අකැප ක්‍රියා නිසා භික්ෂු විනය පිරිහෙනවා | දිනමිණ

අකැප ක්‍රියා නිසා භික්ෂු විනය පිරිහෙනවා

දෙනගම පඤ්ඤාලෝක හිමි

කාගේත් වන්දනාමානයට ලක්වන භික්ෂූන් වහන්සේ සමාජයේ ගෞරවනීය චරිතයකි. භික්ෂුවක් යනු කවරෙක්ද? භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද යන්න අද ධර්ම සභාව තුළින් පැහැදිලි කරන්නේ හක්මන, දෙනගම, ඇතිණිමළාර, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරාධිපති, දෙනගම පඤ්ඤාලෝක හිමියන්ය.

ස්වාමින් වහන්ස, බුදුන් වහන්සේ අනුදැන වදාළ බෞද්ධ භික්ෂුව කෙසේ අර්ථ දැක්විය හැකිද?

බුදුරජාණන් වහන්සේ අව‍බෝධ කරගත් සත්‍යවාදී යථාර්ථය සමාජ ගත‍කොට සියලු සත්ත්වයන්වෙත සෙත සැලසීමට ඇප කැප වී කටයුතු කරන යතිවරයාණන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා වශයෙන් පිළිගනු ලබනවා. ලෞකික ජීවිතයෙන් ඈත්ව ලෝකෝත්තර ජීවිතයේ ගමන් ගනිමින් බවුන් වඩනා භික්ෂුව ආරාමවාසීව විසීම සිදුකරනවා. උතුම් බුදු සසුන ආරක්ෂා කරමින් ඒ නිර්මල බුද්ධ දර්ශනය අනාගත පරපුර වෙත සුරක්ෂිතව රැගෙන යාමේ කටයුතු ඉටු කරන්නේ භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලා වෙත සමාජයෙන් එල්ලවෙන චෝදනාවන්ගෙන් ආරක්ෂා වීම සඳහාත්, සමාජයෙන් ලැබෙන ගෞරවාභිමානවලට හානි සිදු නොවීම උදෙසාත් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද භික්ෂු විනය ආරක්ෂා කිරීම භික්ෂූන් වහන්සේලාට අනිවාර්ය කර තිබෙනවා. භික්ෂු විනයට පටහැනිව ක්‍රියාකරන භික්ෂුව බ්‍රහ්ම දණ්ඩනයට යොමු කිරීමට තරම් හේතුවන බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. ඒ හැරුණු විට ආරණ්‍යගතව, රුක්මූලගතව වාසය කළයුතු භික්ෂුව පිණ්ඩපාතිකව යැපිය යුතු පිරිසක් වෙනවා. ඒ අනුව බලන විට භික්ෂුත්වය ආරක්ෂා කිරීම හා භික්ෂුත්වයේ රැඳී සිටීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වෙනවා.

භික්ෂුවක් යනු ආගමික හා සමාජයීය වශයෙන් සුවිශාල කටයුත්තක් සිදුකරන අයෙක්. බුදුරජාණන් වහන්සේ විසින් නියම කරන ලද භික්ෂුවකගේ සමාජ මෙහෙවර මොන වගේ විය යුතුද?

භික්ෂූන් වහන්සේ සතු සමාජ මෙහෙවර අපමණයි. බුදුරජාණන් වහන්සේ තරම් සමාජ මෙහෙවරක යෙදුන පුරුෂයකු තවත් මිහිපිට නැහැ. උන්වහන්සේ මුළු ජීවිත කාලයම යොමු කළේ සමාජ සුබසිද්ධිය සඳහායි. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන භික්ෂූන් වහන්සේලාගේ කාර්ය භාරයද සමාජ මෙහෙවරේ යෙදීමයි. තණ්හාව, ආශාව, මෝහය නමැති දැලෙහි පැටලීම වෙළී අකුසල් රැස් කරන මානව සත්ත්වයාට සත්‍ය අව‍බෝධ කරදී ඔවුන් සුචරිතයේ පිහිටුවීම භික්ෂුවගේ ප්‍රධාන භූමිකාවයි. ජාති, කුල, ආගම් බේදයෙන් තොරව සියලු දෙනා සම සිතින් පිළිගෙන අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම භික්ෂූන් වහන්සේ සතු තවත් වගකීමක්. දුගී පැලෙන් ලැබෙන දානයත් රජ මැදුරෙන් ලැබෙන දානයත් එක සේ පිළිගෙන පුණ්‍යානුමෝදනා කිරීම භික්ෂුවගේ යුතුකමක්.

