ඔක්තෝබර් 26න් පසුව | දිනමිණ

ඔක්තෝබර් 26න් පසුව

නවරත්න රඹුක්වැල්ල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය ‍කොළඹ විශ්වවිද්‍යාලය

උද්ගතව ඇති දේශපාලන වාතාවරණය තුළ විධායකයේ බලතල පිළිබඳ විවිධ අදහස් පළවෙමින් තිබේ. පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ 2015 න් පසුව අපේ ආණ්ඩු ක්‍රමය, එනම් ජනාධිපති ආණ්ඩු ක්‍රමය ව්‍යුහාත්මක වෙනසකට (Structural Change) ලක්ව නැති බවය.

එබැවින් ජනාධිපතිවරයාට ඊට පෙර තිබූ බලාධිකාරය එලෙසම පවතී. එසේ තිබියදී කවර හෝ කණ්ඩායමක් ජනාධිපතිවරයාට කිසිදු බලයක් නැතැයි කියා සිටින්නේ නම් ව්‍යවස්ථාව ආකෘතිමය වෙනසකට ලක්ව ඇති බව පිළිගැනීමට ඔවුන්ට සිදුවේ. ඔවුන් මෙය දක්වන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනහැර පාමිනි, නමුත් 19 වැනි සංශෝධනය මඟින් ව්‍යුහාත්මක වෙනසක් සිදුවිණි නම් එය වීමට හැකිවන්නේ වෙනම ආණ්ඩු ක්‍රමයක් ඇති වීමෙනි.

එය මෙතෙක් ලංකාවේ පැවැති ජනාධිපති ආණ්ඩු ක්‍රමය නොවේ. මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධනයකට එවැනි ආණ්ඩුක්‍රම වෙනසක් කළ හැකිද යන්නය. එය කළ නොහැකිය. 19 වෙනි ස‍ංශෝධනය මඟින් ආකෘතිමය වෙනසක් ඇතිකර ඇතැයි කිසිවකු හෝ කියන්නේ නම් ඒ වෙනස ව්‍යවස්ථා විරෝධීය. ආණ්ඩුක්‍රම සංශෝධනයක් මඟින් ආණ්ඩු ක්‍රමය වෙනස් කළ නොහැකිය යන්න සරළ දෙයකි. ආණ්ඩු ක්‍රමයක් වෙනස් කිරීම යනු ගැඹුරු ක්‍රියාදාමයකි. එනම් ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් නව ආණ්ඩු ක්‍රමයක් ඇති කළ නොහැකිය.

නව ආණ්ඩු ක්‍රමයක් ඇති කරන්නේ නම් මුලටම ගමන් කළ යුතුය. මුලින් නිශ්චිත ආණ්ඩු ක්‍රම ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය. එය තාර්කිකව ජනතාවට ඉදිරිපත් කොට ජනවරමක් ලබාගත යුතුය. ජනමත විචාරණයකට යාමට වුවද සිදුවේ.

දහනමයේ අවුලක්

අප ඉදිරිපිට දිගහැරෙමින් ඇති ක්‍රියාවලිය දෙස බලනවිට එවැන්නක් සිදුව නැති බව ඉතා පැහැදිලිය. එනම් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සිදුවී නොමැති බවය. ඉන් අදහස් කෙරෙන්නේ මුල් බලතල සහිතවම ජනාධිපති ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක බවය. ජනාධිපතිවරයා තෝරාපත් කරගැනෙන්නේ වෙනම මැතිවරණයකිනි. මහජනතාව ජනාධිපතිවරයාට වෙනමම විධායක බලතල ලබාදී ඇති බව මෙහිදී පැහැදිලිව තේරුම් කරගත හැකිය. එය කාට හෝ අවශ්‍ය පරිදි පනතක් මඟින් වෙනස් කළ නොහැකිය. යම් මූලික වෙනසක් කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එම බලතල ලබාදුන් මහජනයා ඉදිරියට යා යුතුමය.

ඇතැම් අය සඳහන් කරන අන්දමේ ආකෘතිමය වෙනසක් සිදුව ඇති නම්, එය ස්ථානගත විය යුත්තේ ජනාධිපති හා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම දෙක අතරමැද තැනකය. එවැනි අතරමැදක් පවතින නමුත් එය වෙනම ආණ්ඩු ක්‍රමයකි. ගැටලුව වන්නේ එවැනි වෙනසක් ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ඇති කළ නොහැකිවීමය. එසේ නම් මේ කාරණය පිළිනොගන්නා එනම් ආණ්ඩුක්‍රම වෙනසක් සිදුව නැතිමුත් බලතල අඩුකර ඇතැයි කියන අයට පිළිගැනීමට සිදුවන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විශාල අවුල්සහගත බවක් ඇති බවය.

