මූඩිස් තීරණයට කළ යුත්තේ කුමක්ද | දිනමිණ

මූඩිස් තීරණයට කළ යුත්තේ කුමක්ද

ජයසිරි මුණසිංහ

බැංකු හරහා මුල්‍ය වෙළෙද පොළේ ආයෝජකයන්ගෙන් ණය ලබා ගැනීම ආරම්භ කළේ 2007 වර්ෂයේ මහබැංකුව විසිනි. මෙම ක්‍රමය යටතේ මේ වනවිට ඩොලර් මිලියන 13,150 ක ඩොලර් බැඳුම්කර නිකුත් කොට ඇත. ඉන් දැනට ගෙවා ඇත්තේ මිලියන 1,000 ක් පමණි. ඊට පෙර අනුගමනය කළේ ව්‍යාපෘති ණය සහ ඍජු ද්විපාර්ශ්විය ණයයි. නව ක්‍රමය මගින් රාජ්‍ය ණය සදහා දේශීය වෙළෙඳ පොළට අමතරව විදේශ වෙළෙඳ පොළක්ද දියුණු කිරීමට අපේක්ෂා කෙරිණ.

පසුගිය 20 වෙනි දින මූඩිස් (Moody’s) ණය ශ්‍රේණි ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය B1 සිට B2 දක්වා පහත හෙළන ලදී. එසේම, අනෙක් ණය ශ්‍රේණි ආයතන දෙක වන ෆිච් සහ එස් ඇන්ඩ් පී ද (Fitch, S&P) දෙසැම්බර් 3 සහ 4 දින තම ණය ශ්‍රේණිද B+ සිට B දක්වා පහත හෙළන ලදී. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි සදහා මූඩීස් වෙතින් 2010 සිටද ෆිච් සහ එස් ඇන්ඩ් පී වෙතින් 2007 සිටද සේවය ලබාගෙන ඇත. මිට පෙර කිහිප වතාවක් මෙම ණය ශ්‍රේණි ඉහළ පහළ හෙළා ඇත. 2016 දී ද ණය ශ්‍රේණි තුනම පහළ හෙළීය. එබැවින්, මෙම පහළ හෙළීම පිළිබදව වගකීම අදාළ බලධාරීන් බාර ගත යුතුය යුතුය.

ණය ශ්‍රේණියක් යනු කුමක්ද?

ණය ශ්‍රේණියක් යනු ණයකරුවකුගේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබදව බාහිර පාර්ශ්වයක් විසින් කරනු ලබන විනිශ්චයකි. එය සාමාන්‍යයෙන් වර්ෂයකට අදාළ වෙයි.විශේෂයෙන් කිව යුතු වන්නේ මෙය ගණිතමය,සමීකරණ පිළිතුරක් නොවේ. ණය ශ්‍රේණි ආයතනය විසින් ණයකරුගේ ව්‍යාපාරික, මුල්‍ය සහ කර්මාන්තයේ ප්‍රගතිය පිළිබද දීර්ඝ ඇගයීමකින් පසු ණය ශ්‍රේණිය නිකුත් කරනු ලැබේ. ණයකරු විසින් සපයන දත්තවලට අමතරව ආයෝජකයන්ගෙන් සහ වෙළෙදපොළ දත්තද ලබා ගනී.

රජයක්හෝ රටක් පිළිබඳ ණය ශ්‍රේණියකදී, රජයේ අයවැය ප්‍රගතිය (එනම්, අදායම, අයවැය හිගය සහ ණය ගැනීම), රටේ ණය ව්‍යුහය සහ ණය බර, රටේ සර්ව ආර්ථික ප්‍රගතිය (එනම්, ආර්ථික වර්ධනය, විදේශීය ගෙවුම් ශේෂ තුලනය සහ විදේශ සංචිතය), ආයෝජක සහ ව්‍යාපාරික විශ්වාසය සහ දේශපාලනික ස්ථායිතාවය පිළිබද ඇගයීමක් කෙරේ. ඊට හේතුව, රාජ්‍ය ණය සහ ණය ගෙවීම රදා පවතිනුයේ අයවැය විනය සහ බදු අදායම සදහා බලපාන සර්ව ආර්ථික ප්‍රගතියවන බැවිනි. එසේම, සමගාමී රටවල (peer countries) ප්‍රගති මට්ටමද මෙහිදී සැසදීමක් කෙරේ.

