අධිකරණයට හිස නැමීම | දිනමිණ

අධිකරණයට හිස නැමීම

අධිකරණය කුමන තීන්දුවක් ලබාදෙන්නේ වුව; එය ගෞරවනීය ලෙස පිළිගන්නා බව ද, එම තීන්දුවට අනුව ඉදිරි කටයුතු සංවිධාන කරන බව ද ජනාධිපතිවරයා කියා තිබේ. මේ ප්‍රකාශය අනෙකුත් දේශපාලකයන් ද ආදර්ශයට ගනු ලබන්නේ නම්; කිසිඳු ගැටුමක් හෝ ගැටලුවක් හෝ මතුවන්නේ නැත. දේශපාලන අර්බුදය ද එයින් විස‍ඳෙනු ඇතැ’යි විශ්වාස කළ හැකිය. රටේ ප්‍රධාන පුරවැසියා වූද, විධායක බලය සහිත ජනාධිපතිවරයකු වූද නායකයකු මෙබඳු ප්‍රකාශයක් සිදු කිරීමෙන් පෙනීයන්නේ ඔහුගේ අවංකභාවය හා ජාතික අභිලාෂයන් කෙරෙහි ඔහු දක්වන කැපවීම යැයි කියන්නට පුළුවන.

දේශපාලන බලයෙන් උද්දාමයට පත්වන ඇතැම් නායකයන් නීතිය පිළිගන්නේ නැත. සම්ප්‍රදායට ගරු කරන්නේ නැත. ඇතැම් නායකයෝ අධිකරණයට බලපෑම් කරති. අපේ දේශපාලන ඉතිහාසය නිරීක්ෂණය කළහොත් නායකයන් අධිකරණයට සිදුකළ බලපෑම් පිළිබඳ සිද්ධි ඕනෑතරම් උකහාගත හැකි ය. එහෙත් වත්මන් ජනපති කිසිවිටෙක අධිකරණයට බලපෑම් සිදුකර නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පදවිය භාරගත් දා සිට ම අවධාරණය කරන වැදගත් කාරණයක් වන්නේ එක් පුද්ගලයකු වටා බලය සංකේන්ද්‍රණය වීම නුසුදුසු දෙයක් බව ය. පොළොන්නරුවේ දී පෙරේදා කළ කතාවේදී ද එය යළිත් අවධාරණය කර තිබේ.

නීතිය හා සම්ප්‍රදාය ආණ්ඩුකරණයේදී ඉතා වැදගත් සාධක දෙකක් ලෙස පවතී. මෙහි නීතිය යන්නෙන් අප අදහස් කරනුයේ නීතියේ ආධිපත්‍යය යන්නය. නීතිය සියලු බලවතුන්ට ඉහළින් පැවැතිය යුතුය යන්න පිළිගත් මතයකි. ආණ්ඩුකරණයේදී සම්ප්‍රදායට ද එබඳුම වැදගත්කමක් හිමි වෙයි. මහා බ්‍රිතාන්‍යයට විධිමත් - ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැත. එහි ආණ්ඩුකරණය සිදුවන්නේ පුරාණ සම්ප්‍රදායට ගරු කරමින් ය. මේ අනුව මහ රැජනගේ තීන්දු හා තීරණ ප්‍රශ්න කිරීමට හෝ ඊට අභියෝග කිරීමට හෝ කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඒ මහා බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායය යි. අපටත් එබඳු සම්ප්‍රදායයක් තිබේ. එහෙත් සමහරුන් ඊට ගරු කරන්නේ නැත.

අපේ රටේ දැන් පවතින දේශපාලන අර්බුදය ටිකෙන් ටික මෝරා වැඩුණේ ද, එය වඩාත් සංකීර්ණ තත්ත්වයක් කරා ඇදීයමින් තිබෙන්නේ ද, ඇතැම් දේශපාලකයන් මෙන්ම දේශපාලන පක්ෂ හා සංවිධාන ද, නීතිය හා සම්ප්‍රදාය නොසලකා හරින බැවින් යැයි කියන්නට පුළුවන. අධිකරණයේ තීන්දුව පවා තමන්ට වාසිසහගත අයුරින් ලැබිය යුතු යැයි සමහර පක්ෂ විශ්වාස කරයි. එය එසේ විය යුතු යැයි ප්‍රසිද්ධියේ කරුණු දක්වන දේශපාලකයෝ ද සිටිති. එම විවේචන හා සමාලෝචන නිරීක්ෂණය කරනවිට පැහැදිලිවන්නේ අපේ දේශපාලකයන් හා පක්ෂ බලය යන සාධකය පසුපස කෙතරම් වේගයකින් හඹායන්නේ ද යන කාරණයයි. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ බලය පසුපස හඹායෑමෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවය.

