ප්‍රශ්නයට දෙගොල්ලම වගකියන්න ඕන | දිනමිණ

ප්‍රශ්නයට දෙගොල්ලම වගකියන්න ඕන

කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පශ්චාද් උපාධි අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය

පසුගිය දිනවල යාපනයේ ඇතිවූ සිදුවීම් සහ ඒ පිළිබඳ දකුණ ප්‍රතිචාර දැක්වූ ආකාරය වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අර්බූදයට හේතු, එම තත්ත්වය රටට බලපාන ආකාරය සහ එය විසඳා ගත යුතු ආකාරය ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ආයතනයේ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් එහා ඉවුරට එක්වේ.

* අපේ රටේ පවතින දේශපාලනය යහපත් නෑ කියලා ඔබ සඳහන් කර තිබුණා. මේ තත්ත්වය ඇති වෙන්න බලපා තියෙන කාරණා දකින්නෙ කොහොම ද?

ඇති වෙලා තියෙන තත්ත්වය දේශපාලන අර්බුදයක් කියලා පිරිසක් දකිනවා. තවත් පිරිසක් ව්‍යවස්ථාමය අර්බුදයක් කියලත් දකිනවා. මගේ මතය නම් මේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. ලංකාව නිදහස ලබා ගත්තු දවසේ ඉදලා බැලුවම, ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කිව්වට ක්‍රියාත්මක වුණ ආකාරය සහ එහි තිබෙන දිගු කාලීන අර්බුද මතුවුණ අවස්ථාවක තමයි දැන් අපි ඉන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ රටේ ජනතාව සහ දේශපාලනය බොහොම පටු විදිහට දකිනවා. මේ ප්‍රශ්නය අර්බුදයකට ගිය අවස්ථා දෙකක් අපේ ඉතිහාසයේ තියෙනවා.

එකක් තමයි තිස් වසරක සිවිල් යුද්ධය. අනෙක් කාරණය දකුණේ ඇති වුණ කැරැලි. මේවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමේ ලක්ෂණ. ඒ ආකාරයටම ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට ගිය අවස්ථාවක් විදිහටයි අද දකින්න තියෙන්නේ. ඊළඟ අර්බුදය තමයි බලය එක් තැනකට කේන්ද්‍රගත වීම. ලංකාවේ විධායක ජනාධිපති ධුරය කියලා කියන්නේ අතිශය බලසම්පන්න තැනක්. එතකොට විධායකයයි, පාර්ලිමේන්තුවයි, අධිකරණයයි රටේ පාලනය ගෙනයද්දී කටයුතු කරන ආකාරය ඉතා වැදගත්. මේ ආයතන තුන අතර මොන වගේ සම්බන්ධතාවයක් තියෙන්න ඕන ද කියලා ජනතාව විදිහට අපි ප්‍රශ්න කරන්න ඕන.

* මේ රටේ විධායක ජනපතිවරයාට අභියෝග කරන්න අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට පුළුවන් කමක් තිබුණේ නෑ. අද තත්ත්වය වෙනස්. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණය මේ රටේ රටේ පාලන ආයතන තුන කටයුතු කරන්න ඕන කොහොමද කියන එක ගැන. මේ ගැටලුව තමයි දැන් මතුවෙලා තියෙන අර්බුදයේ ප්‍රධාන ලක්ෂණය. මේ 2015 බලයට ආපු සම්මුතිවාදී ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වුණ තත්ත්වය. ආයතන තුන සම සමව තියනවා ද? වෙන්කරලා තියනවා ද? එක ආයතනයක් බලවත් කරනවා ද කියන ප්‍රශ්නය දැන් ඉතිරිවෙලා තියෙනවා. ඇති වෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක අලුත් නිර්වචන සමාජය තුළ නිර්මාණය වෙන්නත් පටන් අරන් තියෙනවා. උදාහරණයක් විදිහට සමරිසි සමාජය ඒ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. අලුත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනවා නම් මෙතෙක් ලංකාවේ පීඩාවට පත්වුණ ජනකොටස් ගැනත් කතා කළ යුතුයි.

