ජාතික නෙට්බෝල් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට | දිනමිණ

ජාතික නෙට්බෝල් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ඩයලොග් ආසිආටා පී එල් සී, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සමග එක්ව සංවිධාන කළ ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාව හැටන් නැෂනල් බැංකු පිල දිනා ගත්තේය. වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල වෙතින් ලකුණු 47-27ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ.

තරගයේ පළමු කාර්තුව ලකුණු ලකුණු 10-07ක් ලෙස නිමාකරගත් හැටන් නැෂනල් බැංකු පිල තරගයේ අර්ධය නිමා වෙද්දී ලකුණු 22-14ක් ලෙස ලකුණු 8ක පරතරයක් ඇති කරගත්තේය. ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ආරම්භයේ සිටම ලැබූ පසුබැසීම දිගින් දිගටම දක්නට ලැබූ අතර තෙවැනි කාර්තුව නිමා වෙද්දී ලකුණු 35-21ක් ලෙස හැටන් නැෂනල් බැංකුව ඉදිරියෙන් සිටියේය. අවසන් කාර්තුවේදී හැටන් නැෂනල් බැංකු පිල තවත් ලකුණු 12ක් එක්කර ගනිද්දී ගුවන් හමුදා පිලට ලකුණු 6ක් පමණක් එක් විය.

ජයග්‍රාහී හැටන් නැෂන්ල් බැංකු පිලට හා අනු ශූරතාව දිනාගත් ගුවන් හමුදා පිලට ජාතික නෙට්බෝල් පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් බොහොමයක් එක්ව සිටීම කැපී පෙණුනි. මේ ජාතික ශූරතාවලියට සමගාමීව පැවැති ජාතික කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ශූරතාව නෙට්ෆයර් පිල දිනාගත් අතර ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ ලකුණු 63-41ක් ලෙස බොරැල්ල කැම්බල් පාක් නෙට්බෝල් පිලයි.

මේ තරගාවලියේ මූලික වටයේ තරග ගම්පහ, රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැති අතර දෙවන වටය බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මෙම ජාතික නෙට්බෝල් ශූරතාව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් ඉදිරිපත්ව සිටි අතර සෑම තරගයක්ම පැයක කාලයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

 

නව අදහස දක්වන්න