ඉදිරි මහ මැතිවරණය මෛත්‍රි-මහින්ද එක්ව මෙහෙයවනවා | දිනමිණ

ඉදිරි මහ මැතිවරණය මෛත්‍රි-මහින්ද එක්ව මෙහෙයවනවා

සමන්මලී ප්‍රියශාන්ති

ඉදිරි මහ මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව මෙහෙය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

හෙතෙම මේ බව පැවසුවේ මහනුවර- අම්පිටිය තලාතුඹය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී ඒ මහතා මෙසේ ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති ඉවත්කර ශක්තිමත් නායකයකුට මේ රට බාර දෙන්න කියන ඉල්ලීම් මෙන්ම ප්‍රාර්ථනාව ජනතාව තුළ තිබුණා. ඒ දුෂ්කර කාර්යය මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉෂ්ඨ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ කුණු බාර නොගෙන ඉන්න තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අභියෝගය මඟ හැරියේ නැහැ. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, මේ මාතෘභූමිය වෙනුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මේ ඉල්ලීම කළ විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව බාර ගත්තා. රටක ජනාධිපතිවරයකු අගමැතිවරයකු පත්කර ආණ්ඩුවක් පත් කළ විට කතානායකවරයා පළමුවෙන්ම කළ යුත්තේ ජනාධිපතිතුමා පත්කළ ආණ්ඩුව පිළිගැනීමයි. කතානායකවරයාට ඒ හැර වෙන රක්ෂාවක් නැහැ.

පසුගිය වසර 3 1/2 ක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යව තිබෙන්නේ මේ රටේ සම්පත් ටික විකුණලා කීයක් හරි හම්බ කර ගන්න. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අවශ්‍යව තිබෙන්නේ රටේ සම්පත්, මහජනතාවගේ දේපොළ, රජයේ දේපොළ රැකගන්නයි. මේ ගැටුම නිසා රට එක තැනක හිර වුණා. ආණ්ඩුව වියදම් කෙළේ නැත්නම් රටක් ඉදිරියට යන්නේ නැහැ. දෙවැනි ලෝක යුද්ධයේ දී අලූ- දූවිලි බවට පත් වූ ජර්මනියේත් ඔය ප්‍රශ්නය මතු වුණා. ඒ වෙලාවේ ආර්ථික විද්‍යාඥයෝ ජර්මන් රජයට කිව්වේ සල්ලි නැත්නම් සල්ලි ණයට ගන්නත් බැරිනම් සල්ලි අච්චු ගහල හරි මිනිස්සුන්ට ඇලවල් කපන්න කියලා සල්ලි දෙන්න කියලා. පඩි ගෙවන්න එවිට ජනතාව අතට මුදල් යනවා. අද බිලියන 300ක් විතර විවිධ ව්‍යාපෘතිවලට ගෙවන්න තිබෙන මුදල් ආණ්ඩුව ගෙවා නැහැ. ඒ නිසා රට එකතැන හිර වෙලා. ඒ වගේම බලාගෙන සිටිය දී අපේ රුපියල දිය වෙනවා. ඩොලරය උඩට නගිනවා. එය මහා ප්‍රශ්නයක් නොවේ. විදේශවල සේවය කරන අපේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට කියන්න ඕනේ මුදල් ටිකක් මේ රටේ ආයෝජනය කරන්න කියලා. ඩොලර් මිලියන 500ක් විතර එකතු කර ගන්න පුළුවන් නම් විදේශ රටවල ඉන්න අපේ අයගෙන් ඉතා පහසුවෙන් මේ ප්‍රශ්න බේරා ගන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිතුමා ලෙස සිටිය දී අපට ප්‍රශ්න 3ක් මතු වුණා. එකක් තමයි ලෝකයේ මහා භයානක මූල්‍ය අර්බුදයක්, දෙවැන්න තෙල් අර්බුදයක්, තෙවැන්න ආහාර අර්බුදයක් ඇති වුණා. රටේ ලෝකයේ මෙවැනි අර්බුද 3ක් සමඟම අපේ රට යුද්ධයක පැටලිලා සිටියා. හැබැයි එහෙම තිබිලත් මේ රට නැගිට්ටා. පහුගිය අවුරුදු 3 1/2 වගේ වෙන කවරදාකවත් මේ රට කඩාගෙන වැටුණේ නැහැ. රුපියල බාල්දු වුණේ නැහැ. ජීවන වියදම වැඩි වුණේ නැහැ. බඩුමිල වැඩිවෙලා උද්ධමනය වැඩිවුනේ නැහැ. යුද්ධයෙන් අපි ජයගත්තා. රටේ ආර්ථිකය ඉහළ ගියා. අපේ රටේ නිදහස ලැබුණු දා ඉඳලා 2010 වෙනතුරුම අපේ රටේ මුළු අවුරුද්දක ආදායම ඩොලර්වලින් කිව්වොත් ඩොලර් බිලියන 17යි. මේ අවුරුදු 60ක් තිස්සේ අපි 17ට ගියේ. යුද්ධයේ අවසන් වසර හත, අටක් යන විට ඒ 17 අපි 70 දක්වා රැගෙන ගියා. ඒ නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තේරුණා මේ රනිල්ගෙයි, මෛත්‍රීගෙයි තිබෙන නොගැලපීම. රනිල්ට ඉස්සර කිව්වේ ක්ලීන් මෑන් කියලා. අපි හිතුවේ නැහැ හොරෙක්, වංචාකාරයෙක් කියලා. හැබැයි සේරම දේවල් වෙනස් වුණා .මේ අලුත් ආණ්ඩුව ආපු ගමන්. ශ්‍රී ලංකා මහබැංකු හොරකම කෙළේ අගමැතිවරයා. වෙන කවුරුත් නොවේ. එයා විදේශිකයෙක් එතනට දාලා එයාගේ අමාත්‍යාංශය යටතට මහ බැංකුව අරගෙන මුදල් අමාත්‍යාශයේ පාලනයත් අරගෙන ඒ හොරකම කෙළේ. අර්ජුන මහේන්ද්‍රන් රටෙන් පැනලා ඉන්නවා. රටෙන් පැන්නුවේ අගමැතිතුමා. හංගගෙන ආරක්ෂා කරන්නේ හිටපු අගමැතිතුමාමයි.


නව අදහස දක්වන්න