19-සංශෝධනය! | දිනමිණ

19-සංශෝධනය!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනම වන ව්‍යවස්ථා සංශෝධනය; යළිත් සමාජයේ දැඩි අවධානයට ලක් වී ඇත. මේ පිළිබඳ සංවාදයක් ද විවෘත සමාජය තුළ පවතී. සංවාදයෙන් ව්‍යවස්ථා සංශෝධනයේ හොඳ මෙන්ම නරක ද ඉස්මතු වන බව පෙනෙයි. ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ. එම ප්‍රකාශයෙන් අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණු දෙකක් ඇත. පළමු කරුණ වන්නේ මේ සංශෝධනය ඔස්සේ රටට ජයග්‍රහණ ගණනාවක් අත්පත් වූ බවය. දෙවන කරුණ වන්නේ උක්ත සංශෝධනයේ අඩුපාඩුවක් හෝ දුර්වලතාවක් හෝ ඇතොත්; සියලු පක්ෂ එකතුවී එම අඩුව හා දුර්වලතාව නැවත පූරණය කළහැකි බවය.

දහනම වන සංශෝධනයේ අතීත කතාව විමසා බලන විට පෙනී යන්නේ එය විවිධ බාධා හා අවහිරතා මැද සම්මත වූ එකක් බව ය. වරෙක මේ පිළිබඳ සාකච්ඡා බිඳ වැටිණි. තව වරෙක නව යෝජනා ඉදිරිපත් විය. ඒවා නැවත සංශෝධනය විය. විවිධ අදහස්, මත හා න්‍යාය පත්‍ර සහිත දේශපාලන සන්දර්භයක් තුළ මෙබඳු සංශෝධනයක් සම්මත කරගැනීම දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විවිධ වෙනස්කම් ඇති කළ බව පිළිගත හැකිය. ඒ මගින් සං‍ශෝධනයේ සම්පූර්ණ ප්‍රතිඵලය නොලැබුණා වන්නටත් පුළුවන. පාර්ලිමේන්තුවේ පනත් සම්මත ක්‍රියාදාමය තුළ මෙබඳු දේවල් සිදුවිය හැකි ය. එහෙත් දහනම වන සංශෝධනය මෙරට දේශපාලනයේ ඉදිරිගාමී පියවරක් ලෙස සටහන් වී ඇත.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන මතය රටේ කාගේත් සැලැකිල්ලට ලක්වන්නේ නම්; වැදගත් ය. පළමුව අපගේ අවධානයට ලක්විය යුත්තේ මේ සංශෝධනයේ සාධනීය ලක්ෂණ කෙරෙහි ය. අතිසරල නිදසුනක් ගතහොත්; කොමිෂන් සභා පිහිටුවීම, ව්‍යවස්ථා සභාවක් ඇති කිරීම, තොරතුරු පනත සම්මත කර ගැනීම, විගණන පනත යෝජනා කිරීම දහනම වන සංශෝධනයේ ප්‍රතිඵල බව කිව යුතුය. ජනතාවගේ දැඩි අවධානයට ලක් වූ සාධක දෙකක් ලෙස කොමිෂන් සභා පිහිටුවීම හා තොරතුරු පනත සම්මත කර ගැනීම පෙන්වා දිය හැකි ය. කොමිෂන් සභා පිහිටුවීම නිසා රාජ්‍ය සේවයේ ද යම් ආකාරයක ප්‍රබෝධනයක් ඇති වූ බව සඳහන් කළ යුතු ය. මේ හැරෙන්නට දහනම වන සංශෝධනය නිසා අපේ ආණ්ඩුකරණයට ජාත්‍යන්තර වශයෙන් පැවැති පිළිගැනීම ඉහළ ගියේ ය.

මේවා සම්බන්ධයෙන් යම් විවේචන පැවැතිය හැකි ය. නිදසුනක් ගතහොත් මැතිවරණ කොමිසම පිහිටුවා ඇත්තේ වුව නිසි කලට මැතිවරණ පවත්වා නැතැ’යි චෝදනාවක් පවතී. මැතිවරණ පැවත්වීම දිගින් - දිගටම කල්යෑම දෝෂයක් ලෙස පවතින බව සත්‍යයෙකි. ඒ සඳහා බලපවත්වන වෙනත් සාධක තිබේ. එහෙත් අප‍ගේ අවධානය යොමුවිය යුත්තේ මූලික ව්‍යුහය වෙනස් වී තිබීම ගැන ය. එය ස්වාධීන මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කර ඇත. ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් වුව එබඳු චෝදනා පවතී. එහෙත් මේ සියල්ල නැවත සකස් කර ගත හැකි දේවල් ලෙස පෙන්වා දිය හැකි ය. ජනාධිපතිවරයාගේ යෝජනාව වන්නේ දේශපාලන පක්ෂවල එකඟතාවක් මත එය නැවත සකස් කරමු යන්න ය.