එය එසේ වුවද වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා තම භූමිකාව කුමක්ද යන බව අමතක කර තිබෙන බවක් පේනවා නේද?

වර්තමාන සමාජයේ භික්ෂු භූමිකාව දෙස විමසිලිමත්ව බලනකොට එහෙම තත්ත්වයක් නැත්තෙම නැහැ. භික්ෂුවට හොඳ විනයක් තිබෙන්න ඕන. එහෙත් අද සමාජයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම භික්ෂුත්වයට අවමානයක්. උන්වහන්සේලා බුදු සසුනට අගෞරවයක්.

සමහර භික්ෂූන් වහන්සේලා මිල මුදල් පසුපස හඹා යනවා. තමන්ගේ දායකයන් දුප්පත්, පොහොසත් වශයෙන් හා උගත් නූගත් වශයෙන් වර්ග කරනවා. ආගමික කටයුතුවලට සහභාගී වන්නේ ඒ ඒ අයගේ ආර්ථික හා සමාජ තත්ත්වය අනුවයි. එවැනි දේ බුදු රජුන් අනුදැන වදාළ භික්ෂූත්වයට පටහැනියි. ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහියන් සමඟ කටයුතු කරන්නේ තමන් භික්ෂුවක් බව අමතක කරලයි. සිවුර පොරවා ගෙන ලෞකික සුවය සොයන භික්ෂුන් වහන්සේලාත් වර්තමාන සමාජයේ සුලභයි. අල්පේච්ඡ ජීවිතයක් ගතකළ යුතු උන්වහන්සේලා ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන අන්දම දකින්න පුළුවන්. ඇතැම් භික්ෂූන් වහන්සේලාට ගිහි දායකයකුගේ කටයුත්තකට වැඩම කිරීමත් කරදරයක්සේ දකිනවා.

බුද්ධ කාලීන සමාජයේ භික්ෂූන් වහන්සේලා ගමන් කළේ තැන්පත්වයි. කතාකළේ ඉතා පැහැදිලිව තැන්පත්වයි. විනීත භික්ෂුවක් කිසි මොහොතක ආවේගශීලීව කටයුතු කරන්නේ නැහැ. ශාන්ත වූ ගති පැවැතුම් භික්ෂුවක් තුළ තිබිය යුතු ගුණාංගයක්. අද වැඩ වාසය කරන සමහර භික්ෂූන් වහන්සේලාට නිසි පරිදි ධර්ම දේශනයක්, සෙත් පිරිතක් දේශනා කරන්න බැහැ. බෞද්ධ චාරිත්‍ර - වාරිත්‍ර දන්නෙ නැහැ. ඇවැතුම් - පැවැතුම් ගැන වැටහීමක් නැහැ. කෙටියෙන් කියනවානම් චීවරයවත් හරිහැටි පොරවාගන්න දන්නේ නැහැ. බුද්ධ නියමය අනුව භික්ෂුවක් අත මිටට හසු නොවන පරිදි කෙස් කපා තිබිය යුතුයි. එහෙත් අද සමාජයේ ගිහියන්ගේ හිසකෙස් ගානටම කෙස් වවාගත් තරුණ භික්ෂූන් වහන්සේලා කොතෙකුත් අප දැක තිබෙනවා. භික්ෂුවක් ප්‍රසන්නවිය යුතුයි. පිරිසුදු විය යුතුයි. පිළිවෙළකට චීවරය පොරවා සිටිය යුතුයි. අපේ සමහර භික්ෂූන් වහන්සේලා එවැනි පිළිවෙතක නැහැ. උන්වහන්සේලාගේ රස්තියාදුකාර පෙනුමක් තියෙන්නෙ. ඒක භික්ෂුත්වයට ඔබින්නෙ නැහැ.

ස්වාමින් වහන්ස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේලා ක්‍රියාකරන ආකාරය ඔබවහන්සේ අනුමත කරනවාද?

භික්ෂුවක් හෝ ගිහියෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ අධ්‍යාපනය ලබන්න මිස රට පාලනය කරන්න නොවෙයි. උද්ඝෝෂණවලට, උපවාසවලට යොදවන කාලය තමන්ගෙ අධ්‍යාපන කටයුතුවලට යොදවන එකයි කෙරෙන්න ඕන. දැන් බලන්න සමහර තරුණ භික්ෂූන් වහන්සේලා මහ මඟ වැතිරෙනවා. නිදාගන්නවා. ඒ විතරක් නොවෙයි සිවුරු ගලවගෙන, ඉරාගෙන නීතියත් සමඟ හරි හරියට පොරබදමින් කලහකාරී ලෙස හැසිරෙනවා. අන්තිමේදී නොයෙක් කරදරවලට, අනතුරුවලට ලක්වෙනවා. ‘අපට ගහපියව්’ කියාගෙන ප්‍රකෝපකාරීව හැසිරෙනවා.