එය අවුලක් නම් කළ යුත්තේ මැතිවරණයකට යාමය. පැවැති ආණ්ඩුව නැවත ගෙන එන්නැයි යමකු කියන්නේ නම් එය වියවුල්සහගත මෙන්ම ජනාධිපතිවරයාගේ බලය හා ගැටෙන ආණ්ඩුවකි. එහෙත් 19 වෙනි සංශෝධනය මඟින් නිශ්චිතව බලය තීරණය නොවු වියවුල් සහගත ආණ්ඩුවක් යළි රැගෙන ඒමට කිසිසේත් කළ නොහැකිය.

තවමත් ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය බව මේ සියලු කාරණා මඟින් පැහැදිලිය. පවතින ගැටලුකාරී තත්ත්වය ඔස්සේ අප සිහිපත් කරගත යුතු වන්නේ එජාපය, අධිකරණයට හා මහජනයාට වසන්කොට ආණ්ඩුක්‍රම ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට තැත්කළ බවය. මෙය පැහැදිලි කරගැනීමට මහ මැතිවරණයකට යා යුතුය.

කවුරුන් හෝ 19 වෙනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ඇතැයි කියන්නේ නම්, එම තර්කයට කිසිදු පදනමක් නැත. ඔවුන් එසේ කියනු ඇත්තේ ආණ්ඩුවේ සිටිය යුතු තැන පිළිබඳ ඔවුන්ටම ඇති මනෝමූල බල පරාසයක් නිසාය. ඔවුන් එවැනි තර්කයන් ගෙන එන්නේ ඊට සාපේක්ෂවය. ජනාධිපතිවරයාට මෙවැනි පියවරකට යාමට සිදුවූ හේතුවද එයයි.

ඔවුන් ආණ්ඩුව ක්‍රියාත්මක කළේ අගමැති බල අධිකාරයක් තුළය. ව්‍යවස්ථා සංශෝධනය රට බෙදීම මහජනයාට ඇත්ත තත්ත්වය වසන් කිරීම, ආණ්ඩුව විසින්ම විපක්ෂනායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තීරණය කර මූලිකවම ප්‍රජාතන්ත්‍ර විරෝධී මඟක යාම වැනි අවස්ථා ගණනාවකට එය සම්බන්ධය. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් නැවතීමට ජනාධිපතිවරයාගේ වගකීමකි.

ජනාධිපතිවරයා ගත් පියවරට සම්බන්ධ ඇත්ත නම් අප නොදැන සිටි ‍ෙම් ඇතුළාන්තය නිරාවරණය කිරීමය. තවදුරටත් ඒ අන්දමින් රට ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී තිබේ. ඔහු අවධාරණයෙන් සඳහන් කරන කාරණයක් නම්, ඒ ගමන තුළ සිදුවූයේ රට විනාශ කිරීම බවය. එසේ නම් ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගෙන ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වගකීමක් ඇතිවය.

කරන දෑ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගකීමක් තිබේ. පැවැති ආණ්ඩුව නැති බලයක් තුළ සමස්තය තීරණය කිරීමට මෙන්ම ජනාධිපතිවරයා නාමමාත්‍ර විධායකයක් ලෙස සළකා ක්‍රියාකිරීමට වෑයම් කළ බව මෙහිදී පැහැදිලිය. එවැනි ගමනක් නතරකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ කෙසේද? එය කිසිලෙසකින්වත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් නොවේ. කොයි අතින් බැලුවද පැවැති ආණ්ඩුව මෙතැන හිරවන බව පැහැදිලිය. ඔවුන්ට එලෙස ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි අතර එසේ කළා නම් එයද ව්‍යවස්ථා විරෝධීය. එවැනි වෙනසක් කර නැතිනම් ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමයමය.

ව්‍යවස්ථාවෙහි මගහැරුණු පිරිස

පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ භූමිකාව මේ තත්ත්වය තුළ නිරීක්ෂණය කරනවිට පැහැදිලි වන කරුණු ගණනාවකි. ඔහුගේ පක්ෂග්‍රාහී හැසිරීම, ජවිපෙ හැසිරීම වැනි මේ සියල්ල එකම සැලැස්මකට අදාළ පියවරය. එකී සැලැස්මකට අනුව මේ අය මේ භූමිකා නිරූපණය කළ යුතු බව තීරණය වී තිබූ බව ඔවුන්ගේ හැසිරීමෙන් පිළිබිඹු වේ. සිවිල් සමාජය ලෙස පෙනී සිටින ඇතැම් කොටස්වලටද භූමිකාවක් තිබිණි. මේ අතර හොරකම් ද සිදුවිය. එය වෙනමම සාකච්ඡා කළ යුතු කාරණයකි. එනම් මේ සියල්ල එක් සංවිධානාත්මක ප්‍රයත්නයකට අදාළය. එය අවසන්වීමට නියමිතව තිබුණේ ඔවුන් ඉදිරියට ගෙන එමින් තිබූ ව්‍යවස්ථාව රට මත පැටවීමෙනි. ඒ ගමන නතර කිරීම නිසා රට එතැනින් නිදහස් විය.

