අපරාධ අඩු කරමු | දිනමිණ

අපරාධ අඩු කරමු

මේ යුගයේ ලෝකයේ හැම රටකම දකින්නට ලැබෙන ප්‍රබලතම සමාජ ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ අපරාධ වැඩිවීමයි. බොහෝ අපරාධ විද්‍යාඥයින් (Criminologists) ලෝකයේ මේසා අපරාධ වර්ධනයට හේතු සහ මිනිසුන් අපරාධවලට යොමුවීමට හේතු අවබෝධ කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.

ඔවුන්ගේ අවධානයට ලක්වූ ප්‍රධාන කාරණාත් දැකගතහැකියි. ලෝකයේ අපරාධ ප්‍රවීණතාව වැඩි රටවල් ගැන ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන අතර මේ අපරාධ ප්‍රවණතාව අවමකර ගැනීමට එම රටවල්වලින් කිසියම් ආදර්ශයක් ලබාගත හැකි වෙතැයි ද ඔවුන් අපේක්ෂා කරයි.

එක්සත්ජාතීන්ගේ සංවිධානය මගින් දියත් කළ ලෝකයේ අපරාධ සංරක්ෂණය (World Crime Survey) මේ සඳහා කදිම උත්තේජනයක් වී තිබේ. මෙම අපරාධ සංරක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ අපරාධ අවම සංඛ්‍යා දත්තයන් වාර්තාකරන රටවල් කාණ්ඩ පහකට වර්ගීකරණයකට ලක්කොට ඇත.

බටහිර යුරෝපීය රටවල් - සිට්සර්ලන්තය, අයර්ලන්තය, නැ‍ඟෙනහිර යුරෝපීය - (කලින්) නැ‍ඟෙනහිර ජර්මනිය සහ බල්ගේරියාව, අරාධි රටවල් - සවුදිඅරාබිය සහ ඇල්ජීරියාව, ආසියානු රටවල් - ජපානය සහ නේපාලය, ලතින් අමෙරිකානු රටවල් - කොස්ටාරිකා සහ පේරු.

මෙම රටවල් පිළිබඳව වි‍ශ්ලේෂණ කිරීමේදී පෙනෙන සමානකම් අවමය. මෙහි සමහර රටවල් ප්‍රජාතන්ත්‍රවාදීය. ඇතැම් රටවල් බලඒකාධිකාරීත්ව මත ගොඩනැගී තිබේ. ඇතැම් රටවල් ඒකාධිපතිත්වයේ පවතින අතර ඇතැම් රටවල සුබසාධන ක්‍රමවේදය ද දැකගත හැකිය.

ඇතැම් රටවල ඇත්තේ ග්‍රාමීය පදනමකි. ඇතැම් රටවල් සුවිශේෂී ලෙසට නාගරීකරණය වී තිබේ. ඇතැම් රටවල් හුදකලාව සිටින අතර ඇතැම් රටවල ප්‍රධාන දේශපාලන දහරාවන්ට යටත්ව පවතී. එමෙන්ම ඇතැම් රටවල් අතිශයින්ම ආගමික පදනමක පිහිටා ඇති අතර තවත් ඇතැම් රටවල ඉහළ ජීවන මට්ටමක් උරුම කරගෙන පවතී. එහෙත්, දුගීකමේ පීඩාව විඳින රටවල් ද තිබේ. එහෙත් ඔවුන් අතර ඇති මේ අසමානතා එසේ වුවද ඔවුන් අතර අපරාධ අවම කිරීමේ ක්‍රමවේදයේ සමානතාවන් ද මේ විශ්ලේෂණයේදී හෙළිදරව් වෙයි. මේ එම සමානතාවන්ය.

බටහිර යුරෝපය - ස්විට්සර්ලන්තයේ ප්‍රජාව අතර වඩාත් සමීප හැඟීම් බැඳීම් තිබේ. එසේම අයර්ලන්තයේ පවුල් අතර බැඳීම අතිශයින්ම ඉහළ මට්ටමක පවතී. එම පවුල් අතර වඩාත් යහපත්වූ ආගමික සහජීවනයක් දැකගත හැකිය.

නැ‍ඟෙනහිර යුරෝපය - ජර්මනියේ තරුණ ප්‍රජාව අතර යහපත්වූ ප්‍රජා සේවාවන්වලට යොමුවීමක් දැකගත හැකිය. තරුණ කණ්ඩායම් තමන්ගේ මවු රටට ආදරයෙන් බොහෝ සමාජ සේවාවන්වල නියැළී සිටිති. බල්ගේරියාව වඩාත් කාර්මිකකරණයට ලක්වුව ද ප්‍රධාන නගරාශ්‍රිතව වුවද වඩාත් යහපත් සමාජයීය මධ්‍යස්ථාන ඇති බැවින් පවුල් සබැඳියාවෙන් අත්මිඳීමට ඔවුන්ට අවැසි නැත.

අරාබි රටවල් - දිනපතා නමස්කාරයන් තුළ මනා ඒකාත්මිකතාවක් සමාජය තුළ ස්ථාපිත වෙයි. විශේෂයෙන්ම සෞදිඅරාබිය සහ ඇල්ජීරියාව ආශ්‍රිතව මේ ඒකාත්මිකතාව තුළ සමාජවිරෝධිත්වයන් අවමව තිබේ. විශේෂයෙන්ම සමාජ සංවර්ධන ක්‍රියාදාමයන්වලදී එකඟතාවයක් දැකගත හැකිවේ.