විධායකය සතු බලය සම්බන්ධ සාධක කිහිපයක් ද උක්ත සංශෝධනය සමග ගැට ගැසී ඇත. විධායකය සතු අසීමිත බලය යම් පමණකින් සීමා කළ යුතුය යන අදහස දහනම වන සංශෝධනයේ ආරම්භක අවස්ථාවේ පටන් පැවැතිණි. එහෙත් නීති විශාරදයන් දක්වන එක් මතයකින් කියැවෙන්නේ විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් හෝ මේ මඟින් සිදුවී නැති බව ය. ඒ පිළිබඳ විවිධ තර්ක පවතී. තව කෙ‍නකුගේ මතය වන්නේ ඉහත සංශෝධනය තුළ අපැහැදිලි තැන් ඇති බව ය. සංශෝධනය පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් වීමෙන් ද, එහි ඇතැම් උප වගන්ති විවිධ ලෙස අර්ථකථනය වීමෙන්ද මේ අපැහැදිලිතාව ඉස්මතු වන බව පෙනෙයි. සංශෝධනය නැවත සලකා බැලීම යුක්තිසහගත යැයි ඒ අනුව කෙනකු සිතන්නට පුළුවන.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පදවිය භාරගත් අවස්ථාවේ සිටම බලය විමධ්‍යගත කරන ආස්ථානයක සිට ක්‍රියාකර ඇති බව පෙනෙයි. විධායකය සතු අසීමිත බලය කපාහරින බවද ජනාධිපතිවරයා කිහිප වරක් ප්‍රකාශ කර ඇත. සාමාන්‍ය තත්ත්වයට අනුව ගතහොත් බලයට කෑදර නායකයන් බලය කප්පාදු කිරීමක් ගැන කතා කරන්නේ නැත. දහනම වන සංශෝධනය පිළිබඳ සංවාදය පවතින අවස්ථාවේ විධායක බලය සීමා කිරීමෙන් රටේ බෙදුම්වාදය හිස ඔසවන බවට තර්කයක් ද ඉදිරිපත් විය. ජනාධිපතිවරයා එම විවේචන සැලැකිල්ලට ගත්තේ නම්; දහනම වන සංශෝධනය නිකම්ම යෝජනාවක් පමණක් වන්නටත් ඉඩ තිබිණි. මේ අතීතය සිහිපත් කිරීම කාටත් වැදගත් ය.

රටේ දැන් පවතින දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුව දහනම වන ව්‍යවස්ථා සංශෝධනය යැයි කියන පිරිසක් ද සිටිති. මේ අය ඉහත සංශෝධනයෙන් රටට උදාවී ඇති යහපත් දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැත. තොරතුරු පනත පවා අනවශ්‍ය දෙයක් ලෙස තර්ක කරන අය ද සිටිති. තොරතුරු දැනගැනීම මහජනයා සතු මූලික අයිතියකි. මෙබඳු පනත් මඟින් රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ, වංචා හා අක්‍රමිකතා පවා අවම කරගත හැකි බව වෙනත් රටවල අත්දැකීම්වලින් සනාථ වෙයි. විගණන පනත යෝජනා වී ඇත්තේ රටේ මූල්‍ය කළමනාකරණයට, මූල්‍ය විනයට හා සංවර්ධනයට අදාළ වන අයුරින් ය. සංවර්ධනය වන රාජ්‍යයක් මූලික වශයෙන් මූල්‍ය විනය පවත්වාගත යුතු බව පිළිගත් සත්‍යයෙකි.

දහනම වන සංශෝධනය රටේ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල ද පොදුවේ ආණ්ඩුකරණයේ ද සාධනීය වෙනසක් ඇති කරන බව බොහෝ විද්වතුන්ගේ හා දේශපාලන විචාරකයන්ගේ මතය විය. එය සියයට සියයකින් පරිපූර්ණ වී නැති බව සත්‍යයෙකි. එහෙත් සංශෝධනය නිසා සිදුවූ යහපත වැඩිය යන්න අපගේ පිළිගැනීම ය. ජනාධිපතිවරයා කියන ලෙස මෙහි අඩුපාඩු ඇ‍තොත්; ඒවා පූරණය කර ගැනීම නායකයන්ගේ යුතුකම හා වගකීම වන්නේ ය. ඒ සඳහා හොඳ සංවාදයක් මෙන්ම අවංක එකඟතාවක් ද තිබිය යුතුය. ජනාධිපතිවරයා ඊට අවස්ථාවක් ඇති කිරීමට සූදානම් බව කියා ඇත. එය දේශපාලනය පිළිබඳ අතිශය වැදගත් පියවරක් ලෙස සැලැකිය හැකිය.

 


නව අදහස දක්වන්න