එබැවින්, ණය ශ්‍රේණිය ණය වෙළදාමට උදව් වීම සදහා සැපයෙන එක් සේවයකි. ණය ගන්නන්ට සහ ණය සැපයුම්කරුවන්ට පිළිගත් ණය ශ්‍රේණි අනුගමනය කිරීම තුළින් ණය අවදානම හඳුනා ගැනීම ඉතා පහසුය. ඔවුන්ට පුද්ගලිකව ණය ඇගයීම ඉතා අපහසු අතර ඒ පිළිබද තාක්ෂණික දැනුමක්ද නොමැති විය හැකිය.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි පිළිබද සියලු තොරතුරු සැපයීම සහ සම්බන්ධිකරණ කටයුතු කරනුයේ රජයේ ණය කළමනාකරු සහ නිල මුල්‍ය උපදේශක වන මහ බැංකුවයි.

ණය ශ්‍රේණි කාණ්ඩයන්

ණය ශ්‍රේණි ආයතන තුන බොහෝ සමාන ණය ශ්‍රේණි කාණ්ඩ යොදාගනී. දිගුකාලින ණය/ බැඳුම්කර සඳහා මූඩීස් විසින් ණය ශ්‍රේණි 21 ක්ද, ෆිච් සහ එස් ඇන්ඩ් පී විසින් ණය ශ්‍රේණි 24 ක්ද යොදා ගනී. මූඩීස් ණය ශ්‍රේණි ඉහළම Aaa ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය වන C, එනම් ණය පහර හැරීම/බුන්වත් බව, දක්වා විහිදෙයි. ෆිච් සහ එස් ඇන්ඩ් පී ණය ශ්‍රේණි ඉහළම AAA ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය වන D දක්වා විහිදෙයයි. ආයෝජන ණය ශ්‍රේණිය ලෙස සැලකෙන්නේ 10 වැනි ණය ශ්‍රේණිය වන Baa3 / BBB- සිට ඊට ඉහළ ණය ශ්‍රේණීන්ය. ඊට පහළ Ba1 / BB- සිට ණය ශ්‍රේණි සියල්ල සමපේක්ෂණ (Speculative) හෝ කසළ ණය (Junk Bonds) ලෙස දැක්වෙයි. එම ණය ආපසු ගෙවීම පිළිබද බොහෝ අස්ථායිතාවන් පවතින බව දැක්වෙයි.

B ණය ශ්‍රේණිය 14, 15 සහ 16 මට්ටම් ලෙස මූඩීස් හි B1, B 2 සහ B 3 ලෙසද, ෆිච් සහ එස් ඇන්ඩ් පී හි B+, B සහ B- ලෙසද කාණ්ඩ තුනකි. ශ්‍රී ලංකාව B හි 14 සිට 15 මට්ටමට (එනම්, B 2 සහ B ලෙස) පහත හෙළා ඇත.

සෑම ණය ශ්‍රේණියකම අගට ධන (Positive) හෝ ස්ථායි (Stable) හෝ ඍණ (Negative) ලෙස දැක්මක් (Outlook) අඩංගු වෙයි. ණය ශ්‍රේණියක් වෙනස් කිරීමකදී අදාළ සාධක මත ණය ශ්‍රේණිය හෝ දැක්ම හෝ එම දෙකම හෝ වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාවේ B1 (ඍණ) හා B+ (ස්ථායි) සිට B2 (ස්ථායි) සහ B (ස්ථායි) ලෙස ණය ශ්‍රේණිය පහත හෙළා ඇත.

B ණය ශ්‍රේණිවල අදහස ණයකරුට ණය ආපසු ගෙවීමට හැකියාවක් ඇතත් ඔහුට ඇතිවිය හැකි බොහෝ උවදුරු/අවදානම් සහ දුබල ව්‍යාපාරික, මුල්‍ය සහ ආර්ථික තත්වයන් හේතුකොට ණය ගෙවීමේ හැකියාව හෝ ණය ගෙවීමේ කැමැත්ත පලුදු විය හැකි බවයි. එබැවින්, ණය ශ්‍රේණියක් වෙනස් කිරීම යනු ණය ගුණාත්මක බව වෙනස් වීමේ පෙර නිමිත්තක් වන අතර ණය කරු විසින් එය ධනාත්මක ලෙස පිළිගෙන ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.

