සිසු දරුවන් සඳහා පෝට්සිටියෙන් සමාජ සත්කාරක වැඩසටහනක් | දිනමිණ

සිසු දරුවන් සඳහා පෝට්සිටියෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

පෝට්සිටි සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී සයිමන් තෑම් මහතා විසින් සිංහල භාෂාවෙන් මුද්‍රණය කල ග්‍රන්ථ 2000ක් පාසැල් දරු දැරියන් සඳහා නොමිලේ බෙදාහැරිම වෙනුවෙන් බෝදාගම චන්දිම හිමියන් වෙත භාරදුන් අවස්ථා

ගුණවත් බව හා විනය පිළිබඳව මනා සංයමයක් දරුවන් තුළ ඇති කිරීම වෙනුවෙන් ඉගැන්වීම් සිදුකල දාර්ශනිකයෙකු, ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු හා අධ්‍යාපනඥයෙකු ලෙස ප්‍රකට චීන ජාතික කොන්ෆියුසියස් තුමාගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් රචිත 'මම හොඳ දරුවෙකු වෙමි, මම හොඳ සිසුවෙකු වෙමි' යන ග්‍රන්ථය, සිංහල භාෂාවට පරිවර්ථනය කර මෙරට පාසැල් හා දහම් පාසැල් දරුවන් සඳහා නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් සඳහා පෝට්සිටි සමාගමේ සමාජ සත්කාරක දායකත්වය ලබා දී ඇත.

කොන්ෆියුසියස් තුමා චීනයේ ලූ ප්‍රාන්තයේ උපත ලබා ඇත්තේ මින් වසර 2500 ට පමණ පෙර සිදුහත් බෝසතාණෝ උපත ලැබූ කාල වකවානුවේ දීම වීම විශේෂත්වයකි. එම ප්‍රාන්තයේ ඉඩම් අධිකාරි ධුරය හා ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් කටයුතු කල එතුමන් එම තනතුරු වලින් ඉල්ලා අස් වී වසර 13ක කාලයක් පුරා ධර්මය දේශනා කරමින් චීනය පුරා සංචාරයේ නිරත විය. එම කාලය තුළ අනුගාමිකයන් විශාල පිරිසක් එක් කර ගැනීමට එතුමන් සමත් විය .

මෙම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්ථනය කර මෙරට සිසු දරුදැරියන් වෙත බෙදාහැරීමේ කටයුත්තේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලාධිපති මහාචාර්ය බෝදාගම චන්දිම හිමියන් විසිනි.

පෝට්සිටි ව්‍යාපෘති සමාගම මගින් රට පූරා සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන යටතේ තවත් ක්‍රියාදාමයක් ලෙස 'මම හොඳ දරුවෙකු වෙමි, මම හොඳ සිසුවෙකු වෙමි' යන ග්‍රන්ථ 2000ක් සිංහල භාෂාවෙන් මුද්‍රණය කර පාසැල් දරු දැරියන් සඳහා නොමිලේ බෙදා හැරිම වෙනුවෙන් බෝදාගම චන්දිම හිමියන් වෙත භාරදීම පසුගිය දා සිදු කරනු ලැබූවේ පෝට්සිටි සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී සයිමන් තෑම් හා එහි මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

කොන්ෆියුසියස් තුමා මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කිරීමේ ශ්‍රේෂ්ඨයෙකි. චීනය මහත් ව්‍යසනවලට පත් වූ අවස්ථාවල දී ඒවාට හේතු වූ කරුණු පිළිබඳ අධ්‍යයනය කළ ඔහු විශ්වාස කළේ සදාචාරාත්මක ප්‍රතිපත්ති හා සමාජයීය ආචාර ධර්ම අනුගමනය නොකිරීම එවැනි තත්වයන් උද්ගත වීමට තුඩු දී ඇති බවයි. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කිරීම හා සැලකීම, ළමයින්ගේ ධාර්මිකභාවය, අධිකාරීන්ට ගරු කිරීම වැනි පැරණි චාරිත්‍ර වාරිත්‍ර යළි ඉස්මතු කොට යහපත් සමාජයක් ගොඩනැගීම ඔහුගේ අපේක්ෂාව විය.

එමෙන්ම මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා පෝට්සිටි ව්‍යාපෘතියේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මූල්‍යමය දායකත්වය ලබා දීම පිළිබඳව උන්වහන්සේ එම සමාගමට ස්තූතිය පුද කළේය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන කාර්යාලයේදි පැවති මෙම උත්සවයේදි පූජ්‍ය මහාචාර්ය බෝදාගම චන්දිම හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ වසර 30කට අධික කාලයක් චීනයේ තායිවාන් පලාතේ ජීවත් වෙමින් චීන ජාතිකයන් සමඟ විවිධ බෞද්ධාගමික වැඩසටහන් වල නිරත වූ සමයේ කොන්ෆියුසියස් අධ්‍යාපනඥයාගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් රචිත මෙම ළමා ග්‍රන්ථය තුළින් දරු දැරියන්ට ලබා දෙන අධ්‍යාපනය ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් ලබා දිය යුතුය යන අදහස තමන්වහන්සේට ඇති වී මෙය සිංහල භාෂාවට පරිවර්ථනය කළ බවයි.

එම කාලයේදී උන්වහන්සේට තායිලන්තයේ පැවති ජාත්‍යන්තර බොදු සමුලුවකදී චයිනා හාර්බර් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා මුණ ගැසී නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය ඉදිකිරීම් පිළිබඳ ඔහු දැනුවත් කල පසු ඉදිකිරීම් සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ පූර්ණ සහය තමන්වහන්සේට ලබාදුන් බව කෘතවේදීව සිහිපත් කළේය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වර්ෂ 2013 දි ඉදිකිරීම් ආරම්භ කලේ මෙරට හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආර්යාව විසින් සඟ සතු කොට පූජා කල කැලණිය මානෙල්වත්තේ අක්කර 40ක භූමිභාගයක බව උන්වහන්සේ සිහිපත් කළේය.

මෙම බෞද්ධ විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු නිමවීමෙන් පසු විදෙස් සිසුන් 5000ක් හා ලාංකීය සිසුන් 1000කට නේවාසික පහසුකම් සැපයීමට හැකි වන අතර ඉදිකිරීම් තවත් වසර දෙකකින් අවසන් වීමට නියමිතයි. දැනට නිම කර ඇති ගොඩනැගිලිවල වියට්නාමය, කාම්බෝජය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල් වලින් පැමිණි ගිහි පැවිදි සිසුන් 600ක් පමණ අධ්‍යාපන කටයුතු වල නිරත වේ. මෙහිදි බෞද්ධ අධ්‍යාපනය හැදෑරීම, ප්‍රායෝගික පුහුණුවීම් හා පර්යේෂණවල නිරත වීමටද පහසුකම් සපයා ඇති බව බෝදාගම චන්දිම හිමියන් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න