ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක් චීනයට | දිනමිණ

ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක් චීනයට

ප්‍රින්ස් ගුණසේකර

චීනයේ හැන්ග්ෂෝ නුවරදී මේ මස 11දා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක පිහිනුම් ශූරතාවලියට චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, සදු සාවින්දී ජයවීර සහ තිමලි බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව නියෝජනය කරති. මේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිවුදෙනා පෙරේදා චීනය බලා පිටත් වූහ.

ඉන්දුනීසියාවේදී නිමාව දුටු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 සහය පිහිනුම් ඉසව්වෙන් ශ්‍රී ලංකා පිල අවසන් තරගයට කැඳවා යෑමට පෙරමුණගත් ක්‍රීඩකයන් දෙදෙනකු වූ චෙරන්ත ද සිල්වා හා කයිල් අබේසිංහ ලෝක ශූරතාවලියට සහභාගීවන පළමු අවස්ථාව මෙයවන අතර කොළඹ විශාඛා විද්‍යාලයේ සදු සාවින්දී ජයවීර සහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තිමලි බණ්ඩාර වයසින් අඩු ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෙස මේ ලෝක ශූරතාවලියේදී පිහිනුම් තටාකයට පිවිසෙති.

රටවල් 178ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 960ක් සහභාගී වන මේ ලෝක ශූරතාවලියට ලොව අංක එකේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වෙති. මේ ලෝක ශූරතාවලියට කේවල ඉසව් 34ක් සහ සහය ඉසව් 12ක් ඇතුළත්වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කේවල ඉසව්වලට පමණක් එක්වෙති. චෙරන්ත හා කයිල් යන දෙදෙනාම විදේශීය පුහුණුවක් ලබා මේ ලෝක ශූරතාවලියට එක්වීම විශේෂත්වයකි.

කයිල් මීටර් 100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව, මීටර් 200 නිදහස් ආර ඉසව්ව හා මීටර් 100 මෙඩ්ලී සහය පිහිනුම් ඉසව්ව යන අවස්ථා තුනේම ශ්‍රී ලංකා වාර්තාවට සම්බන්ධව සිටින අතර චෙරන්ත ද සිල්වා මීටර් 100 හා 200 සමනළ ආර ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවා සිටී. එයට අමතරව මීටර් 100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව, මීටර් 200 නිදහස් ආර ඉසව්ව හා මීටර් 100 මෙඩ්ලී සහය පිහිනුම් ඉසව්ව යන අවස්ථා තුනේම ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට චෙරන්තගේ දායකත්වය ලැබී තිබිණි.


නව අදහස දක්වන්න