පැරණි රසාංග රස විඳීමට ති‍බේ | දිනමිණ

පැරණි රසාංග රස විඳීමට ති‍බේ

මානෙල් පුෂ්ප කුමාරි
චන්ද්‍රිකා පෙරේරා

සිංහල ගීතවලට අමතරව පැරණි හින්දි හා දෙමළ ගීත එකතුවක් සහිත සංයුක්ත තැටි මෙහි සංරක්ෂිතය. මෙරට කණ්ඩායම් ගීත මෙහි සංරක්ෂණය වන තවත් අභෞතික කලා සම්පතකි. පැරණි ගායක ගායිකාවන්ගේ හඬ හා සංයෝජනය වූ පැරණි සංගීත නාද රටා ද ඒ අයුරින්ම සංරක්ෂණය කර තිබීම මුල් යුගයේ වූ සංගීත නාද රටා හඳුනා ගැනීමට වර්මාන කලාකරුවාට උපකාර වෙයි.

“ඕළු පිපීලා විල ලෙළ දෙනවා සුදට සුදේ නංගෝ

ඕළු නෙළාලා මාල ගොතාලා පලඳිමු අපි නංගෝ“ සුනිල් ශාන්තයන්ගේ මියුරු හඬින් ගැයෙන ගීතය පැරණි නාද මාලව සමඟ දෙසවන වැකෙන විට ග්‍රාමීය ජන ජීවිතයේ රසාත්මිකතාව මායිමේ සිතුවම් වෙයි.

හෙළ කලා කෙත පෝෂණය කළ මහගම සේකරයන්ගේ ගීත සරළ සංගීතය සමඟ තවමත් අපට අසන්නට ලැබේ නම් වර්තමාන ජන සමාජයට එය නවමු අත්දැකීමක් වනවා නොඅනුමානය.

රුක්මණී දේවි, එඩී ජයමාන්න වැනි හෙළ සිනමා‍වේ මුල් යුග‍යේ ගායන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ ගීත ඒ කලාකරුවන්ගේම හඬින් අසන්නට වර්තමායේ ප්‍රිය නැත්‍‍‍තෝ කවරහුද?

හාස්‍ය, ශෘංගාරය, විරහව, මෙන්ම පරිසර අලංකාරය මේ ගීතවල මෙන්ම සංගීතයේ ද මනාව ගැබ්ව පවතී. විටෙක සිසිල් මඳ නල ද විටෙක සෙමෙන් ගලා යන ජල ධාරාවන්ද , කුරුළු නඳ ද මේ සංගීතයේ ඉතා මනරම්ව විද්‍යාමාන ‍වේ. ඒ තුළින් කෙරෙන්නේ කිසිදා නෙතින් දැක ගත නොහැකි විචිත්‍ර වූ මනෝමය චිත්‍රනයන්ය.

“හෙළ දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්“ “රත්නදීප ජන්ම භූමි ලංකදීප විජය භූමි මේ අපේ මාතෘ භූමියයි.“ වැනි ගීත සවන් වැකෙන විට දේශාභිමානය කුළු ගැන්වෙයි. මේ හැඟීම් වත්මන් දරුවන්ට දායාද කරන්නට නම් එදා සංගීත නාද රටා අනුව එවැනි නිවුනා වූ මනෝ භාවයන් උපදවන ගීත, කට හඬ, නාද රටාද දායද කළ යුතුය.

එදා ගීත හා සංගීත නාද ජනතාව අතරට ආවේ සංගීත තැටි හරහාය. මුල් යුගයේ එම තැටි වාදනය වූයේ ග්‍රැමෆෝනය මගිනි. මුදල් හදල් යහමින් තිබූ ප්‍රධානියාගේ නිවසේ පමණක් ඒවා එදා වාදනය වූයේ ගැමියාට ඒවා මිලදී ගැනීමට මුදල් යහමින් නොතිබීම නිසා ‍මෙන්ම එවැනි යන්ත්‍ර පිළිබඳ දැනුම හා අවබෝධය අල්ප වීම නිසාත් ඒවා බහුල නොවීමත් නිසා විය හැකිය. එදා ඒවා ශ්‍රවණය කරන්නට ගැමියෝ එක්තැනකට එක් රොක් වූහ.