ණය ශ්‍රේණි පහත හෙළීම පිළිබඳ අත්දැකීම්

දුර්වල සාර්ව ආර්ථික ප්‍රගතිය, දැඩි රාජ්‍ය අයවැය අර්බුද, දේශපාලනික උවදුරු සහ මුල්‍ය අර්බුද සහ වෙළෙද භාණ්ඩ මිල කඩාවැටීම් වැනි බාහිර ආතති හේතුකොට රටවල ණය ශ්‍රේණි පහත හෙළිය හැකිය. 2016 දී ෆිච් රටවල් 16 කද, එස් ඇන්ඩ් පී රටවල් 21 කද, මූඩීස් රටවල් 25 කද නය ශ්‍රේණි මෙසේ පහළ හෙළා ඇත. දේශපාලනික හේතු මත රටවල් රාශියක ණය ශ්‍රේණි පහත හෙළා ඇත. උදාහරණ ලෙස 2015 දී බ්‍රසීලය සහ රුසියාව ද 2016 දී දකුණු අප්‍රිකාව ද දැක්විය හැකිය. බ්‍රසීලයේ දුෂණ හේතුකොට ඇතිවූ දේශපාලනික අර්බුදයක් සහ දකුණු අප්‍රිකාවේ මුදල් ඇමති කිහිපවිටක් වෙනස්කිරීම සහ ඇමති මණ්ඩලය විසුරුවා හැරීමෙන් ඇතිවූ දේශපාලනික අර්බුදයක් හේතුකොට ණය ශ්‍රේණි පහත හෙළනු ලැබිණි. බ්‍රිතාන්‍යය යුරෝපීය සංවිධානයෙන් ඉවත්වීමෙන් ඇතිවිය හැකි අපේක්ෂිත උවදුරු මත 2016 දී සහ 2017 දී බ්‍රිතාන්‍යයේ ණය ශ්‍රේණිය පහත හෙළන ලදී.

ණය ශ්‍රේණි ආයතනවලට මෙසේ රටවල ආර්ථික සහ දේශපාලනික උවදුරු පැතිරෙන ආකාරය සහ ඒ ආශ්‍රිත පෙර නිමිති පිළිබඳ හොඳ අවබෝධයක් සහ පළපුරුද්දක් ඇත. ඔවුන් රටවල ණය ශ්‍රේණි පහත හෙළනුයේ නවතම දත්ත සහ රාජ්‍ය අධිකාරීන් සහ ආයෝජකයන් සමග කරන ලද සාකච්චා පිළිබඳ පුළුල් විමර්ශනයකින් පසුවය. සාමාන්‍යයෙන් සියලු ණය ශ්‍රේණි ආයතන කෙටි කාල පරාසයකදී ණය ශ්‍රේණි පහත හෙළනු ඇත.

අනිටු විපාක

ණය ශ්‍රේණියකින් ණයකරුගේ ණය ගුණය හෝ ණය අවදානම පිළිබද දැක්වෙයි. ණයක පොලිය තීරණය කෙරෙන එක් සාධකයක් වන්නේ ණය අවදානම් මට්ටමයි. අවදානම වැඩිවන විට පොලියද වැඩිවෙයි. එම නිසා ණය ශ්‍රේණියක් පහත හෙළීමෙන් පසු නව ණය සඳහා අය කෙරන පොලිය ඉහළ යයි. එසේම, පෞද්ගලික ණයකරුවන්ගේ පොලිය තීරණය වන්නේ රාජ්‍ය ණය පොලියට විවිධ ප්‍රමාණයේ ණය අවදානම් අතිරික්තයන් (credit risk premium) එකතු කිරීමෙනි. එම නිසා සියලුම පෞද්ගලික ණය පොළී ද ඉහළයනු ඇත. එබැවින්, අරමුදල් පිරිවැය ඉහළ යාම රටේ ආර්ථිකයට බරක් වෙයි.

එම නිසා, රටේ මුල්‍ය වෙළෙද පොළ ක්‍රමයක් තුල ණය පිරිවැය අඩු කර ගැනීමට රාජ්‍ය අධිකාරීන් කැමති නම් ඔවුන් රටේ ණය ශ්‍රේණිය ඉහළ නංවා ගැනීමට ණය ශ්‍රේණි ආයතන සමග විචක්ෂණශිලිව කටයුතු කළ යුතුය.

