ඔබත් නත්තලට සූදානම්ද? | දිනමිණ

ඔබත් නත්තලට සූදානම්ද?

වසරක නිමාව සනිටුහන් වෙන්නට කෙටි දින ගණනක් තිබියදී එළඹෙන්නේ නත්තල් සමයයි. කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන ප්‍රධානම ආගමික උත්සවය නත්තල් උත්සවයයි. නත්තල් සමයේදී නිවෙස් කඩසාප්පු පමණක් නොව පොදු ස්ථාන මහා මාර්ග පවා මංගල සිරියක් උසුලයි. අලංකාර සැරසිලිවලින් හැඩගන්වන නත්තලේ මිහිර විඳින්නට ආගම් භේදයකින් තොරව සෑම දෙනාම කටයුතු කරයි.

ජීවිතයේ ඇතැම් අවස්ථා වින්දනය කරන්නට ආදායම සහ අත මිට ඇති මුදල් තත්ත්වය බාධාවක් වෙන අවස්ථා නැතුවා නොවෙයි. නත්තල හෝ වෙනත් ඕනෑම උත්සවයක් හෝ හිතේ හැටියට සමරන්නට, අවශ්‍ය ලෙස සැරසිලි කරන්නට අත ඇති මුදලට අවශ්‍ය දේ මිලදී ගන්නට හැකිනම් එය පාරිභෝගිකයන්ගේ සතුටට කාරණාවකි. අද ඔබව කොළඹ වටේ රැගෙන යන්නේ නත්තලට සැරසෙන ඔබට අවශ්‍ය කරන සැරසිලි භාන්ඩ අඩුම මිලකට ලබාගත හැකි තැනක් සොයාගෙනයි.

බොහෝ දුර බැහැර සිට කොළඹට ඇතුල්වෙන ඔබට ගෑස් පහ හන්දියත් ගුණසිංහපුර බස් නැවතුම් පොළත් අතර සීමාවේ peoples park වෙළඳ සංකීර්ණය මුණගැසෙයි. සිය ගණනක් වූ කඩසාප්පු අතර ඔබට අවශ්‍ය කරන බොහෝ දේවල් සමග එළඹෙන නත්තලට සැරසිලි කරන්නට අවශ්‍ය සියලු සැරසිලි උපකරණ තොග සහ සිල්ලර වශයෙන් මිලදී ගන්නට මෙහිදී ඔබට හැකියාව ලැබේ. සිය නිවස, කාර්යාලය සරසන්නට අවශ්‍ය කරන සැරසිලි ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ ව්‍යාපාරික මට්ටමෙන් සැරසිලි ද්‍රව්‍ය අලෙවි කිරීමක නිරතව සිටින අයෙකුට එයට අවශ්‍ය ලෙස තොග වශයෙන් ද මෙහිදී මිලදී ගත හැක.

නත්තල් සැරසිලි වලට අමතරව එම කඩ සාප්පුවලින් නව වසරට අවශ්‍ය කරන කැලැන්ඩර් තොග වශයෙන් මිලදී ගන්නටත් ඔබට හැකියාව තිබේ. ඔබ ව්‍යාපාරිකයෙකු හෝ ව්‍යවසායකයකු නම් ඔබේ පාරිභෝගික භවතුන් හෝ සේවකයන් නව වසරේ ඔබෙන් කැලැන්ඩරයක් දිනපොතක් ලැබීම පිළිබඳ බලාපොරොත්තුවකින් පසු වීම නොවැලැක්විය හැකි කරුණකි. එම අවශ්‍යතාවයන් අඩු මුදලකින් සපුරාලන්නට peoples park වෙතට පැමිණෙන ඔබට හැකියාව ලැබෙන්නේ ඔබට අවශ්‍ය කරන මාදිලියේ, අවශ්‍ය ප්‍රමාණයේ දිනපොත් සහ calendar තොග වශයෙන් මේ ස්ථානයෙන් මිලදී ගන්නට හැකියාව තිබෙන බැවිනි.

එපමණක් නොවෙයි නව වසරේ පාසල් යන්නට සූදානමින් සිටින දරු දැරියන්ට අවශ්‍ය කරන පොත්පත් මිලදී ගන්නටද හොඳම ස්ථානය පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයයි. ලංකාවේ ඉතාම අඩුම මිලට උසස් තත්වයේ අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබා ගන්නට හැකි එක් ස්ථානයක් බව මෙහි පැමිණෙන ඔබට වැටහෙනු ඇත.

පීපල්ස් පාර්ක් හි 'කන්නන් පික්චර් පැලස්' හි කන්නන් මහතා.

" අපි බොහොම දිග කාලයක සිට මේ වෙළඳාම කරගෙන යනවා. මගේ කඩේ තියෙන්නේ කැලැන්ඩර් , ඩයරි, පිළිම වර්ග සහ පින්තූර. ඊට අමතරව එක එක කාලයට අවශ්‍ය කරන සැරසිලි වර්ගත් තියෙනවා.

ඉදිරි දිනවල ඩයරි සහ කැලැන්ඩර් අලෙවිය ඉහළ යනවා. රුපියල් 40 සිට 600 දක්වා මිලකට අපෙන් ඩයරි මිලදී ගන්න පුළුවන්. කැලැන්ඩර් 16.50 සිට 25 දක්වා අලෙවි වෙනවා."

ඔබ දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මිලදී ගැනීමේදී පිටු 40 සිට ඉහළට පොත් සිල්ලර මිල රුපියල් 30 සිට මෙන්ම තොග මිල රුපියල් 22 සිට ඔබට මෙහිදී මිලදී ගැනීමට හැකියාව තිබේ. දූ දරුවන්ට පොත පත මිලදී ගන්නට සේම ව්‍යාපාරික මට්ටමෙන් අභ්‍යාස පොත් අලෙවි කරන ඔබටද මෙය මග පෙන්වීමකි.

වාණිජ අරමුණු අතරම වාර්ගික සහ ආගමික සමගියට කදිම උදාහරණ සපයන පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණය මුස්ලිම් දමිළ සහ සිංහල ව්‍යාපාරික ප්‍රජාව කිසිදු බේදයකින් තොරව සිය ව්‍යාපාරික කටයුතු සිදු කරයි.

අද නත්තලට හැඩ වී ඇති මේ වෙළඳ සංකීර්ණය තව මාස කිහිපයකින් වෙසක්, පොසොන් සැරසිලි සහ කාඩ්පත් වලින් ද මේ ආකාරයටම අලංකාර වනු ඇත. දේශීය සහ විදේශීය වෙසක් සැරසිලි මිලට ගන්නට පැමිණෙන පාරිභෝගික ඔබට මේ සටහනේ මතකය මාර්ගෝපදේශනයක් සපයනු නොඅනුමානය.

සටහන - දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න