ආසියානු රටවල් - නේපාලය තුළ වඩාත් සවිමත් පවුල් සබඳතා පැහැදැලිවම දැඩිව තිබේ. වියපත් වුවත් තරුණයන්ට හා ළාබාල පරපුරට සදුපදේශ ලබාදෙන අතර මාර්ග උපදේශයන්ද ලබාදෙයි. ජපානය අතිශයින්ම කාර්මිකරණයට ලක්වුවත් ඔවුන්ගේ සමාජ පාලන කාර්යයන්හි පවුල් සබඳතා සහ ඥාති සබඳතා වඩාත් තීව්‍ර මට්ටමක පවතී. ළාබාලයකුගේ සෑම කටයුත්තකදීම පවුලේ උපදේශනය ඔහු පසුපසම සිටී.

ලතින් ඇමෙරිකාව - කොස්ටාරිකාවේ පාලන ක්‍රමවේදය තුළ තමුන්ට ලැබෙන ආදායම් සමාජ සත්කාරක සේවාවන්ට සහ සමාජ සංවර්ධන කාර්යන්වලට යෙදවීමට ප්‍රමුඛතාව ලබාදේ. මෙයින් ඔවුන් අපේක්ෂා කරනුයේ පවුල් සවිබල ගැන්වීමය.

මේ සියල්ලෙන්ම පෙනීයන්නේ කවරක්ද යන්න විමසා බැලීම ඉතා වැදගත්ය. ඉහත රාජ්‍යයන් සියල්ල තුළම පාහේ ඔවුන්ගේ පවුල් සබඳතාවන් ද සමාජයීය සබඳතාවන් ද තහවුරු කර ගැනීම සඳහා වඩාත් පුළුල් වෑයමක් දරා තිබේ. මේ සබඳතාව සවිමත් වනවිට අපරාධ ප්‍රවණතාව අවමවී තිබේ. සාරධර්ම සිරිත්විරිත් සහ තමන් අනුදත් සංස්කෘතිය තුළ සවිමත්වීම මෙහි රහස්‍ය බව එක්සත් ජාතීන්ගේ “අපරාධ පිළිබඳ මෙම වාර්තාව” තහවුරු කරයි.

ඔවුන් මේ රටවල අපරාධ අවම වීමේ රහස එක් වචනයකින් විග්‍රහ කරන්නටත් සමත්ව සිටී. ඒ වදන Synnomie යන්නයි. එහි අරුථ වන්නේ සාරධර්ම සහ සබැඳියාව සමගින්ම ජීවත් වීමය.

අපරාධවලින් තොර දේශයක් නොමැති බව ප්‍රකට සමාජවිද්‍යාඥයකු වූ එමිල් ධර්කයිම් ප්‍රකාශ කරයි. ඔහුම ප්‍රකාශ කරන්නේ සාරධර්ම විරහිත පත්වීම හෙවත් සාරධර්ම විරහිතතාව, අනෝමීයතාව (Anomie) අපරාධවලට සමාජ විරෝධිතාවන්වලට පුද්ගලයා යොමුකරවයි. අද අප අත්විඳින්නේද මේ යථාර්ථයයි. එකිනෙකා පරයා මුදල් පසුපසම හඹායනු දැවැන්ත තරගයේදී අනෙකාගේ දුක, සන්තාපය, .......... සුසුම දැනගන්නට හඳුනාගන්නට හෝ පිහිටක් වන්නට වේලාවක් නිදහසක් නොමැතිය.

තමන්ගේ හදේ වේදනාවක් දුකක් කියන්නට හෝ අසන්නට කෙනෙක් නැත. පීඩාව දුක ප්‍රශ්නය තමන් විසඳාගන්නට සිදුව තිබේ. පවුල් සබඳතා විසිරී ගොස්ය. මවුවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් මුදල් සොයන්නට විදේශ රටවලට ගොස්ය. පියවරුන් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ද සමාජ පිළිලයක් ලෙසට ඔඩුදුවා තිබේ.

කොතරම් සදහම් ආලෝකයක් අප අතර තිබුණද ආලෝකයෙන් ආලෝකයට යන ඇත්තන්ට වඩා අඳුරෙන් අඳුරට යන ඇත්තන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. වැරදි ඇත්තේ කො‍තැනද? යන්න වටහා ගැනීමට අප තවමත් ප්‍රමාද නැත. කළ යුත්තේ අපේ සමාජ සබඳතාව පවුල් සබඳතාව (Family Bond) තව තවත් ශක්තිමත් කර ගැනීමය. වඩාත් හිතකාමී සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපේ ගම්දනව් සිසාරා ඇතිකර ගැනීමය. ඒ සඳහා පෙරමුණ ගතයුතු වන්නේ ද පුරවැසියන්මය. අනෙකාගේ ගැටලු ප්‍රශ්න හිත්වේදනා ගැන සහකම්පනයෙන් (Empathy) නොඑසේනම් තමන්ට දැනෙන දුකක් වේදනාවක් සේ සලකා ක්‍රියාකරන්නට යොමුවීමයි. ස්විට්සර්ලන්තය ඇතුළු ඉහත පෙන්වූ රටවල් මේ අභියෝගය ජයගෙන ඇත්නම් බුදුදහම අභිෂේක කරගත් අපට මේ අභියෝගය ජයගැනීමට අසීරුතාවක් ඇත්තේද නැත. මේ යුගය ‍ඒ සඳහා සුදුසුම කාලයයි.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජ විද්‍යාව හා අපරාධ විද්‍යාව පිළිබඳ
හිටපු කථිකාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න