ණය ශ්‍රේණි පහත හෙළීම පිළිබඳව රාජ්‍ය අධිකාරීන් දැක්වූ ප්‍රතිචාර වශයෙන් ඊට පසු දිනම මහ බැංකුව විසින් එය පිළිගත නොහැකි බවට එකම නිවේදනයන් ලහිලහියේ නිකුත් කරන ලදී. ඊට හේතුව ලෙස දැක්වුයේ එම නව ණය ශ්‍රේණිය තුළින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම් සාධක (Macroeconomic Fundamentals) පිළිබිබු නොකරන බවයි. එහෙත්, එම සාර්ව ආර්ථික පදනම් සාධක මොනවාද සහ ඒවා ණය ශ්‍රේණිය තුළින් පිළිබිබු නොවන ආකාරය මහ බැංකුව විසින් පැහැදිලිකොට නැත.

තවද B1(ඍණ) සහ B+(ස්ථායි) ණය ශ්‍රේණිය ලබා දුන් 2018 ජූලි මස සිට ශ්‍රී ලංකා ආර්ථිකය හෝ ප්‍රතිපත්ති පිරිහීමක් සිදුවී නොමැති බවත්, 2019 ජනවාරි මස ගෙවීමට නියමිත ඩොලර් බැදුම්කර මිලියන 1,000 සහ ජූලි මස ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500 ගෙවීම සදහා නව විදේශ ණය සහ අරමුදල් රැස් කිරීමට කටයුතු සිදු කොට ඇති බවත්, එමනිසා අතීතයේ සිට පැවති ණය ආපසු ගෙවීමේ වාර්තාව ආරක්ෂා කරගත හැකි බවත් කෙටියෙන් දක්වන ලදී. ඊට පසුව, තවත් බලධාරීන් කිහිප දෙනකුම ඉදිරියේ විදේශ ණය අපසු ගෙවීම සදහා සුදානම් කරමින් සිටින නව විදේශ ණය සහ අරමුදල් පිළිබඳව පුවත් වාර්තා නිකුත් කරන ලදී.

දේශපාලන සහ ආර්ථික අස්ථායිතා මැද, දැනට තිබෙන ණය ගෙවීමට තවත් ණය ගැනීමට දරන උත්සාහය හුවා දැක්වීමෙන්, රජයට ණය ගෙවීමේ දැඩි ගැටලුවක් ඇති බව මධ්‍යස්ථව බලන කෙනකුට පෙනේ. තවද මූඩීස් ණය ශ්‍රේණිය පහළ දැමු දින සිට රටේ දේශපාලනික අස්වථාවරත්වය දිනෙන් දිනම වැඩිවිය. සිදුවීම් මාලාව දෙස බලන විට එය නුදුරු අනාගතයේ විසඳෙන බවද සිතිය නොහැකිය.

ණය ශ්‍රේණියකින් ප්‍රකාශ කෙරෙනුයේ ඉදිරියේදී ණයකරුවකුගේ ණය අපසු ගෙවීමේ හැකියාව පිළිබද මතයකි. එය සාර්ව ආර්ථික පදනම් සාධක දැක්වෙන ගණිතමය දර්ශකයක් නොවේ. ණය ශ්‍රේණි ආයතනය විසින් සාකච්ඡා සහ වාර්තා මගින් ලබා ගන්නා තොරතුරු රැසක් විමර්ශනය කිරීමෙන් පසු ණය ශ්‍රේණිය නිකුත් කරනු ලැබේ. මුල් අවස්ථාවේ මහ බැංකුව විසින් නිසි තර්කයන් සාර්ථකව ඉදිරිපත් කළා නම් ණය ශ්‍රේණිය ආරක්ෂා කරගත හැකිව තිබුණි.

මහබැංකුව නව ණය ශ්‍රේණියේ නියම අර්ථය තේරුම්ගෙන නොමැතිබව පෙනේ. B2 සහ B ණය ශ්‍රේණිය යනු ණයකරුට තම ණය ආපසු ගෙවීමට හැකියාවක් තිබෙන බවත්, අහිතකර ව්‍යාපාරික, මුල්‍ය සහ ආර්ථික සාධක හේතුකොට ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව හෝ කැමැත්ත දුර්වල වීමේ වැඩි අවදානමකට ණය කරු ගොදුරුවිය හැකි බවත්ය. පෙර පැවතී B1 සහ B+ ණය ශ්‍රේණියේ අදහසත් එයයි. මිට පහල B3 සහ B- ණය ශ්‍රේණියේ අදහසත් එයයි.

