ප්‍රංශයේ කහ කබාකරුවන්ගේ විරෝධතා තවදුරටත් | දිනමිණ

ප්‍රංශයේ කහ කබාකරුවන්ගේ විරෝධතා තවදුරටත්

සාකච්ඡාවලට ජනපති සූදානම් වෙයි

ප්‍රංශය පුරා පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වෙළෙඳ සංගම් හා සේවක සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හරහා ජනතාව අමතා ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට ද නියමිතය.

ඉන්ධන බදු, ජීවන වියදම සහ ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයකට එරෙහිව ප්‍රංශයේ ඇති වූ විරෝධතා රැල්ල සිවුවැනි සුමානය දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. මේ වන විට "කහ කබාකරුවන්" 136,000ක් පමණ වීදි බැස විරෝධතාවයේ නිරත වී සි‍ටින අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ 1,200කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වී ඇත.

මෙමගින් වැඩිම හානිය සිදු වී ඇත්තේ පැරීසියටය. ජනේල බිඳ දමා, මෝටර් රථ පුළුස්සා, කඩ සාප්පු වසා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ. මේ තත්ත්වය හමුවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වන බව ප්‍රංශයේ මුදල් අමාත්‍ය බෲනෝ ලෙ මෙයර් ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ අයිෆල් කුලුන හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට ද පසුගිය සතියේ රජය පියවර ගෙන තිබුණි.

විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් නිසා වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. "කහ කබා" විරෝධතාකරුවන්ගේ විරෝධතා පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට සිදු විය.

 

නව අදහස දක්වන්න