ඕනම රටක විනයක් තියෙනවා. නීතියක් තියනවා. සීමාව ඉක්මවා කලහකාරීව හැසිරුණාම අවශ්‍ය බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂණවල ඉදිරියෙන්ම ඉන්නෙ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා එවැනි අවස්ථාවල හැසිරෙන ආකාරය දැක්කම භික්ෂූන් වන අපටම ලැජ්ජයි. එවැනි භික්ෂූන් භික්ෂුත්වයෙන් ඉවත් කරන්න ඕන. නැත්නම් භික්ෂු විනය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා පමණක් නොවෙයි කලහකාරී ලෙස භික්ෂු විනයට අපකීර්ති අත්කරන ඕනම හැසිරීමක් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්න බැහැ. ඒවා අනුමත කරන්නත් බැහැ.

ධර්ම දේශනාව බුදුන් අනුදැන වදාළා වුවත් අද ඇතැම් භික්ෂූන් වහන්සේලා එය සිදුකරන ආකාරය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

තම උගත් ධර්මය ගිහි දායකයන්ට දේශනා කර ඔවුන් සුමගට යොමු කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාළා. එය භික්ෂූන් වන අපට පැවරී තිබෙන කටයුත්තක්, වගකීමක්. එහෙත් වර්තමානයේ අලුත්ම ආකාරයේ ධර්ම දේශනා රැල්ලක් පවතිනවා. මෙහි ස්වභාවය හරිම කනගාටුදායකයි. බුදුරජාණන් වහන්සේ ආරාමයේදී වගේම මහ මඟදීත් ධ්මය දේශනා කළා. උන්වහන්සේගේ ධර්මය අසන්න සිය ගණන් රැස්විය යුතුයි. දහස් ගණන් රැස්වියයුතුයි කියා නියමයක් තිබුණෙ නැහැ. තනි පුද්ගලයාටත් උන්වහන්සේ ධර්මය දේශනා කළා. ඒ කිසිම දේශනාවකට මුදල් අය කළේත් නැහැ. උන්වහන්සේ වඩින ස්ථානයට අපමණක් සැරසිලි තිබිය යුතුයි කියා පැවසුවෙත් නැහැ. වටිනා ආසන පනවන්න කියා නියම කළෙත් නැහැ.

ඒත් අද අපේ සමාජයේ ඒ තත්ත්වය වෙනස් වෙලා. වෙනස් වෙලා නොවෙයි වෙනස් කරගෙන. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවකට වඩිනවනම් දහසක් කොන්දේසි පමුණුවනවා. මෙතරම් සෙනඟ ඉන්න ඕන. අසවල් අන්දමේ ශබ්ද විකාශන යන්ත්‍ර තිබෙන්න ඕන. අසවල් විදියට සැරසිලි කරල ප්‍රචාරය දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි නියම කළ මුදලකුත් දෙන්න ඕන. අපි ඇත්ත කතා කරන්න ඕන. ඕක තමයි සැබෑ තත්ත්වය. එවැනි දේවල් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඔවැනි දේවල් නිසා ඇතැම් පිරිස් ආගම දහමෙන් ඈත් වෙනවා. භික්ෂූන් කෙරෙහි කළකිරෙනවා. භික්ෂූන් ට තිබෙන ගරු සත්කාර නැති වෙනවා.

මෙවැනි තත්ත්වයට පත් භික්ෂූන්ට ඔබ වහන්සේ දෙන අවවාදය කුමක්ද?

කරුණාකරල භික්ෂු විනය ඉගෙන ගන්න. භික්ෂු විනයට ගරු කරන්න. එහෙම වුණාම තමයි සැබෑ භික්ෂුවක් වෙන්නෙ. නැත්නම් භික්ෂු විනයට පටහැනිව ක්‍රියා කරනවානම්, වැරදි ආකල්ප ඇතිකරගන්නවා නම් චීවරය දැරුවා කියල භික්ෂුවක් වෙන්නෙ නැහැ. සැබෑ භික්ෂුවක් ලෙස වාසය කරන්න බැරිනම් චීවරයට නිගරු නොදී තීරණයක්ගත්තට කමක් නැහැ.

මොකද භික්ෂු විනයට පටහැනිව ක්‍රියාකරන එක් භික්ෂුව නිසා විනයගරුක භික්ෂුන්වහන්සේලා දහස් ගණනකට නිගරු වෙනවා.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න