B2/B ට ඉහළ ණය ශ්‍රේණි 14 ක් පමණ ඇත. මිට පහළ ණය ශ්‍රේණි ඇත්තේ 5-7 කි. එබැවින්, ණය ශ්‍රේණි ආයතනය සිදු කොට ඇත්තේ වත්මන් සාධක සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා බලධාරීන් වෙත අනතුරු ඇගවීමයි. දැනට රටේ පවතින දේශපාලනික සහ ආර්ථික සිදුවීම් සහ තත්වය දෙස අපක්ෂපාතිව බලන විට මෙම ඇගවීම පිළිබද පුදුමයක් නොමැත. 2016 දීද ණය ශ්‍රේණි පහත හෙළා ඇත.පෙර කී ආකාරයට මෙවැනි දේශපාලනික සහ ආර්ථික අස්ථායිතා හේතුකොට බොහෝ රටවල ණය ශ්‍රේණි පහත දැමීම අතීතයේදී සිදුකොට ඇත. ශ්‍රී ලංකාවේද මිට පෙර දෙවරක් ණය ශ්‍රේණි පහත හෙළා තිබේ.

2015 අප්‍රේල් මස ණය ශ්‍රේණි ආයතනයක් විසින් එවක රටෙහි පැවති යම් යම් අස්ථායිතා හේතුවෙන් මෙලෙස ණය ශ්‍රේණිය පහත හෙළීමට සැරසීම පිළිබඳ ඉඟියක් ලැබුණ අවස්ථාවේ ටෙලිෆෝන් සාකච්ඡා පදනම් කරගෙන

සකසන ලද ආර්ථික වශයෙන් තර්කානුකුල ලිපියක් ණය ශ්‍රේණි ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන් එවකට පැවතී ණය ශ්‍රේණිය ආරක්ෂා කර ගැනිණි. මේවා අඬබෙර ගැසීමෙන් විසදාගත හැකි ගැටලු නොවේ.

ණය ශ්‍රේණි ආයතනයක් යනු විනිශ්චයකරුවෙකි. ඔහු තීරණයක් දුන් විට කළ යුත්තේ ඔහුට දොස් පැවරීම නොව, නව තොරතුරු සමග අභියාචනය කිරීමයි. එමගින්, ඊළග විනිශ්චය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය. එසේ නැත්නම් එම ක්‍රමයෙන් ඉවත් වී නව ණය රැස් කිරීමේ ක්‍රමයකට යා යුතුය. විවිධ කාල වකවානු සොයමින් වැඩියෙන් ණය ගත් රජයන් සහ මුදල් ඇමතිවරුන් සොයා ඔවුන්ට පරිභව කිරීමෙන් ද වැඩක් වන්නේ නැත. හේතුව, තව තවත් ණය ගැනීමක් නොමැතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බැවිනි. බහුතර ණය ගෙවීමට නව ණය ගත යුතුය.

උගත යුතු පාඩම සහ ගතයුතු නව පියවර

පසුගිය වසර 67 ක කාලය තුළ සියලු ණය ගැනීම සහ කළමනාකරණය කිරීම කරන ලද්දේ රජයේ නිල මුල්‍ය සහ ආර්ථික උපදේශක වන ඉහළ පෙළේ ආර්ථික වියතුන්ගෙන් පිරි මහ බැංකුව විසිනි. රාජ්‍ය ණය ප්‍රශ්නයක් ඇත්නම් ණය කළමනාකරු ඊට වගකිව යුතුය. හැම කාලයකදීම කරනුයේ කෙසේ හෝ ණය ලබාගෙන, එම ණයවල ආර්ථික කළමනාකරණය සහ ප්‍රතිවිපාක ගැන නොතකා ණය උපයෝජනය කිරීමයි. ක්ෂුද්‍ර ව්‍යපාරයකට නම් ඒ ඒ වෙලාවට කෙසේ හෝ ණය ගැනීම සතුටකි. දැනට ඉදිරියේදී ගැනීමට උත්සාහ කරන ණයද එසේය. ණය කළමනාකරණය ගැන ඉහළ නිලධාරීන් අඛණ්ඩව විදේශයන්හි පුහුණු කොට ඇත. එහෙත්, රටේ ණය ගැටලුව අඛණ්ඩව උග්‍ර වන බව නොරහසකි.

