සිංගප්පූරු ගිවිසුම! | දිනමිණ

සිංගප්පූරු ගිවිසුම!

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳ විධිමත් නිරීක්ෂණයක් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ. විද්වත් කමිටුවේ සභාපතිත්වය දරා ඇත්තේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයෙහි කීර්තිමත් නාමයක් හිමි මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ය. කමිටු වාර්තාවේ ඇති තොරතුරුවලට අනුව යථෝක්ත ගිවිසුමෙහි දුර්වලතා රැසක් ඇති බවද අඩුපාඩු ගණනාවක් ඇති බවද දැනගන්නට ලැබේ. සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම රටේ වෘත්තිකයන්ගේ දැඩි වි‍වේචනයට ලක්වූ අතර එම විවේචනවලට පදනමක් ඇති බවද ඉහත වාර්තාවෙන් පෙනී යයි.

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඒ ගැන නැවත නිරික්ෂණය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය බුද්ධිමත් තීරණයක් සේ සැලැකිය හැකි ය. ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික හෝ ගිවිසුම් ඔස්සේ රටට බලවත් පාඩුවක් සිදුවන්නේ නම්; ඒවා ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ විදේශ රටවලට අපේ සම්පත් සූරාකෑමට ඉඩදීමකි. සිංගප්පූරු ගිවිසුම ගැනද එබඳු විවේචනයක් තිබිණි. ගිවිසුම්වල අරමුණ විය යුත්තේ රටේ සංවර්ධනයට හා ඉදිරි ගමනට එයින් අවකාශ ලබාගැනීමය. ඒ අනුව ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායෙහි ඇති වාසි - අවාසි හොඳින් විශ්ලේෂණය කළ යුතුය. සිංගප්පූරු ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව තුළ ඇත්තේ එම විශ්ලේෂණය යැයි කිව හැකිය.

ආර්ථික, වෙළෙඳ, පාරිසරික ආදී ලෙසින් ඇතිකර ගනු ලබන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් ලෝකයේ ප්‍රචලිත කාරණයක් බවට පත් වී ඇත. මෙබදු ගිවිසුම් හා එකඟතා නැතිව ලෝක ආර්ථිකයට මුහුණදීම අසීරු ය. කලාපීය ආර්ථික තරගයට මුහුණදීම ද දුෂ්කර ය. ආර්ථික වශයෙන් ගතහොත් බලවත් රටවල් වෙන ම සංවිධානගත වෙයි. කලාපීය වශයෙන් සංවිධාන ගත වීමද, වෙළෙඳාම අතින් සංවිධාන ගතවීමද නූතන ලෝකයේ ප්‍රවණතාවකි. වියට්නාමය, සිංගප්පූරුව, පමණක් නොව; බංගලිදේශය පවා මේ අතින් බොහෝ ඉදිරිගාමී වෙති. වියට්නාමය බලවත් රාජ්‍යයන් ගණනාවක් සමඟ ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කරයි. මේවායෙහි ප්‍රතිඵලයක් ලෙස වියට්නාම ආර්ථිකය ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙයි.

අපේ රටේ වෘත්තිකයන් අතරද ඇතැම් දේශපාලකයන් අතරද ගිවිසුම් පිළිබඳ භීතිකාවක් පවතී. එම භීතිකාව පැතිර යන්නේ සාධාරණ හා යුක්තිසහගත හේතු - සාධක නොමැතිව ය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට තිබූ එට්කා ගිවිසුම ද අක්‍රිය වී ඇත්තේ භීතිය පදනම්ව ගොඩනැඟුණු විරෝධතා නිසා ය. ඉන්දියාව ශ්‍රී ලංකාව ගිලගැනීමට සිටින බිල්ලකු ලෙස හැඳින්වීම ඇතැම් විද්වතුන්ගේ සිරිත වී ඇත. ඇතැම්විට මෙබඳු විවේචන හා විරෝධතා භාවිතා වන්නේ දේශපාලන වාසිය සඳහා බවද පෙනෙයි. සමහර දේශපාලන පක්ෂ විපක්ෂයේ සිටින විට විවේචනය කරන දේවල් යළි බලයට පත් වූ විට ගෙඩිපිටින් ම ක්‍රියාත්මක කරයි. මෙතැන ඇත්තේ දේශපාලන කඹ ඇඳීමක් යැයි සිතන්නට පුළුවන. කුමක් වුව කරුණු ගවේෂණය කොට ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.

