ක්‍රිකට් පිටියෙන් කාසියේ වාසිය විසිවෙයි | දිනමිණ

ක්‍රිකට් පිටියෙන් කාසියේ වාසිය විසිවෙයි

ක්‍රිකට් තරගයකදී ආරම්භක ස්ථානය මෙන්ම වැදගත්ම සාධකයක් වන්නේ කාසියේ වාසිය උරගා බැලීමයි.

එහෙත් මේ මස 19 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන බිග්බෑෂ් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී එම කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව වෙනස් අයුරකින් සිදු කිරීමට තරග සංවිධායකයෝ අවධානය යොමුකර තිබේ.

ඒ අනුව බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගයෙන් ආරම්භවන බිග්බෑෂ් තරගාවාලියේ කාසියේ වාසිය උරගා බලා ‘හෙඩ්ස්’ හෝ ‘ටෙයිල්ස්’ ඉල්ලීම වෙනුවට ක්‍රිකට් පිත්තක් භාවිතා කරමින් ‘හිල්ස්’ හෝ ‘ෆ්ලැට්ස්’ (hills or flats) ලෙස ඇසීමට සැලසුම් කර තිබේ.

කාසියේ වාසිය පිළිබඳ පසුගිය කාලයේ විවිධ මත පළවූ අතර ටෙස්ට් පිටියෙන් කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව ඉවත් කිරීමටද එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය කැමත්ත පළ කර තිබිණි.

ඒ අනුව බිග්බෑෂ් සංවිධායකයන්ගේ මේ කටයුත්ත සුවිශේෂි එකක් වනු ඇතැයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධානී කිම් මැක්කොනී පවසයි.

පිත්තක් උඩ දමනවිට පැතලි පැත්ත බිමට පතිත වීම සාමාන්‍යෙයන් සිදුවන බැවින් මේ කටයුත්ත සඳහා වෙනමම පිත්තක් සකස් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ පිත්තෙන් වාසිය උරගා බැලීමේ පළමු නායකයා ලෙස 19 වැනිදා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ක්‍රිස් ලීන් වාර්තා පොතට එක්වනු ඇත.


නව අදහස දක්වන්න