* ස්වාධීන කොමිෂන් සභා පිහිටුවලා, ව්‍යවස්ථා සංශෝධනයකට ගිහින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න වත්මන් ජනපතිවරයා කටයුතු කළ බවක් පේනවා?

ලංකාවේ ආණ්ඩුකරණ ඉතිහාසය බැලුවොත්, මේ වගේ ප්‍රශ්නයක් පැන නැඟුණ පළමු අවස්ථාව මේක නෙවෙයි. මීට කලින් 2002/2004 කාලයේ තිබුණ ආණ්ඩුවෙත් විධායකයට පක්ෂ නොවන ආණ්ඩුවක් තිබෙන විට මේ ආතතියම තිබුණා. නමුත් ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ බහුතරය එක්තරා පෙරමුණකට තිබුණා. නමුත් 2015 දී ආණ්ඩු බලය වෙනුවෙන් පෙරමුණු කීපයක් තරග කළා.

ඒ නිසා තමයි සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ. එදා අර්බුදය විසඳන්න අසීමිත බලයක් තිබුණ ජනාධිපතිවරියට හැකිවුණා. ඒක ව්‍යවස්ථානුකූල නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එදා තිබුණ අසීමිත බලතල සීමා කරල තියෙනවා. එවැනි අවස්ථාවක ජනපතිවරයා පෙර තිබුණ බලතල භාවිතා කරනවා නම් ඒක ලැබුණ ජනවරමට පිටුපෑමක්. මේ දේශපාලන අර්බුදය විසින් අපට පුන පුනා කියන්නේ 77 හඳුන්වලා දුන් ව්‍යවස්ථාවෙන් තවදුරටත් රාජ්‍ය පාලනය ගෙනයනවද? නැතිනම් වෙනත් ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා ද? කියන එකයි. ඒ නිසා මේ ගැන සංක්‍රීය සංවාදයක් මේ මොහොතේ අවශ්‍යයි.

* ඇති වුණ ගැටුම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බරපතළ අඩුපාඩු නොවෙයි ද?

ඒ කාරණය ව්‍යවස්ථා සංශෝධනයට ලඝු කරන්න බෑ. ඉතාම හොඳ ව්‍යවස්ථාවක් වුණත් පාලකයා අනුව නරක වෙන්නත් පුළුවන්, ඉතා නරක ව්‍යවස්ථාවක් පාලකයා අනුව හොඳ ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන්.19ට පෙර තිබූ තත්ත්වයට යන්න ඕන කියලා මම පිළිගන්නේ නෑ . එහෙමනම් ජනවරමකින් ඕන මේ දේවල් වෙනස් කරන්න. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවට විතරක් ලඝු කරලා කතා කරන්න බෑ. පාර්ලිමේන්තුවේ සංයුතිය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පොදුජනතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදය බලපාන්නේ කොහොම ද කියලා කතා කරන්න ඕන. 19 ගෙනාවේ පාර්ලිමේන්තුවට වගකියන, ජනතාවට වගකියන පාලකයෙක් බිහි කරන්න.

* කොහොම නමුත් දීර්ඝ කාලයක් පැවැති සිවිල් යුද්ධය නැවත ඇතිවේ යැයි සැකයක් ජනතාවට තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදනා ඝාතනයත්, මහවිරු සමරුවේ දමිළ නායකයන් අත්අඩංගුවට පත්වීමත් ඊට උදාහරණ?