අතීතත‍යෙන් අප වෙත දායාද කළ කලාත්මක සංස්කෘතික වටිනාකම් බොහෝ ය. මෑත ඉතිහාසයෙන් එක් වූ ග්‍රැමෆෝන තැටි හා යන්ත්‍ර කලා ලෝකයට මා හැඟි දායාදයකි.

මෙරට ගීත හා සංගීත ක්ෂේත්‍රයට එක් වූ එවැනි ගීත ගායනා හා සංගීත සහිත සංයුත්ත තැටි සංරක්ෂණය කර හෙළ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසන කණ්ඩායමක් පිළිබඳ පසුගිය දා දිනමිණට තොරතුරු ලැබිණි.

දිනමිණ එම ස්ථානය ‍සොයා ගියේ පැරණි සංගීත නාද රටා පිළිබඳ අධ්‍යාපනය හදාරන දූ දරුවන් හා ඒවා රස විඳීමට කැමති සහෘදයන් වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමටය.

ඒවා සංරක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට නොමිලේ දැනුම ලබාදීමේ මෙහෙවරට උරදී සිටිනු‍යේ සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් වර්තමානයේ උරදෙමින් සිටී. සිය පෞද්ගලික ධනය හා ශ්‍රමය වැය කර මේ කාර්යය සිදුකරන්නන් නිවසන තැන වනු‍යේ අපි නුගේගොඩ පළමු පටුමඟ, රූපසිංහ මාවතේ අංක 12/11 පිහිටි “සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස්“( Society of SriLankan record collectors) ය.

ඉතිහාසයට එක්ව ඇති සාක්ෂි වැනි ග්‍රැමෆෝන් තැටි, long play,extended play, මනා ලෙස ගබඩාකර සංරක්ෂණය කර ඇති අයුරු එහිදී අපට දැක ගැනීමට හැකි විය. මේ ගබඩාවේ ගී තැටි (magnatic tapes), සංගීත ගබඩා කරන භෞතික මාධ්‍ය (tangible media), සංගීතය ප්‍රතිවාදනය කිරීමේ යන්ත්‍ර ආදී සියල්ල එක් රැස් කර සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු වන ආකාරය ඇගයිය යුතුය.

ඒවා සංරක්ෂණය කිරීම තුළින් මෙරට අභෞතික සංස්කෘතික උරුමයේ කොටසක් වූ පැරණි සංයුක්ත තැටි වල ඇතුළත් ගීත සහ සංගීත ඛණ්ඩ මනා ලෙස පැවති අයුරින්ම නැවත ශ්‍රවණය කිරීමට වර්තමානයට ද හැකියාව ලැබෙයි. එදා සර්පිනාව , වීණාව, බටනලාව, තබ්ලාව, ඩොලැක්කය මෙන්ම පහතරට උඩැක්කිය, දවුල, තම්මැට්ටම, තාලම්පට වැනි සරල සංගීත භාණ්ඩ තුළින් වාදනය වූ වාද්‍ය වෘන්ද සහිත සංගීත ඛණ්ඩ ඒ ආකාර‍යෙන් රස විඳින්නට ඔබට පුළුවන.

“සිනිඳු සුදුමුදු තලාවේ//

පිපෙන පෙණ පිඩු සිනාසේ//

ෙසැලෙන රළ මත ගිලී ඉපිලී//

ගලන සිතිවිලි මුලාවේ....“ ගීත රාවය කන්කළුය.

සත්සමුදුර චිත්‍රපටයේ ගැයෙන මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ සෝමදාස ඇල්විටිගල ශූරීන් ය. අමරදේව ශූරීන්ගේ ගැඹුරු හඬින් එය ගීතවත් වෙයි. එවැනි ගීත රැසක් එහි සංරක්ෂණය වෙයි.

