ලෝකයේ අවධානය දිනූ කැන්ගරු මිය යයි | දිනමිණ

ලෝකයේ අවධානය දිනූ කැන්ගරු මිය යයි

විශාල මෙන් ම අයෝමය සිරුරක් පැවතීම හේතුවෙන් ලෝකයේ ම අවධානයට පාත්‍ර වී සිටි 12 හැවිරිදි 'රොජර්' නමැති කැන්ගරුවා මිය ගොස් තිබේ.

රොජර් කුඩා පැටවෙකුව සිටි අවධියේදී සොයා ගනු ලැබ ඇත්තේ, එම පැටවාගේ මව රිය අනතුරකට ලක්ව මිය ගොස් සිටි අවස්ථාවකදීය.

පසුව එම කැන්ගරු පැටවා ඔස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස්හි (Alice Springs) කැන්ගරු රක්ෂිතයක හැදී වැඩිණි.

එහිදී ශීඝ්‍රයෙන් වැඩුණු රොජර් මියයන විට උසින් මීටර් 2 ක් වූ අතර බරින් කිලෝග්‍රෑම් 89 ක් විය.

සති අන්තයේදී කැන්ගරු රක්ෂිතය රොජර්ගේ මරණය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, ඔවුන්ට "ලස්සන දරුවා" අහිමි වූ බවය.

"එයාගේ අම්මා පාරේ මැරිල හිටිය වෙලාවේ අම්මාගේ උදර මල්ලේ ඉන්නකොට මම බේර ගත්තේ.

එතකොට එයා ගොඩක් පොඩි පැටියෙක්," ක්‍රිස් බාන්ස් බීබීසී පුවත් සේවයට පැවසීය.

ක්‍රිස් බාන්ස් මෙම කැන්ගරු රක්ෂිතය ආරම්භ කළේ, රොජර් හදා වඩා ගැනීමේ අරමුණෙනි.

පසුව රොජර් සමග කැන්ගරු ගැහැණු සතුන් 12 දෙනෙකු එක්ව ඇති අතර මේ වන විට රක්ෂිතයේ සිටින කැන්ගරුවන් සංඛ්‍යාව 50 කට අධිකය.

"මුලදී රොජර් සහ මම අතරේ හොඳ බැඳීමක් තිබුණා.

ඒත් පසු කාලෙකදී එයා මං දිහා බැලුවේ එයාගේ තරගකාරයෙකු හැටියටයි.

එයාට ඕන වුණා මාත් එක්ක සටන් කරන්න" බාන්ස් පැවසීය.

2015 වසරේදී රොජර් ලෝකයේ අවධානයට පාත්‍ර වූයේ, සිය අයෝමය බාහු ප්‍රදර්ශනය කරමින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වීමත් සමගය.Kangaroo Sanctuary Alice Springs

"ඊට පස්සේ එයා රූපවාහිනියේ වගේ ම සමාජ ජාලවලත් ගොඩක් ජනප්‍රිය වුණා.

ඒ හරහා විශාල පිරිසකගේ ආදරයට ලක් වුණා," ක්‍රිස් බාන්ස් පැවසීය.

"දැන් ඉතින් එයා නැහැ. ලෝකයේ බොහෝ දෙනෙකුගෙන් එයාගේ මරණය සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ලැබෙමින් තිබෙනවා."

රොජර් සිය අවසන් කාලයේදී ආතරයිටිස් සහ දෘෂ්‍යාබාධයකින් පෙළිණි.

කැන්ගරුවෙකුගේ උපරිම ජීවිත කාලය වසර 14 ක් වන අතර වනාන්තරගතව වෙසෙන කැන්ගරුවන් එවැනි කාලයක් ජීවත් වන්නේ, කලාතුරකිනි.

"මහලු කැන්ගරුවන්ට වනාන්තර ඇතුළේ ජීවත් වෙන එක ඉතා ම දුෂ්කරයි," ක්‍රිස් බාන්ස් බීබීසී පුවත් සේවය සමග පැවසීය.

"ඔවුන් රෝගී වුණා ම කැළෑ බල්ලන් වගේ සත්තු ඔවුන් මරලා ආහාරයට ගන්නවා."

ඔහු පැවසුවේ, රක්ෂිත භූමියේ ම රොජර් වළ දැමූ අතර එහෙයින් "එයා තාමත් මෙහිම ජීවත් වන," බවය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න