙන තිබෙන බව ඉතා පැහැදිලිය.

එසේම රටේ අරාජිකත්වය ඩොලර් ඉල්ලමක් කරගෙන සිටින විමුක්තිකාමීන් ඊළාම්වාදීන්ගේ අතකොළු බවට පත්වී ඇති බවට උපහැරන ඇවැසිද නැත.

ඊළාම් බෙදුම්වාදීන්ට තම වුවමනා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා වසරක් වැනි කාලයක් හොඳටම ප්‍රමාණවත්ය. ඒ වසරක කාලය රඳා පවත්වා ගැනීමට නම් ප්‍රභාකරන් ඇතුඵ ත්‍රස්තවාදී මිනීමරු ඝාතකයන් අවසාන මොහොතේ පවා බේරා ගැනීමට කැප වූ මැදිහත් වූ බටහිර රටවල මැදිහත්වීම් ඉතා අවශ්‍යය.

එසේ මැදිහත්වීම් කරනු ලැබුවද ශ්‍රී ලංකාවේ විධායකය හොබවන්නා තුළ තිබෙන පුරුෂ ශක්තිය, අපේකම සහ අපේ හැඟීම නිසා සියලු විදේශ බලපෑම් පයට පෑගෙන දූවිල්ලක් සේ ඉවතලාගිය ප්‍රභාකරන්ට මහත්තයා කියා කටපුරා කියන දේශදෝහීන් රටට ආර්ථික සම්බාධක පමුණුවා රටේ සමස්ථ ජාතියට කරන්නට යන කොඩිවිනය නම් ආපසු කැපිය යුතුමය.

කෙසේ වුවත් රටත් ජාතියත් පත්ව ඇති අරාජිකත්වයෙන් මිදීමට රට හමුවේ ඇති මේ බරපතළ ප්‍රශ්නය ගෙන යා යුත්තේ දෙකෝටියකටත් වඩා විනිසුරුවන් සිටින ජනතා අධිකරණයටයි.

 


නව අදහස දක්වන්න