ඇති වූ සිද්ධීන් එකක් දෙකක් උළුප්පලා සිවිල් අර්බුදයකට යන්න ඕන කියලා මතයක් ගොඩනඟන්න අවශ්‍ය නෑ. මේ ප්‍රශ්නය උතුරට විතරක් නෙවෙයි දකුණටත් තියෙනවා. එදා ප්‍රජාතන්ත්‍රවාදී නොවන අරගලවල යෙදුණ දෙමළ සන්ධානය, ජවිපෙ වගේ පක්ෂ අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ බවට පත්වෙලා. මේ සිද්ධි වාර්තා කරද්දී, කරුණු හොයලා බලලා වාර්තා කිරීමේ වගකීමක් මාධ්‍යටතියෙනවා.

මාධ්‍ය ආයතනවලටත් දේශපාලන, ආර්ථික ප්‍රශ්න තියෙනවා. එසේ වුවත්, ප්‍රවෘත්ති හා තොරතුරු සැකසීමේ දී මේ රටේ ජනතාව ගැන දෙවරක් හිතන්න ඕන. කාලයක් යුද්ධයෙන් බැට කාපු ජනතාවට ආයෙත් යුද්ධයක් ඕනෙ නෑ. දකුණෙ ජනතාව විතරක් යුද්ධය එපා කියන තැන නෑ. උතුරට ගිහින් අහලා බලන්න, ඒ ජනතාව යුද්ධය ඉල්ලනව ද කියලා. උතුරේ අම්මලාගෙ දරුවොත් යුද්දෙන් මැරුණා, දකුණේ අම්මලාගේ දරුවොත් යුද්දෙන් මැරුණා. හැබැයි අද දේශපාලනය පවතින්නේ මේ සාධකය ඉස්සරහට අරන් ගියොත් විතරයි. ඒ නිසා සිවිල් යුද්ධයක් නැවත ඇති වෙනවට මේ රටේ කවුරුත් කැමැති වෙන එකක් නෑ.

* ඇති වූ දේශපාලන අර්බුදයෙන් එවැනි බෙදීමක් එහෙමත් නැත්නම්, වැඩි නැඹුරුවක් ඇති වූ බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා?

නැවත යුද්ධයක් ඉල්ලනවා කියලා පත්තර වාර්තා දෙක තුනක් අරගෙන බලලා නිශ්චය කරන්න බෑ. අමෙරිකාවේ ජනාධිපතිවරණ ප්‍රචාරණ, මාධ්‍ය වාර්තා පළ වෙනකොට හැමෝම හිතුවේ හිලරි ක්ලින්ටන් ජය ගනියි කියලයි. කවුරුත් ට්‍රම්ප් දිනයි කියලා හිතුවේ නෑ. ඒ නිසා ඒ මිම්මෙන් රටේ ජනමතය දිහා බලන්න හොඳ නෑ. මේ දවස්වල සමාජ මාධ්‍ය දිහා බැලුවොත් බටලන්ද ගැනත් කතා කරනවා. 88 - 89 ගැනත් කතා කරනවා. තාම විදුලි පුටුව ගැන විතරක් කතා කළේ නෑ.

මේවා සාමාන්‍යයෙන් දේශපාලන මැතිවරණ කාල සීමාවල වෙන දේවල්. මේවායින් ජනතාවගේ චින්තනය වෙනස් කරලා, භයංකාරත්වය ඇති කරවන්න පුළුවන්. හැබැයි අපි ජනතාවට අවබෝධ කරලා දෙන්න ඕන, මේ භය කියන එක කොයිතරම් තාත්වික ද කියන එක. මේ ක්‍රියාවලිය ගැන අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ආණ්ඩුවක් බිහි කරනතුරු ජනතා භීතිය අවුස්සනවා. ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ භීතිය තුරන්වෙලා යනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ භය පදනම් කරගත් දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියන එකයි.

* දෙමළ ජාතික සන්ධානයට ඊළාම් රාජ්‍යයකට මේ රට ඇදගෙන යාමට උත්සාහ කරනවාය කියන චෝදනාව එල්ල වෙනවා, ඒ ගැන මොනව ද කියන්නේ?

ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා, එක්සත් ලංකාවක් ඇතුළේ විසඳුමකට එකඟයි කියලා. දෙමළ රාජ්‍යය කියන සංකල්පය බොහොම රැඩිකල් ලෙස ඔවුන් අතැරලා තියෙනවා. ඒ කාරණය පිළිගන්න සමහර පක්ෂ කැමැති නෑ. මේ රටේ ජීවත්වෙන දමිළ ජනතාව පෝලිමට ඇවිත් රුවන්වැලි සෑය ළඟ වැඳ වැටිලා අපිට දමිළ රාජ්‍යයක් එපා කියලා කිව්වොත්, එදාට ඔය චෝදනා කරන අය ඒක විශ්වාස කරන එකක් නැහැ. ඊට පස්සේ ඔය කරගෙන යන දේශපාලනය කරගෙන යන්න බැරිවෙනවා.

* රටේ ආර්ථිකය එන්න එන්නම දුර්වල වීම එතරම් යහපත් නෑ කියලා ආර්ථික විශ්ලේෂකයින් පෙන්නලා දෙනවා. ඊට විසඳුමක් නැද්ද?

කුමන පාලකයා ආවත්, විදේශ ආයෝජන මේ රටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් දෙන්නටම කරන්න වෙන දෙයක්. එහෙම නැතිවුණොත් මේ ආර්ථිකය මෙහෙයවා ගන්න බෑ. නමුත්, විදෙස් ආයෝජකයෝ මේ රටට එන්න නම්, මේ රටේ දේශපාලන ස්ථාවරත්වය, මූල්‍ය සුරක්ෂිතතාවය, ආයෝජවලට ලැබෙන ප්‍රතිලාභ, ඒවා ඇති නිශ්චිත භාවය කියන කාරණා තියෙනවා ද කියලා ඔවුන් බලනවා. දේශපාලන වාතාවරණය දිහා බැලුවොත් ආයෝජකයන්ට හිතකර නෑ. විදෙස් ආයෝජකයන්ට පමණක් නෙවෙයි, මේ ප්‍රශ්නය රට තුළ ආර්ථිකය කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් බවටත් පත්වෙනවා.

* පක්ෂ දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටුම වර්ධනය වීමක් විදිහට මේ ප්‍රශ්නය දකින්න බැරි ද?

මට අනුව නම් එහෙම ගැටුමක් නෑ. මොකද ප්‍රධාන පක්ෂ දෙකේම ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් නෑ. දෙගොල්ලන්ටම නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා. ඒ නිසා නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලින් එහාට යන්නෙ නෑ කියලා දෙගොල්ලො අතරේ පොදු එකඟතාවයක් තියෙනවා. මේ පක්ෂ දෙකම සුබ සාධන විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ලංකාවේ අධ්‍යාපනයට වැය කරන ප්‍රතිපාදන වැඩි කරගන්න, ආචාර්යවරුන්ගේ සංගමයට දීර්ඝ කාලයක් සටන් කරන්න සිදුවුණා. අධ්‍යාපනයට වැය කරන මුදල් දිගු කාලීන ප්‍රාග්ධන අයෝජනයක්. ඒ නිසා මේ දෙගොල්ලම එකම මාර්ගයක ගමන් කරන බවක් තමයි පේන්න තියෙන්නේ.

* හිටපු අගමැතිවරයා නෙරපා හරින්න සිදුවුණේ, දේශීය ආර්ථිකයට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ නිසා යැයි සඳහන් වෙනවා?

මට ඒ ගැන කියන්න බෑ. ජනපතිවරයා ඒ ආණ්ඩුවේ ප්‍රධානියා. එතුමාට ඒවා නිවැරැදි කරන්න බැරි වුණේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මගේ මතය නම් මේ ප්‍රශ්නයට දෙගොල්ලම වගකියන්න ඕන.