“රටකින් රටකට පාර අසාගෙන...“ බිනරමලී චිත්‍රපටය අමරදේවයන් ගේ හඬින් ගැයෙන මේ ගීතය ද සංගීතවත් කර ඇත්තේ ඇල්විටිගලයන්ය. මේ ගීත මෙන්ම සුනිල් ශාන්තයන්, ආනන්ද සමරකෝන්, එඩී. ජූනියර් , රුක්මණී දේවී, කරුණාදේවී සිරිවර්ධන, මහගම සේකරයන්, පණ්ඩිත් අමරදේවයන්, එඩී.ජයමාන්න, මොහිදින් බෙග්, ජී.එස්.බී රාණි, සුජාතා අත්තනායක, ජික්කි, පී.සුසිලා, මිල්ටන් මල්ලවාරච්චි, ඩෙස්මන් ද සිල්වා, වර්ණන් වර්ණකුලසූරිය, ඉන්ද්‍රානි පෙරේරා, සිසිර ඉන්ද්‍රානි සේනාරත්න යුවල, වික්ටර් රත්නායක , එම්.එස් ප්‍රනාන්දු, සී.ටී ප්‍රනාන්දු, ආදී පැරණි, මධ්‍ය කාලීන හා වර්මනා ගීත තැටි හා පටි සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි සංරක්ෂණය වෙයි.

සිංහල ගීතවලට අමතරව පැරණි හින්දි හා දෙමළ ගීත එකතුවක් සහිත සංයුක්ත තැටි මෙහි . මෙරට කණ්ඩායම් ගීත මෙහි සංරක්ෂණය වන තවත් අභෞතික කලා සම්පතකි.

පැරණි ගායක ගායිකාවන්ගේ හඬ හා සංයෝජනය වූ පැරණි සංගීත නාද රටා ද ඒ අයුරින්ම සංරක්ෂණය කර තිබීම මුල් යුගයේ වූ සංගීත නාද රටා හඳුනා ගැනීමට වර්මාන කලාකරුවාට උපකාර වෙයි. පැරණි ශිල්පීන්ගේ ගීත සාහිත්‍ය මුල් කෘතීන් වර්තමාන සහ අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කිරීම, දැනුම ප්‍රවර්ධනය, රස වින්දනය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා තැටි එකතු කරන්නන්ගේ සංගමය හැටියට ඉදිරියට කටයුතු කරන බව සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි ලේකම් ප්‍රදීප් වික්‍රමසිංහ මහතා අප සමඟ පැවසුවේය.

ලෝකයේ ප්‍රථමයෙන්ම හඬ ගබඩා කිරීම සහ ප්‍රතිවාදනය කිරීම උදෙසා වූ යන්ත්‍රය සහ ඒ හා බැදුණු මාධ්‍ය ලොවට බිහි කළේ වර්ෂ 1887 දී ඇමරිකන් ජාතික විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ය. එය ෆොනෝග්‍රාෆ් සහ සිලින්ඩර් මාධ්‍යයයි. ඉන් ඉක්බිතව වර්ෂ 1897 දී ජර්මනියේ උපත ලද ඇමරිකන් පුරවැසියෙකු වූ ‘එමිල් බර්ලිනර්‘ ග්‍රැමෆෝන් තැටිය සහ යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන්නේ ය. එහි පේටන්ට් අයිතිය ද ලියාපදිංචි කෙළේ ය. එදා ග්‍රැමෆෝනය ලෝකයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විණි.

නුගේගොඩ නගරය ආසන්නයේ පිහිටි ප්‍රදීප් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ඇති තැටි ගබඩාවේදී එම පැරණි ගී තැටි වාදනය කරන ආකාරය අපට දැකීමටත් ඇසීමටත් හැකි විය. එයින් නිකුත් වූ හඬ අතීත සංගීතය හා ගීත කෙතරම් නිර්මාණශීලීද යන්න වර්තමානයට කියා දෙන පාඩමක් වැනි.

මේ අගනා ගී තැටි මනා ලෙස සංරක්ෂණය කරමින් වික්‍රමසිංහ මහතා ඇතුළු සංගමය වැදගත් මෙහෙයක් ඉටුකර තිබීම අනාගතයට කරන ඉතිරියක් මෙන්ම මහඟු දායාදයකි. මෙය සංගමයක් ලෙස ක්‍රියාත්මක වුවද රජයේ ලියාපදිංචිය තවමත් ලබා ගෙන නැති අතර නුදුරේදී එය සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් නමින් ලියාපදිංචිය සඳහා කටයුතු සම්පාදනය කරනු ඇත. කලක සිට තම ආයතන‍යේ ‍සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවද ලබා ගෙන තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ආඩම්බරයකින්ද යුතුවය.