රටවල් දෙකක් අතර ක්‍රියාත්මක වන ගිවිසුමකදී පාර්ශ්ව දෙකටම සියයට - සියයක් වාසි ලබාගත නොහැකි ය. ලෝකයේ කොයි කලාපයක ගිවිසුම් ක්‍රියාත්මක වුවද එහි ස්වභාවය වන්නේ එක් පාර්ශ්වයකට වැඩි වාසි හිමි වීමය. එහෙත් ඒවා තුලනය කරගත හැකි උපායමාර්ග තිබේ. තව අතෙකින් මෙබඳු ගිවිසුම් මඟින් වෙනත් වාසි අත්පත් කර ගත හැකි අවස්ථා තිබේ. ගිවිසුමක් දිගුකාලීන ලෙස ක්‍රියාත්මක වන විට රටවල් දෙක අතර සබඳතා පුළුල් වෙයි. ඒ මගින් රටවල් දෙකටම වාසි ලබා ගත හැකිය. චීනය හා ශ්‍රී ලංකාව අතර සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ක්‍රියාත්මක වූ ගිවිසුම් මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. ගිවිසුම්වලට බිය විය යුතු නැත. කළ යුත්තේ විචාරයකින් යුතුව ඒවාට එළැඹීමය.

ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට ඇතමකු එය දුටුවේ යක්ෂයකු හැටියට ය. විවෘත ආර්ථිකය නිසා දේශීය කර්මාන්ත සියල්ල බීමට සමතලා වන බවද, දේශීය සංස්කෘතිය සෝදාපාළුවට යන බවද බොහෝ දෙනා පෙන්වා දුන්හ. එහෙත් ඉන්දියාවටත් පළමුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නිදහස් ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කළේය. ආයෝජන කළාප, ඇඟලුම් කම්හල්, විදේශීය ආයෝජන සහිත කර්මාන්ත රටේ බිහිවිය. ඒ මගින් විශාල පිරිසකට රැකියා ලැබිණි. විවෘත ආර්ථිකය නොවන්නට ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ඇදවැටුණු රාජ්‍යයකි. ලෝකය සමඟ බද්ධ නොවී රටක් දියුණු කිරීම අපහසු ය. ලෝකයේ දිළිඳුම රටවල් පවා මේ තත්ත්වය හොඳින් වටහා ගෙන තිබේ. ඉතියෝපියාව හොඳ උදාහරණයකි.

විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීම නිසා දේශීය කර්මාන්ත ඇදවැටුණේ නැත. ඇතැම් කර්මාන්ත තරගයට මුහුණදී ඉදිරියට පැමිණි අතර තවත් කර්මාන්ත අලුතින් බිහි විය. මේ අතර ප්‍රකට කර්මාන්ත කිහිපයක් බංකොළොත් වූයේ වෙනත් හේතු නිසා ය. ව්‍යාපාරයක් පවත්වාගැනීම අසීරු කාරණයකි. එය අභියෝගයක් ලෙස සලකා එය ජයගැනීමට උපායමාර්ග සෙවිය යුතුය. එසේ නොකොට ව්‍යාපාරයක් ගොඩනැගීමට බැරිය. රටක් ගොඩනැඟීමටත් බැරි ය. සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හා විරෝධතා දෙස බලන විට පෙනීයන්නේ ඒවා ඕනෑවටත් වඩා වැඩි බවය. මෙහිලා දැනෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ ඇතැම් විවේචන අසත්‍ය තොරතුරු මත නිර්මාණය වී තිබීමය. එම ගිවිසුම විවේචනයට ලක්වූයේ මුළුමනින්ම ශ්‍රී ලංකාව සූරාකෑමට ඉදිරිපත් වූ එකක් හැටියට ය. විද්වත් කමිටු වාර්තාවෙන් එහි ඇත්ත / නැත්ත සොයා ගත හැකි යැයි විශ්වාස කළ හැකිය.

ගිවිසුම් සඳහා එකඟතාව පළකිරීම ජාත්‍යන්තරය සමඟ සුහදතාව වර්ධනය කිරීමට හේතුවක් වන්නා සේම ඒවා අ‍හෝසි කිරීම ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදය හිමිකරන්නක් ද විය හැකිය. අන්තර්ජාතික සහයෝගය නැතිව ලෝක ආර්ථිකයට මුහුණ දීම අමාරුය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් ලෝක ආර්ථික තරගයට මුහුණ දිය යුත්තේ බලවත් රාජ්‍යයන්වල සහයෝගයත් ඇතිවය. සිංගප්පූරුව කුඩා රටක් වුව ආර්ථික වශයෙන් බලවත් ය. සිංගප්පූරුව වැනි රාජ්‍යයකට පහසුවෙන් ම වියට්නාමය වැනි රටක් තෝරා ගත හැකිය. ළඟ නොව; දුර බලන නායකයන් අපට අවශ්‍ය වේ. ජනාධිපතිවරයා මේ ගිවිසුම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක් පත්කර ඇත්තේ දුර බැලූ නිසා විය යුතු ය.

 


නව අදහස දක්වන්න