දම්සක් බුදු පිළිම වහන්සේ අබියස විවෘත වන සදහම් ශ්‍රවණාගාරය | දිනමිණ

දම්සක් බුදු පිළිම වහන්සේ අබියස විවෘත වන සදහම් ශ්‍රවණාගාරය

කැලණි විහාරයේ කොත් කැරැල්ලෙන් හද පහන් වී බියගම දෙසට පියමං කරන්නන් නෙත් සිත් සැණෙන් පැහැරගන්නා ආකර්ෂණීය ඉසව්වකි. ඒ බොල්ලෑගල මානෙල් වත්ත සොඳුරු බිමයි. මහාමාර්ගයේ සිට වම්පස නා තුරු දෑලින් සෙවණිත අතුරුමඟ, වම්පස සුවිසල් ස්වර්ණ වර්ණ පියසින් සෙවණිත, නාලන්දා තක්ෂිලාවන් ඉපැරණි භාරතීය විශ්වවිද්‍යාලයන් මතකයට නංවමින් අහසට එසවෙමින් ඉදිවෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයකි. ඒ, සම්භාවනීය ප්‍රතාපවත් පෙනුමකින් සුසැදි නාගානන්ද ජාත්‍යන්තර බොදු සරසවියේ ගොඩනැගිලි පද්ධතියයි. නා තුරු දෑල දකුණුපස බෝධීන් වහන්සේගේ හරිත අතුපතරින් සිත් සැදැහැ ගන්වන සුළු බුද්ධ ප්‍රතිමා වහන්සේ දිස්වේ.

මේ පිළිම වහන්සේ අබියස දෙස් විදෙස්හි විද්‍යාර්ථින්ට ථෙරවාදී නිමල බුදු දහමේ හරය ප්‍රගුණ කරන්නට පහසුකම් සැලසෙන, අතිශය නවීනතම තාක්ෂණයෙන් සමන්විත සදහම් ශ්‍රවණාගාරයක ඉදිකිරීම් කටයුතු මේ වන විට නිමවෙමින් පවතී. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ එහි උප කුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන්ගෙන් දැනගන්නට ලැබුණු පරිදි මේ සදහම් ශ්‍රවණාගාරය මේ මස 7 වැනි දින පෙරවරුවේ මහත් උත්සවශ්‍රීයෙන් විවෘත වීමට නියමිතය.

ශ්‍රවණාගාරයේ රුවන්මය පියසට ඉහළින් මතු වී දිස්වන දම්සක් බුදු පිළිම වහන්සේ පිළිබඳව විමසා බැලීමකින් අනතුරුව නව්‍ය ශ්‍රවණාගාරය පිළිබඳව තොරතුරු සනිටුහන් කිරීම වඩාත් යෝග්‍ය යැයි හැ‍ඟේ.

මහා කරුණා සමාපත්තියෙන් වැඩහිඳිනා දම්සක් සූත්‍ර දේශනා මුද්‍රාවෙන් යුත් මේ මහා පිළිම වහන්සේ ක්‍රි. ව. 05 වන සියවසේ ගුප්ත යුගයට අයත් සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පරිසමාප්ත ප්‍රතිනිර්මාණයකි.

ගෞතම බුදුන් වහන්සේගේ උප ශාන්තභාවය, මහා කරුණා සමාපත්තියේ නිමැසි (නිරාමිස) සුව බුදුපිළිම වහන්සේ වෙතින් නිබඳව විහිදේ. දකුණු ශ්‍රී හස්තයට ගත් ධර්ම චක්‍රය, වම්පස ශ්‍රී හස්තයේ ඇඟිලි තුඩුවලින් කරකවන විලාශයක් තත් මුද්‍රාවෙන් ද්වනිත වේ.

සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම, ‍මානෙල් වත්ත වැඩහිඳිනා මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ ද අතිශයින්ම ශ්‍රේෂ්ඨ අග්‍රගණ්‍යයේ පරිපූර්ණ කලාත්මක නිමාවකි. අඩි 40 ක් උසැති මේ අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටුවා ඇත්තේ අඩි 60 ක් උසැති පස්මහල් සදහම්පාය මස්ථකයෙහිය. සදහම්පාය තුළ රුවන්මය අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ වෙසෙති. මිහිමතින් අඩි 100 කට වඩා උසින් වැඩ සිටින හෙයින් බුදුපිළිම වහන්සේ වෙතින් නිරන්තරයෙන් විහිදෙන මහා කරුණා සමාපත්තිය දුර ඈත ගම්දනව් දක්වා සුපැතිරෙන සෙයක් දන සැමට දැනෙනු නිසැකය. හැ‍ඟෙනු නියතය.

පිළිම වහන්සේ අභියස මහ සඟ දම්සක් සුතුර සත්ගායනා කරනු ශ්‍රවණය වන්නාසේ හැඟීමත් සිතට දැනේ. සැදැහැතියන්ගේ සාදු නද අභිබවමින් නැ‍ඟෙන තේවා මුර හේවිසි නාදය බැති සිත පුබුදන සුළුය. මානෙල් වත්ත විහාරස්ථ විල් පොකුණුවල පස් පියුම් පිස හමනා මඳ පවන ගත සිත සනහමින් තුන් සිත සැදැහැයෙන් පුබුදුවාලයි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ගොඩනැගිලි සංකීර්ණය පසුබිමේ, අහස උසට මතු වූ ආශ්චර්යමත් රුවන්මය බුද්ධ ප්‍රතිමා වහන්සේ, උත්තරීතර නිර්මල බුදු දහම හදාරන්නට මතු මෙම සරසවියට පියමං කරන දේශීය විදේශීය මානවකයින්ට ආශීර්වාදයක් වනු නිසැක.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය පසුබිම් කරගනිමින් ධර්ම චක්‍ර මුද්‍රාව සහිත ප්‍රතිමාවක් නිර්මාණය කරවීමට ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන් විසින් ගත් උත්සාහය, අත්‍යන්තයෙන්ම අර්ථවත් ව්‍යායාමයක් ලෙසින් අගය කළ යුතු වේ. ඒ මන්දයත්,මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හාත්පස සිවුදෙසින් අහසට එසවෙමින් පවත්නා, රුවන්මය වහලින් සෙවණිත, දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණය තුළ ධර්ම චක්‍ර සූත්‍රයෙන් දේශිත ආර්ය සත්‍ය ගුරුකොට ගත් නිර්මල බුද්ධ ධර්මය අධ්‍යයනයට නැඹුරු වූ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වන බැවිනි.

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රශ්මි ප්‍රභාවයෙන් ආලෝකමත් වූ මානෙල් වත්ත පුණ්‍ය පරිශ්‍රයේ පිහිටි නාගානන්ද බොදු ජගත් සරසවියේ ඉදිකළ සුවිසල් සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීම මේ මස 07වැනි දින මහත් උත්සවශ්‍රීයෙන් සිදුකෙරේ. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙසින් මහනායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු තායිවානයේ මහාචාර්ය සිං තින් සඟ නාහිමි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගි වීමට නියමිතය.

නාලන්දා, තක්ෂිලා වන් පෙරදිග විශ්වවිද්‍යාලීය ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයන් ආශ්‍රේයව යමින් නිමවන ලද මේ සුවිසල් ශ්‍රවණාගාර‍ය වර්ග අඩි 64195 ක වපසරියකින් යුක්ත වේ. තුන්මහලින් සුසැදි ශ්‍රවණාගාරයේ සිවිලිම සම්පූර්ණයෙන්ම චිත්‍රණය කර ඇත්තේ ආගමික හැඟුම් පුබුදනා සුළු නෙළුම් මල් රටාවකිනි. නෙළුම් මල දැනුමේ සංකේතයයි. සංස්කෘත භාෂාවේ නෙළුමට නාලම් යන නම ද ව්‍යවහාරිතය. සංස්කෘතියේ දා යනු දානය නොහොත් බෙදා දීමයි. දැනුම බෙදාදීමේ ශිල්ප ශාලාව යන අරුතින් භාරතයේ මුල්ම විශ්වවිද්‍යාලය නාලන්දාව නමින් නම් කෙරිණි. ඉපැරණි නාලන්දා විශ්වවිද්‍යාලීය සම්ප්‍රදාය අනුව යමින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංකේතය ලෙසින් ද නෙළුම් මල තෝරාගැනීමට පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් පෙළඹීම අගය කළ යුතුය.

මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ශ්‍රවණාගාරයක ‍භාවිතා කර නොමැති අති නවීන ශ්‍රව්‍ය හා දෘෂ්‍ය තාක්ෂණික මෙවලම් සමුදායකින් ශාලාව සන්නද්ධිතය. මෙහි අති නවීන පේළි ආරාව (LINE ARRAY) ශබ්ද තාක්ෂණ‍ෙයන් සංයුක්ත ස්පීකර පද්ධතියකි. ඩිජිටල් පුවරු කිහිපයකින් ශබ්ද පරිපාලනය කෙරෙන ‍මයික්‍රෆෝන 32 ක් ප්‍රධාන වේදිකාවට සම්බන්ධ කර ඇත. වේදිකාව දිගින් අඩි 79 ක් සහ පළලින් අඩි 36 ක් වන අතර පුළුල් ඩිජිටල් තිරයකින් සමන්විත වේ. ආසන සංඛ්‍යාව 1200 කි. ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ පැවැත්වෙන අවස්ථාවල දේශන, ප්‍රධාන භාෂා හයකට පරිවර්තනය කර ප්‍රේක්ෂකයින්ට තමන්ට රිසි භාෂාවකින් ශ්‍රවණය කළ හැකි තාක්ෂණවේදයක් ද ක්‍රියාත්මකය. නාට්‍ය, සංගීත සහ විවිධ ප්‍රසංග සඳහා උපයෝගී කරගත හැකි නව්‍ය ආලෝක ධාරා පද්ධතියකින් ද වේදිකාව පරිපූර්ණිතය. ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය පටිගත කිරීමකට හෝ සජීවී විකාශනයකට යෝග්‍ය වන ලෙසින් ශබ්ද තරංග දෝංකාරයෙන් තොරව තුලනය වන පරිද්දෙනි ශ්‍රවණාගාරයෙහි බිත්ති සකස් කර ඇත්තේ.

නාගානන්ද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙහි නව ශ්‍රවණාගාරයෙහි පළමු මහල අති නවීන ගුවන් විදුලි සහ රූපවාහිනී මැදිරියක් සඳහා වෙන්කර ඇත. දම් සත් (ධර්ම ශාස්ත්‍ර) නම් වූ නිල ගුවන් විදුලි විකාශනය සහ රූපවාහිනී විකාශනය ලබන වසරේ මුල් භාගයේ ආරම්භ කිරීමට අපේක්ෂිතය. දිවා කාලයෙහි දම් සත් තුළින් ධර්ම ශාස්ත්‍රීය සහ සංස්කෘතික වැඩසටහන් සිංහල භාෂාවෙන් ප්‍රචාරයට නියමිතය. නිශා යාමයේදී චීනය, ජපානය, කොරියාව වන් පෙරදිග රටවලට මෙන්ම බටහිර රටවල් සඳහා එම රටවල භාෂා මාධ්‍යයෙන් ධර්ම ශාස්ත්‍රීය වැඩසටහන් විකාශනය කිරීමට සැලසුම් පිළියෙල වෙමින් පවතී.

ශ්‍රවණාගාරය විවෘත කිරීමෙන් අනතුරුව එදින රාත්‍රියේ අසූහාරදහසක මල් සහ ප්‍රදීප පූජාවක් පැවැත්වේ. පසුදින විදේශීය ස්වාමීන් වහන්සේලා දහසක සහභාගිත්වයෙන් සුවිශේෂී ආශීර්වාද පූජාවකි. දෙසැම්බර් 9 වන දින භික්ෂූන් වහන්සේලා 1500 ක් විෂයෙහි වූ මහා දානමය පුණ්‍යකර්මයක් ද එදිනම පස්වරු 03 ට යුද හමුදා සංස්කෘතික ඒකකයේ මෙහෙයවීමෙන් ආකර්ෂණීය සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ආචාර්ය ගාමිණී කාරියවසම්

නව අදහස දක්වන්න