ඒ අනුව සිංහල ස්වදේශීය සේවයට අවශ්‍ය කණ්ඩායම් ගීතද සපයන්නට කටයුතු කර තිබිණි. මේ සංගමය සමඟ ඇනලොග් මියුසික් ස්ටුඩියෝ ද එක්ව කටයුතු කරයි. එහි රටපුරා සාමාජිකයන් 200ක් පමණ සිටියි. ඒ අයද මෙවැනි සංගීත කලාත්මක එකතුවන්ගෙන් සමන්විත වූවො වෙති. කෙසේ වුවද සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් වර්තමානයේ මෙන්ම අනාගතයේ දීද මෙරට පැරණි සංගීත කලාව පිළිබඳ හදාරන්නන්ට සංරක්ෂණය කර ඇති ගී එකතුව මහඟු පිටිවහලක් වෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් “කණ්ඩාම් සංගීතය“ ගීත පොතට කරුණු සොයා යෑමේ දී ඒ සඳහා එක් වැදගත් තෝතැන්නක් වූයේ ද ඇනලොග් මියුසික් ස්ටුඩියෝ හි සංරක්ෂිත කරුණුය. ආරියරත්නයන් ‍ගේ කෘතිය සඳහා වැදගත් තොරතුරු රැසක් සැපයීමට තම සංගමයට හැකි වූ බව ප්‍රදීප් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

ඔවුන‍ගේ එකතුවේ ඇති “තේ පැන් දින දින වැඩි වැඩියේ“,මෙහි ඇතුළත් රුක්මණී දේවි ගායනය කර ඇති “ “ගීතය ඉන්දියාවේ නිපදවන ලද HMV ග්‍රැමෆෝනයට තැටි ගත කළ එකකි. එහි මංග නෝනාගේ තේ කෝප්පය විකට සංවාද ජවනිකාවට ගායනයෙන් එක් වී ඇත්තේ Don Benedict & Party සංගීත සංයෝජනය සමඟ එදා ඇල්බට් පෙරේරා ලෙස හැඳින් වූ මෙදා ඩබ්.ඩී.අමරදේව නමින් හඳුන්වන ප්‍රතිභාපූර්ණ ගාන්ධර්වයාණන් ය. එහි ‘දොන් බෙනඩික් ඇන්ඩ් පාටි‘ හාස්‍යයෙන් පිරුණු ගී එකතුවකි.

පැරණි ගීත හා සංගීත සංරක්ෂණය කෙරෙන මේ කණ්ඩායම සිය සාමාජිකත්වය පුළුල් කිරීමටද කටයුතු කරමින් සිටින අතර අධ්‍යාපනික ප්‍රදර්ශන, පැරණි ගීත ප්‍රසංග, වැඩමුළු පැවැත්වීමට පියවර ගනිමින් සිටී.

සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි නිලධාරි මඩුල්ල සභාපති රොෂාන් වෙදගමගේ,ලේකම් ප්‍රදීප් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාරික සමන් පුෂ්ප කුමාර යන මහත්වරුන්‍‍ගෙන් සමන්විත වෙති.

‍මෙරට සංගීත‍යේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්,විද්‍යාර්ථීන්,පාසල් ළමුන් ඇතුළු ගීතය සහ සංගීතය පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ පිරිස් සිය අධ්‍යාපනික පර්යේෂණ මෙන්ම රස වින්දනය සඳහා තමන් සමඟ අත්වැල් බැඳගත හැකි බව ඔවුහු පවසති.

ඉපැරණි නාඩගම්,නූර්ති,චිත්‍රපට ගීත,සංවාද,ඒක පුද්ගල ගීත ඇතුළත් ග්‍රැමෆෝන් තැටි, විවිධ ගීත ඇතුළත් LP,EP තැටි සහ කැසට් පට විශාල ප්‍රමාණයක් ‍මෙම ස්ථාන‍යේ සුරක්ෂිතව පවතී.

අන්තර් ජාතික භාෂා වලින් පළවූ ගීත තැටි පටි විශාල එකතුවක් ද විවිධ සංස්කෘතීන්වලට අයත් ගීත තැටි පටි විශාල එකතුවක් ද ඊට අයත්ය.

ඡායාරූප - සිරිපාල හල්වල


නව අදහස දක්වන්න