ජාතික තරගබිමට තරු බිහිකරන කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය ජනවාරි 2දා ඇරැඹේ | දිනමිණ

ජාතික තරගබිමට තරු බිහිකරන කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය ජනවාරි 2දා ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

දේශීය ගොල්ෆ් තරග බිමට අනාගත තරු බිහි කරන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වසරේ ප්‍රමුඛතම තරගාවලිය ප්‍රීමා කුසලාන ජාතික විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශුරතාවලිය ලබන ජනවාරි මස 2වැනිදා සිට 4 දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සංගම් පිටියේදී පැවැත්වෙයි. අඛණ්ඩව 11 වැනි වරටත් ප්‍රීමා සමුහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගාවලිය යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් මුවහත් කරගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි.

මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථාන අත්කර ගැනිමට ඉවහල් වන ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය 2019 ජනවාරියේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් එය ගොල්ෆ් තරග කැලැන්ඩරයට අනුව 2018 වසරේ තරගාවලියකි. මෙවර තරගාවලිය ද ‘18 Hole’ ක්‍රමයට අනුව අවුරුදු 9 සහ ඉන් පහළ කාණ්ඩය (තඹ අංශය), අවුරුදු 10-11 කාණ්ඩය (ලෝකඩ අංශය), අවුරුදු 12-14 කාණ්ඩය (රිදී අංශය) සහ අවුරුදු 15-18 කාණ්ඩය (රන් අංශය) වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙයි.

මේ වනවිට අමෙරිකාවේ සිටින වත්මන් ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා වන විනෝද් වීරසිංහ අඛණ්ඩව දෙවතාවක්ම ශූරතාව දිනාගැනීමට සමත්ව සිටින අතර මෙවර සිය කිරුළ රැක ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන විනෝද්ට මෙවර ශූරතාවලියේදී එස්. දුවර්ෂන්, ආරොන් අස්ලාම්, නිරේක් තේජ්වානි සහ යැනික් කුමාරගෙන් දැඩි අභියෝගයක් එල්ලවනු ඇත. පසුගිය වසරේ ශූරතාවලියේ රිදී තරග අංශයේ ජයග්‍රාහකයා වූ නුවරඑළිය ගොල්ෆ් සමාජය නියෝජනය කරන දුවර්ෂන් ඒ අතරින් කැපී පෙනෙන ක්‍රිඩකයා බවට පත්වී සිටී.

පසුගිය වසරේ ශූරතාවලියේ සිට හඳුන්වා දුන් ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරිය තේරිමේ තරගයෙන් ජයගෙන වත්මන් ශූරිය බවට පත්වී සිටින ටානියා මිනෙල් බාලසූරිය මෙවර සිය කිරුළ රැක ගනු ඇතැයි අනාවැකි පළවූවත් පසුගිය වසරේදි ඇයට කරට කර තරගයක් ලබාදුන් කයිලා පෙරේරාගෙන් දැඩි අභියෝගයක් එල්ල වනු නිසැකය.

 

නව අදහස දක්වන්න