ව්‍යවස්ථාව ගෙන ඒමට උත්සාහ කළේ අවම වශයෙන් මේ රටේ 60% ක පමණ නියෝජනයකට පාර්ලිමේන්තුවේ කිසිදු නෛතික නියෝජනයක් ලබානොදෙමිනි. එම නියෝජනයට විපක්ෂනායක ධුරය හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරවත් ලබාදී තිබුණේ නැත. මේ හැසිරීම හමුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනමතය හොඳින්ම පිළිබිඹු විය. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මගඩියට විරුද්ධ එකී ජනමතයට එරෙහිව කුඩා කණ්ඩායමක වැඩපිළිවෙළක් තිබුණි. ඒ කුඩා කණ්ඩායම නියෝජනය කළේ උතුර සහ කොළඹ 7 ය. එමෙන්ම එය ඩයස්පෝරාවට හා ජවිපෙට සම්බන්ධය. සැබෑ ජනතා බලවේග විසින් එය වෙනස් කළ යුතුවිය. ඒ අරගලය ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය සඳහා වන සටනක් විය.

ව්‍යවස්ථා වෙනසක් වියයුත්තේ බහුතර ජනතාවගේ එකඟතාව මතය. බහුතර ජනමතය පසෙකට දමා කෙරෙන බලහත්කාරී ව්‍යවස්ථා වෙනසක් අසාර්ථක වීම නොවැළැක්විය හැකිවාක් මෙන්ම ඒ හේතුවෙන් යුද ගැටුම් හා ලේ ගැලීම් ද ඇති වේ. දකුණේ බහුතර මතය නොතකා නිර්මාණය කරන ව්‍යවස්ථාවකට ඉදිරියට ගමන් කළ නොහැකි බවය.

අවුලක් සිදුවී ඇතැයි පිළිගතහොත් එය ලිහාගැනීමට ඇති හොඳම විසැඳුම මහජන මතය පිවිසීමට එනම් මහමැතිවරණයකට යාමය. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය සාධාරණ යැයි පිළිගැනීමෙන් සිදුවන්නේද මැතිවරණයකට යාමය. මේ දෙකෙන්ම සිදුවන්නේ එකකි. එසේ නොවී ඉදිරියට ගමන් කළ නොහැකිය.

ප්‍රතිපත්තිමය එකඟතා

මෙහිදී අවධානය යොමුකළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් පැවැති ආණ්ඩුව හැඳින්වුණේ ජාතික ආණ්ඩුවක් වශයෙනි. එවැනි ආණ්ඩුවක ප්‍රතිපත්තිමය එකඟතාවන් තිබිය යුතුය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ ආණ්ඩුවෙන් ඉවත්විණි නම් මේ යන ආකාරයට ඉඩදී බලා සිටිය නොහැකි බව පවසමින් ජනාධිපතිවරයා තම වගකීමෙන් නිදහස් විණිනම් ඒ ගමන නතර කළ යුතුය. නිදහස් සන්ධානය ඉවත්වීම යනු ප්‍රතිපත්තිමය එකඟතාව තවදුරටත් නොමැති බව තහවුරු වීමයි. එවිට ජාතික ආණ්ඩුවක්ද නැත. එකඟ වූ ප්‍රතිපත්තියක් නැතිවිට එක් අයෙකුට පමණක් ඉදිරියට යාමට හැකියාවක් නැත. අලුත් ප්‍රතිපත්තියකට ඉඩදිය යුතුය.

එය තීරණය විය යුත්තේ මැතිවරණයකිනි. කවර මාර්ගයකින් ගමන් කළද අවසානයේ සිදුවන්නේ මැතිවරණයකට යාමටය.

පාර්ලිමේන්තුව දෙස බලනවිට කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බලයක් හිමිව නොතිබූ බව මෙන්ම ආණ්ඩු බලය පිහිටුවාගෙන තිබුණේ විවිධ කණ්ඩායම්වලට යම් යම් වරදාන වරප්‍රසාද ආදිය ලබාදෙමින් බවද පැහැදිලි විය. 2015 ජනවාරි 8 වැනිදායින් පසු පැවැති ආණ්ඩුවේ ගමන ගැන පැහැදිලි අවබෝධයක් රටට ඇතිවුයේද පසුකාලීනවය.

රට කිසිදු සංවර්ධනයකට යොමුනොවූණා මෙන්ම රට සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක් දිස්විය. රටේ සිදුවූ එකම දෙය විකිණීම පමණි. සිදුකළ එකම දෙය ව්‍යවස්ථාවක් පිළියෙළ කිරීමය. බලයට පත්ව සිටියේ කපටි ආණ්ඩුවකි. එහි ගමන අවසන්වීම ඉතා හොඳය. රටට හිතකරය.

ධම්මික සෙනෙවිරත්න


නව අදහස දක්වන්න