* මහ බැංකු බැඳුම්කර සිද්ධිය මේ රට ආර්ථික අර්බුදයකට ලක් කළා කියලා දේශපාලකයෝ පෙන්නලා දෙනවා?

පැවැති සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටෙන්න ඒක එක හේතුවක්. ඒ වංචාව කරපු අයට කඩිනමින් දඩුවම් දෙනවා නම් මම කැමැතියි. හැබැයි තව කොයිතරම් කොමිෂන් වාර්තා නිකුත් වෙලා තියෙනවා ද? ඒවට කෝ දඬුවම්. මම කියන්නේ ජනපතිවරයාට දැන් මේ රටේ සම්පූර්ණ බලතල තියෙනවා. දේශපාලන වාසි නොතකාවැරැදිකරුවන්ට දඬුවම් කරන්න දැන් හොඳටම පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කරගෙන දඬුවම් කරන්න පුළුවන්. යහපාලනයට ඡන්දෙ දීපු අපි හැමෝම ඒ වැඩේට කැමැතියි. ඒ විතරක් නෙවෙයි ඒ හා සමාන වේගයකින් අනෙකුත් නඩු විභාගත් ඉක්මන් කරන්න කියන්න.

* මේ රටේ නිෂ්පාදන කෘෂි ආර්ථිකය නංවාලන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ ඉදිරියට එන්නෙ නැත්තෙ ඇයි?

ඉන්න දේශපාලකයන්ට ප්‍රතිපත්ති ඕනෙ නෑ. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයෝ නිර්මාණය කරන ප්‍රතිපත්ති වැඩක් නෑ.

* ඔබ ජවිපෙ වේදිකාවට ගොඩවුණා. පක්ෂය ජනතා වුවමනා වෙනුවෙන් කැප වුණා නම්, දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුණේ ඇයි?

මට අනුව නම්, ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් පක්ෂය අරගල කරනවා. ප්‍රධාන පක්ෂ දිහා බැලුවම ජවිපෙ පක්ෂයක් විදිහට තුන්වෙනි බලවේග සංඛ්‍යතාවය හිමිකරගෙන තියෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ සක්‍රීයත්වයක් දීලා තියෙන්නෙ ජවිපෙ මන්ත්‍රීවරු. ජනතා ප්‍රශ්නවලදී, උදාහරණයක් විදිහට උතුරේ ධීවරයන්ගේ ප්‍රශ්නෙදී ජවිපෙ මැදිහත්වීම ඉතාම සාධාරණයි. දෙමළ ජාතික සන්ධානය පවා පසුබසින තැන්වලදී ජවිපෙ ඉස්සරහට ආවා. ඒ නිසා උතුරේ ජනතාව අද ජවිපෙ දිහා හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි නොයෙක් ජනතා ප්‍රශ්න, ගැටුම්, අරගලවලදී පෙරමුණ ගන්න පක්ෂයක් විදිහට ඉන්නවා.

* ඔබ කොහොම කිව්වත්, ජනතා විමුක්ති පෙරමුණේ බල කේන්ද්‍රය පාර්ලිමේන්තුවේ පසුබෑමකට ලක් වෙලා නේද?

2004න් පස්සෙ බැලුවොත් තරමක පසුබෑමක් තියෙනවා. නමුත් ජවිපෙ ගොඩනඟමින් සිටින බලවේග කවුද කියලා අපි හිතන්න ඕන. සිවිල් සමාජයේ බහුතරයක් අද ජවිපෙත් එක්ක. ඒ විතරක් නෙවෙයි, දැවෙන ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා. ඉදිරියේ දී කුමන බලවේගය ඉස්සරහට එයිද කියලා අපිට කියන්න බෑ. මම ඒ පෙරමුණේ වේදිකාවට ගොඩවුණේ පොදු වේදිකාවකදී ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - විමල් කරුණාතිලක

 

නව අදහස දක්වන්න