පවතින දේශපාලන අර්බුදය විග්‍රහ කරන සමහරු මෙය මෛත්‍රී - රනිල් ගැටුමක් ලෙස හුවාදැක්වීමට උත්සුක වෙති. එහෙත් එය සාධාරණ නැත. ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පෙන්වාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා කැටුව යන කිසිඳු පෞද්ගලික ගැටුමක් තමන්ට නැති බව ය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අර්බුදය හඳුන්වන්නේ ස්වදේශිකවාදය හා විදේශීයකරණය අතර පවත්නා ගැටුමක් හැටියට ය. නිදහස ලබා වසර හැත්තෑවකට ද වැඩි කාලයක් ගෙවී ඇතත්; රට ආර්ථික හා දේශපාලනික වශයෙන් ප්‍රශස්ත මට්ටමකට පැමිණ නැත. මීට හේතුව ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉදිරියට නොයෑම යැයි විද්වතුන් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා ඔක්තෝබර් විසිහයදා ගත් තීරණය වටහාගත යුත්තේ ඉහත කී ස්වදේශිකවාදය හා විජාතිකකරණය යන දෙපාර්ශ්වය අතර පවත්නා සියුම් ගැටුමත් ස්පර්ශ කරමින් ය. රට, රටේ ජනතාව, ආර්ථිකය, දේශපාලනය හා දරු පරපුරේ අනාගතය පිළිබඳ පුළුල් දැක්මක් ඇතිව ඉහත තීන්දුව ගෙන ඇති බව පැහැදිලිය. රටේ සම්පත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා නීතිමය වශයෙන් ද බැඳී සිටී. තමන් ඉහත කී තීන්දුව ගනු ලැබූයේ නීතියට, ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායයට අනුව බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. එලෙසම රටේ ආර්ථික ස්ථාවරත්වය හා දේශපාලන සංහිඳියාව පදනම් කොට ඉදිරි කටයුතු සංවිධාන කරන බව ද කියා සිටී.

රාජ්‍ය පාලකයා නීතියට හා සම්ප්‍රදායයට ගරු කරන්නේ නම්; එය සාධනීය ලක්ෂණයක් සේ සැලැකිය හැකි ය. ලෝක ඉතිහාසය ගෙන බැලූවද, අපේ ඉතිහාසය ගෙන බැලූව ද පෙනී යන්නේ නීතිය හා සම්ප්‍රදාය රකිමින් රාෂ්ඨ පාලනයෙහි නියුක්ත වූ නායකයන් ජනතාවට බොහෝ ජයග්‍රහණ ලබා දී තමන් ද ස්ථාවර වූ බවය. චීනයේ අතීත රජ පෙළපත් මෙන්ම ජපානයේ හා කොරියාවේ රජ පෙළපත් ද ආගමික නායකයන්ගේ ද, දාර්ශනිකයන්ගේ ද අදහස්වලට ගරු කරමින් රාජ්‍ය පාලනයෙහි නිරත වී ඇත. අපේ පුරාණ රජවරු ද මුළුමනින්ම ඒකාධිපති පාලකයෝ නොවූහ. ඔවුන් හැමවිට ම පාහේ භික්ෂූන්ගේ උපදේශන ලබාගෙන ඇත. සම්ප්‍රදාය ආරක්ෂා කර ඇත. එපමණක් නොව; නීතිය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට පවා හිස නමා ඇත.

මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇත්තේ අධිකරණ තීන්දුව කෙරෙහි ය. ඕනෑම තීන්දුවක් සියලු දෙනාටම තෘප්තිමත් විය හැකි තත්ත්වයේ පවතින්නේ නැත. නඩු තීන්දුවකින් කණ්ඩායමක් ජයග්‍රහණය කරන අතර තවත් කණ්ඩායමක් පරාජයට පත්වෙයි. එහෙත් නීතිය ඉදිරිපිට යුක්තිය ඉටුවී ඇත. අද පවතින සංකීර්ණ දේශපාලන අර්බුදයේදී එකිනෙක පාර්ශ්ව විවිධ මතිමතාන්තර දරන්නට පුළුවන. ඒ මත වැදගත් වන්නටත් පුළුවන. එහෙත් ගැටලුව විසැඳීමට නම්; අධිකරණ තීන්දුව හිස නමා ගෞරවනීය ලෙස පිළිගත යුතුය. ඉන් එහා විසැඳුමක් ගැන කල්පනා කිරීම සුදුසු දෙයක් නොවේ. අප යළිත් සිහිපත් කරන්නේ ජනාධිපතිවරයාගේ ස්ථාවරයේ සියලු නායකයන් සිටින්නේ නම්; අර්බුදය එතැනින් විස‍ඳෙන බව ය.

 


නව අදහස දක්වන්න