රාජ්‍ය ණය පිළිබද මෙවැනි ප්‍රශ්න ඉහළ යාම යනු එම ණය කළමනාකරණ ව්‍යුහයේ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අවදානම් පිළිබද පෙර නිමිති ලෙස සැලකිය හැකිය. එය මෙම අවස්ථාවේ අධ්‍යයනය කර පිළියම් නොකොට, අපි හොඳයි කියමින් පසුගිය ආණ්ඩුවලට දොස් කියමින් සිටීමෙන් ණය පැහැර හැරෙන තත්වයට පත් නොවනු ඇති බව කිසිවකුට කිව නොහැකිය. අතීතයේ අඛණ්ඩව කෙසේ හෝ ණය ගෙවීමේ වාර්තාව යනු අනාගතයේ අනිවාර්යයෙන්ම ණය ගෙවන බවට සහතිකයක් නොවේ. එසේ වන්නේ නම්, ණය ගැනීම සදහා ණය ශ්‍රේණි ආයතනවල සේවය අවශ්‍ය නොවේ. ණය කළමනාකරණයේ දුර්වලතා නිසා දියුණු රටවල්ද ණය පැහැර හැරී අවස්ථා රැසක් වාර්තා වී ඇති බැවිනි.

ණය ශ්‍රේණි සහ විදේශීය ආයෝජන

බැංකු හරහා මුල්‍ය වෙළෙදපොළේ ආයෝජකයන්ගෙන් ණය ලබා ගැනීම ආරම්භ කළේ 2007 වර්ෂයේ මහබැංකුව විසිනි. මෙම ක්‍රමය යටතේ මේ වනවිට ඩොලර් මිලියන 13,150 ක ඩොලර් බැඳුම්කර නිකුත් කොට ඇත. ඉන් දැනට ගෙවා ඇත්තේ මිලියන 1,000 ක් පමණි. ඊට පෙර අනුගමනය කළේ ව්‍යාපෘති ණය සහ ඍජු ද්විපාර්ශ්විය ණයයි. නව ක්‍රමය මගින් රාජ්‍ය ණය සදහා දේශීය වෙළෙදපොළට අමතරව විදේශ වෙළෙඳ පොළක්ද දියුණු කිරීමට අපේක්ෂා කෙරිණ. එමගින්, ණය පිරිවැය අඩුකිරීම සහ ණය අරමුදල් සැපයුම වැඩිවීම අපේක්ෂා කෙරිණ. විශේෂයෙන්, මෙසේ විදේශ මුල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගැනීම කළේ හුදෙක් මහ බැංකුවේ විදේශ සංචිතය තර කර ගැනීමටයි. එම ණය මුදල්වල ආර්ථික උපයෝජනය පිළිබඳව කිසිම තැකීමක් හෝ පසුවිපරමක් සිදු නොකෙරිණ.

එබැවින්, රජය පමණක් නොව මහ බැංකු සංචිතය සහ විනිමය අනුපාතයද දැන් විදේශ ණය සහ ආයෝජන බැංකු උගුලට හසුවී හමාරය. විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව කළ යුත්තේ රටේ විදේශ වෙළෙඳ අතිරික්තයක් ඇතිවන පරිදි මුල්‍ය සහ විදේශ විනිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එබැවින්, ණය ගැනීම පිලිබඳව රජයට දොස් කීම නවත්වා දැන්වත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මහ බැංකුව ආරම්භ කළ යුතුය. එසේම, දේශීය ණය වෙළෙඳ පොළද දියුණු නොවූ බවද පසුගිය සිදුවීම්වලින් පැහැදිලිය.

එබැවින්, අදාළ බලධාරින් විසින් මෙය තාවකාලික ගැටලුවක් ලෙස නොසලකා, රාජ්‍ය ණය ව්‍යුහයේ පවතින මුලික ගැටලු විසදීමට ඉක්මනින් පියවර ගත යුතුය. එසේ නැත්නම් රටේ ඉදිරි පරපුර මහත් ව්‍යසනයකට පත් වනු ඇත.


නව අදහස දක්වන්න